සුබ දවසක් සුබ නැකැතක් කියන්නේ අපේ මුවග නිතර රැඳෙන වචනයක්. සුබ වෙලාවක් බලලා ඉමු, සුබ දවසක පටන්ගමු, සුබ වැඩක්නෙ කරන්නේ වැනි කතා අතීතයේ සිටම අපේ වචන මාලාවේ තියෙනවා. ඒ නිසා ආවාට ගියාට කිසිවක් කරන පුරුද්දක් අපට නැහැ.
වසර ආරම්භයේදීම හැම ගෙදරකම ලිතක් එල්ලෙන්නෙත් මෙකී සුබ කටයුතු සඳහාමයි. සෑම දිනක් සඳහාම රාහු කාලය, මරු සිටින දිශාව, සුබ දිශාව ආදී වශයෙන් ලිත බලා දැනගැනීමේ පුරුද්දක් අපේ මුතුන්මිත්තන්ගේ සිටම පැවැත එනවා.
තරුණ දරුවෙක් සුබ වැඩක් පටන්ගනිද්දී වැඩිහිටියන් මූලික වෙලා සුබ වෙලාවක්, සුබ දිනයක් බලලා දෙන්නෙත් ඒ නිසයි. හඳහනත් අරගෙන ජ්‍යොතිෂවේදියා ළඟට නොගියත් ලිත බලලා සුබ වෙලාවක්, සුබ දිනයක් තෝරගන්න අපේ වැඩිහිටියෝ දන්නවා.
ඉතින් එවැනි අය වෙනුවෙන් හැම සතියකම සුබ දවස ගැන අපිත් දැනුවත් කරනවා. මේ සතියේ සුබ දවස කවදාද? මේ කතාව ඒ ගැනයි.
හෙටින් උදාවන අලුත් සතියේ ආරම්භයම සුබ දවසක්. ඒ අනුව මේ සතියේ හොඳම දවස වන්නේ 16 වැනි සඳුදා. සතියේ ආරම්භක දවසම සුබ දවසක් ලෙස කටයුතු ආරම්භ කිරීමට ලැබීමත් සුබ ලකුණක් ලෙස සලකන්න පුළුවන්.
ඒ අනුව 16 වැනිදා ඉර උදාව උදෑසන 6.00ට යෙදෙන අතර රාහු කාලය උදේ 7.30 සිට 9.00 දක්වා පැය එකහමාරක කාලයක් යෙදෙනවා. උතුරු දිශාව යෝගිනි වශයෙන්ද, සුබ දිශාව ලෙස දකුණු දිශාවද දක්වන්න පුළුවන්. මරු සිටින්නේ වයඹ දිශාවේ.
දරුවන්ට අකුරු කියැවීමට මේ දිනය ඉතා සුබදායක වන අතර උදේ 6.31ට දකුණු දිශාව බලා ඒ කටයුතු සඳහා මුලපුරන්න පුළුවන්. ඊට අමතරව ළිං කැපීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහාත් උදේ 6.31ට දකුණු දිශාව බලා සුබ පල ලබාගන්න පුළුවන්. වෙළෙඳ කටයුතු සිදුකරන අයගේ සුබ කටයුතු සඳහාත් මේ නැකැත ඉතා සුබදායකයි.
මුවසිරස, සිත, දෙනට, පුනාවස, උත්‍රසල, උත්‍රපල, අස්විද, මා, මුල, කැති, විසා, පුෂ, අනුර යන නැකැත් හිමියන්ට මේ දිනයේදී උපරිම සුබපල ලබාගන්න හැකියාව තිබෙනවා.