අපේ දේශීය වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී නිවෙසක් ගොඩනැඟීමේදී ඉපැරැණි ක්‍රමවේදයන් වත්මන්හි හැසිරවිය යුත්තේ කුමන ආකාරයකටද යන්න ගැඹුරින් විමසා බැලීම අනිවාර්ය වේ. එදා දැව සහ මැටි උපයෝගී කරගත් අතර අද වන විට සිමෙන්ති, කොන්ක්‍රීට්, යකඩ හා විවිධ ලෝහ වර්ග ෆයිබර්, ප්ලාස්ටික් මෙන්ම වෙනත් ආදේශකයන් සම්බන්ධ වී ඇති බැව් ඉතාම පැහැදිලි කරුණකි. පොල්අල්ලි ප්‍රමාණයට සිය දරුවන්ට ඉඩම් වෙන් කරදී තිබුණ අතර අද එය පර්චස් ගණනකට පත්වී තිබේ. ඒ එක්දහස් අටසිය ගණන්වලදී මෙරට ස්ථාපිත වූ මිනින්දෝරු ක්‍රමය නිසාය.
අනවමදර්ශී හිමියන්ගේ මහා වාස්තු විද්‍යා ග්‍රන්ථයක් වූ දෛවඥ කාමධෙනුවත්, හරමානිස් අප්පුහාමිගේ ගෘහ නිර්මාණ ශිල්පයන් ඇතුළු වෙනත් වාස්තු මූලාශය ග්‍රන්ථවල දැක්වෙන අයුරින් නිවාස ඉදිකිරීමට දී ඇති අනුග්‍රහය පැසසිය යුතුය.
පර්චස් 40, 20, 15, 10, 5, 3 මෙන්ම පර්චස් 2ටද ආසන්න ඉඩම් වපසරියක් නාගරිකකරණය ඇතුළත හැසිරෙන තැනට පත්වී ඇත. පොතේ හැටියටම අද නිවෙසක් ඉදිකර ගැනීම ඉතාමත්ම අපහසු කරුණකි. පොත්වල ලියා ඇති වාස්තු කරුණු එලෙසම උපුටා දැක්වීමෙන් පමණක් යහපත් සෞඛ්‍ය සම්පන්න නිවෙසක් ඉදිකර ගැනීම නොහැකිය. ප්‍රායෝගික විය යුතුය. අත්දැකීම් බහුල වීමත් නිවැරැදි පිරික්සුමත් පර්යේෂණයත් වැදගත්ය.
ගසක් කැපීමට, ඉරීමට, දොරවල් ජනෙල් මෙන් වහලය ගැසීමට ඉතාම සුබ නැකැත් යොදාගත යුතුය. අඩු වශයෙන් උළුවස්සක් තැබීමේදී ලීයේ අග මුල පරීක්ෂා කරන්නේ කවුද? කිසිවෙක්ම නැත. උළුවස්සේ බිමට තබන ලීයේ මුල විය යුතු අතර උඩට ලීයේ අග කොටස විය යුතුමයි. මෙය මාරුවී නම් එකී උළුවස්සේ දිගුකල් පැවැත්මට හානි සිදුවේ. මෙය කිසිම කෙනෙක් නොසිතනම පැත්තකි.
පැරැණි වඩු ශිල්පියා මේ ගැන මැනවින් සොයා බලා උළුවස්සේ පැති මාරුව නියම ලෙසම ඉටුකරන ලදී. අද කොන්ක්‍රීට් උළුවස්සට මේ කිසිවක් අවශ්‍ය නොවේ. ලෝහවලටත් එවැන්නකි. සැලැසුමක් ඇඳ, බාහිර පෙනුමට පමණක් ඉඩදී නිවෙස ගොඩනඟන තැනට පත්වී තිබේ. කෙටි කලකදී වාස්තු දෝෂවලින් කායික, මානසික පීඩාවන්ට ගොදුරු වීම නිසා එය වෙනස් කර ගැනීමට ගොස් කබලෙන් ළිපට වැටෙන අවස්ථාද නැත්තේම නොවේ. පඩිපෙළේ පඩි ගණනක් වැරැන්ඩාවේ කණු ගණනත්, හැරෙන දිසාවත් වැනි අන්ධානුකරණයේ යන පඹගාලක පැටලීමක් නම් දිස්වේ. බ්‍රහ්ම පාදය පෑගුණාට කිසිම අපලයක් ඇතිනොවේ. නමුත් නොපෑගෙන සේ තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ එතැන පූජනීය ස්ථානයක් නිසාය. නිවෙසක් ඉදිකරන විට දිසාවන්ද වැදගත් වේ. ජලය බැසයන පැත්තද බැලිය යුතුය. අවට පරිසර රටාව ගැනද සැලකිලිමත් විය යුතුමය. බාහිරව ඇති යම් යම් දෑ වෙනස් කිරීමට අපට බැරිය. නමුත් තම තමා වෙනස් වන සමාජ රටාව මැනවින් බුද්ධිමත්ව හඳුනාගෙන යෑම යහපත්ය.
වාස්තු විද්‍යාව පිළිබඳ පුරා වසර 50ක් පමණ වපසරියක් තුළ විවිධ නිවාස ගැන පරීක්ෂා කිරීමේදී සොයාගත් කරුණු අනුව පෙනී ගියේ නිවැසියන්ගේ මනසට වදයක් නොවන ආකාරයට ප්‍රශ්න විසඳිය යුතු බවයි. නිවැසියන් කබලෙන් ළිපට වැටෙන තැනට පත්නොවන ආකාරයට වාස්තු විද්‍යාව කළ යුතුය. විශේෂයෙන්ම නිවාස පරීක්ෂාව වාස්තු නළාව තබා නාඩි අල්ලා දෝෂ නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වටී.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











