මේ නිවෙසට ආපු දවස්වල අපි සතුටින් සාමදානයෙන් හොඳට හිටියා. ඒත් දැන් ඒ තිබුණු තත්ත්වය කොහේ ගිහින්ද මන්දා. මෙවන් තත්ත්වයන් මා හට නිතර අසන්නට ලැබෙන වචන පෙළක් වෙලා. නිවාස පරීක්ෂාවන්වලදී බොහෝ වැඩිහිටියන් මේ වදන් පෙළ මුමුනනවා. එනිසාම අද ඔබ වෙනුවෙන් වාස්තු විද්‍යාත්මකව මෙම කියන්නාවූ තත්ත්වයටම ප්‍රතිශතාත්මකව යම් මට්ටමක් එකතු කරන දෝෂකාරී තත්ත්වයක් පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීමට සිතුවෙමි. මෙම දෝෂය වර්තමානයේ බොහෝ නිවාස සම්බන්ධයෙන් පිහිටන්නා වූ වේද දෝෂයක් බවට පත්වෙලා. මේ බලාත්මක වේද දෝෂය තමයි ම්ලේච්ඡ වේද දෝෂය. හැබැයි මෙම කාරණාව සුළුවෙන් තැකිය හැකි එකක් නොවන බවද තරයේ සිහිතබාගත යුතුය.
මූලික වශයෙන්ම මෙම ම්ලේච්ඡ වේද දෝෂය නිවෙසක පිහිටන්නා වූ හෝ පැනනඟින්නා වූ ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදෙන්නෙමි. එසේම මෙම වේද දෝෂය නිවෙසට බලාත්මකව බලපෑම් ඇතිකරනු ලබන්නේ නිවෙසේ ප්‍රධාන දොර හෙවත් මංගල ද්වාරය පදනම් කරගෙනය.
ප්‍රධාන දොරට එක එල්ලේ පෙනෙන ලෙස අහිකුණ්ඨිකයන්ගේ වාසස්ථාන, මස් මාංස අලෙවිසල් හෝ සුරාසැලක් පිහිටීමෙන් නිවැසියන්ට අත්වන වේදනාකාරී තත්වය මෙයයි. මෙසේ පිහිටන නිවෙස් තුළ නිතරම ආරවුල්, අඬදබර ආදියට මඟ පාදයි. මෙය යහපත් පිහිටීමක් නොවේ. මස් මාංස අලෙවි ස්ථාන, සුරාසල් ආදිය නිතැතින්ම ජීවිතවලට සුබදායී නොවන හෙයින් මෙවන් තත්ත්වයන් නිවෙසේ ප්‍රධාන දොර ඉදිරිපිට පිහිටීම ඒ නිවැසියන්ට කෙසේ සුබවන්නද? නිවෙසින් යම් පිටත්වීමක් සඳහා යනෙන අවස්ථාවක පළමුවෙන්ම මෙවන් දසුනක් දැකීම මූලික කාර්යයද නිෂ්ඵල වීමට හේතුවක් වන්නේය. මෙවන් ස්ථානයන්හි ගැවසෙන පුද්ගලයන්ද යහපත් අය නොවේ. දුෂ්චරිතයට යොමුවූ පහත් පෙළේ අය වෙති. එනිසාම මහ තේරෙන අවධියේ සිටිනා වූ දරුවන් නිවෙසේ සිටී නම් ඔවුන්ද මෙවැනි අසුබකාරී දේ සඳහා යොමුවී කල්යත්ම කලහකාරී තත්ත්වයන්ට නැඹුරු වීමේද අවදානමක් පවතී.
එපමණක් නොවේ. නිවෙසේ වාසය කරන තම ස්වාමියා, වැඩිහිටි පිරිමි දරුවන්ද මෙම අවදානමට ගොදුරු වීමෙන් බලාත්මකව පීඩා විඳින අවස්ථාවන් අනන්තවත් මා දැක තිබේ. මෙතුළින් මා මුලින් සඳහන් කරන්නට යෙදුණු නිවෙසේ ආරවුල් / ගැටුම් සහ කාර්යය සාධනය අවම වීම නිතැතින්ම සිදුවන්නේය. මෙම අසුබතාවට ගොදුරු වන නිවාස බොහොමයක් සෞභාග්‍ය සපිරුණු ඒවා නොවේ. පරිසරයේ පවත්නා නුසුදුසු තත්ත්වයන් හේතුවෙන් නිවෙසට ශ්‍රී දේවියගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නොලැබී යනු ඇත. විශේෂයෙන්ම නිවෙසට නැඟෙනහිර දිශාවට යොමුවන්නට මෙවැනි දෝෂයක් පවතින්නේ නම් ස්වාභාවිකවම නිවෙසට විශ්ව ශක්තිය ලැබීමද අවහිර වී යනු ඇත. එවැනි තැනක සතුට, සමාදානය, සෞභාග්‍යය නොපැවතීමද අරුමයක් නොවන බවද තරයේ සිහිතබා ගත යුතුය. ඔබට උතුම් විශ්වයේ ශක්තිය උදාවේවා.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











