සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් සිටින බව පරණ කියමනක් වුවත් එය ඕනෑම කාලයකට ගැළපෙනවා. සාර්ථකත්වය කුමන අංශයකින් වුවත් ඒ මිනිසා පිටුපස සිටින ගැහැනියගේ දිරිමත් බව ඔහුට හොඳ ශක්තියක්, ඒ බව ඇය ලබාදෙන ශක්තියට අමතරව ඉරණමද තීන්දු කරවනවා. රටක නායකයාගේ බිරිය ආර්යාව ලෙස සැලකීම ඇය ඔහුගේ බිරිය නිසාම සිදුවන්නක් වුවත් ඔහුට ඒ රජකම හිමිවෙන්නට බිරියගේ ඉරණමේ බලපෑම අනිවාර්යයෙන්ම හේතු වෙනවා. බොහෝ දෙනා දන්නා පරිදි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රාජයෝග වාසනාව සිය ආර්යාවගෙන් හිමිවූවක්.
රටක ජනාධිපති කෙනෙකු වන්නට රාජ යෝග තිබිය යුතු අතර, ඔහු සතුව රාජයෝග නැතිනම් එය ආර්යාවගෙන් වුව හිමිකර ගන්න පුළුවන්. ඒ බව හොඳින් කියාපාන උදාහරණයක් තමයි ප්‍රේමදාස ජනාධිපතිතමා සහ එම ආර්යාව.
රටේ ජනාධිපති තෝරාගැනීමේදී හොඳ පවුල් සංස්ථාවක් තිබෙන අයෙක්ද යන වග සලකා බැලීම ජනතාව තුළින් නිරායාසයෙන්ම දකින්න පුළුවන්.
අපේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බලනවිට ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාට ජනාධිපති ධුරය හිමිවන්නේ දෙවැනි විවාහය වූවාට පසුවය. ඔහුගේ රාජයෝග පලදුන්නේ පළමු බිරියගේ දික්කසාදයෙන් පසු හමුවූ බිරියගේ දෛවය අනුවයි.
සැමියට රජගෙදර ඔටුන්න හිමිකර දෙන හස්ත රේඛාව, වාසනා රේඛාව හෙවත් ශනි රේඛාව ලෙස හඳුන්වනවා. හස්ත රේඛා පිළිබඳ පුරාණ විද්වතුන්ගේ විග්‍රහය අනුව අත්කරේ සිට මැදගිල්ල දක්වා දිවෙන රේඛාවක් එවන් කාන්තාවන් සතුව තිබෙනවා. ඊට අමතරව ආර්යාවක් බවට පත්වන බවට හස්තයේ ඔටුන්න කොඩිය නෙලුම් මල වැනි සංකේත මඟින් සංඥාව මතුවන්නේ උපතේදීමය.
දුගී පැලක ඉපදුණත් ඒ කාන්තාව විවාහ වන සැමියා රජගෙදරක ඔටුන්න පැලඳීමට තරම් වාසනාවන්තයෙක් කරවන්න හැකියාව ඇති බවට හොඳම නිදසුන වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල මහතා සහ එම ආර්යාවයි. කොළඹ සිට ගමට පැමණි මෛත්‍රීපාල මහතාට අතරමඟදී දරමිටි බැඳගෙන මවක සමඟ දුවක හමුවන අතර, ඒ තරුණිය දිනක තමන්ව රජගෙදරට ගෙන යන බව එදා ඔහුවත් සිතන්නට නැත.
රූප රැජිනක ලෙස කිරුළ පැලැඳූ යුවතියගේ අතිනත ගත් ඒ දිවි ගමනෙත් රජගෙදරට රැගෙන යන්නක් බව හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා සිතන්නට නැත.
පුරුෂයාට රජකම ලබාදෙන බිරියගේ වාසනාව එසේ වෙද්දී සැමියාගේ හව්හරණකින් තොරවම රජගෙදරට ගිය කාන්තාවන් දෙදෙනකු අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරණයට ඉල්ලුවත් සැමියා මියයනතුරුම ඇයට බලය ලැබෙන්නේ නැත. ඇයට රජ පුටුව හිමිවන්නේ සැමියාගේ මරණයෙන් පසුවයි. බණ්ඩාරනායක මැතිනියටත් අගමැති ධුරය හිමිවන්නේ සිය සැමියාගේ මරණයෙන් පසුවයි.
එම නිසා විශේෂයෙන්ම කාන්තාවගේ බලය රජ ගෙදරට අත්‍යවශ්‍ය කාරණයක් බව මින් පැහැදිලි වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නන් අතරින් සිය සැමියාට රාජයෝග පලදෙන ආකාරයේ ග්‍රහ බලයක් පෙන්නුම කරන සුන්දර වාසනාවන්ත බිරියක් සිටින බව කිව යුතුයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එච්.ඩබ්ලිව්. අබේපාල