ඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හි විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් යෙදෙනුයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය.
සුනථා යෝගය යනු ජන්ම පත්‍රයක රවි ග්‍රහයා හැර වෙනත් ග්‍රහයකු හෝ ග්‍රහයන් කිහිපදෙනකු චන්ද්‍රයාගෙන් දෙවැන්නේ තැන්පත් වීමයි. සුනථා යෝගය පිහිටි ජන්මියා ස්වෝත්සාහයෙන් දියුණු වන බුද්ධිමත්, ධනවත් නිදහස් මතධාරී ප්‍රසිද්ධ වන රජකුට හෝ පාලකයකුට සමාන අයෙකි. එහෙත් සඳුගෙන් දෙවැන්නේ පිහිටි ග්‍රහයා අනුව උක්ත පලාපල විචල්‍ය විය හැකිය. ඒ මෙසේය,
* සඳුගෙන් දෙවැන්නේ ගුරු පිහිටි කල සුප්‍රසිද්ධ විවිධ ක්ෂේත්‍රයන්හි හසළ දැනුමක් ඇති ප්‍රධානත්වය නිතැතින්ම හිමිවන වස්තු සම්පත් භව භෝග හිමි අයෙකි.
* සඳුගෙන් දෙවැන්නේ සිකුරු පිහිටි කල ඉක්මනින් ධනවත් වන කාර්යශූර බොහෝ දස්කම්වලින්ද යුතු අයෙකි.
* සඳුගෙන් දෙවැන්නේ බුධ පිහිටි කල ධාර්මික බුද්ධිමත් කතාවෙහි දක්ෂ ස්වභාව සෞන්දර්යය අගයන නීතිගරුක අයෙකි.
* සඳුගෙන් දෙවැන්නේ කුජ පිහිටි කල බොහෝ බල සම්පන්න නිතර කෝපවන නිර්භීත කෙසේ හෝ ධනවත් වන අයෙකි.
* සඳුගෙන් දෙවැන්නේ ශනි පිහිටි කල බොහෝ දෙනාගේ අවධානයට ලක්වන පුද්ගලයෙකි.
තවද මෙම යෝගයෙන් ගෙනදෙන සුබ පල නොඅඩුවට භුක්ති විඳීමට නම් යෝගයට දායක ග්‍රහයන් උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර ආදී බලයෙන් සිටිය යුතුය. එසේම යෝගයට දායක ග්‍රහයන් රාහු හෝ කේතු සමග නොවිය යුතුය. එපමණක් නොව චන්ද්‍රයා රාහු හෝ කේතු සමඟ නොවිය යුතුය. යම් ලෙසකින් චන්ද්‍රයා රාහු හෝ කේතු සමඟ සිටීමෙන් මෙන්ම රාහු සඳුගෙන් දොළොස් වැන්නේ සිටීමෙන් යෝගයේ ප්‍රබලත්වය හීනවී යයි.
අනථා යෝගය යනු ජන්ම පත්‍රයක රවි ග්‍රහයා හැර වෙනත් ග්‍රහයකු හෝ ග්‍රහයන් කීපදෙනකු සඳුගෙන් දොළොස්වැන්නේ තැන්පත් වීමයි. අනථා යෝගය පිහිටි ජන්මියා ආකර්ෂණීය පෙනුමකින් යුතු ත්‍යාගශීලී ආත්ම විශ්වාසයෙන් හා ආත්ම අභිමානයෙන් යුතු කීර්තිමත් ධනවත් ලස්සනට අඳින පලඳින අයෙකි. එහෙත් උක්ත පලාපල සඳුගෙන් දොළොස්වැන්නේ සිටින ග්‍රහයා අනුව තරමක් වෙනස් වේ. ඒ මෙසේය.
* සඳුගෙන් 12 වැන්නේ ගුරු වේ නම් ධනවත් බුද්ධිමත් අවංක රාජ්‍ය සම්මානයට පාත්‍රවන ගෞරවනීය අයෙකි.
* සඳුගෙන් 12 වැන්නේ සිකුරු වේ නම් භූමි සම්පත්වලින් දියුණු වන විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි අයෙකි.
* සඳුගෙන් 12 වැන්නේ බුධ වේ නම් කලාවට හා සෞන්දර්යට ළැදි ප්‍රසිද්ධ උගත් මිහිරි වදන් කීමෙහි දක්ෂ අයෙකි.
* සඳුගෙන් 12 වැන්නේ කුජ වේ නම් අසාධාරණය පිටුදකින වහා කෝප වන ආරක්ෂක අංශයේ රැකියාවන්හි නියුතු උඩඟු අයෙකි.
* සඳුගෙන් 12 වැන්නේ ශනි වේ නම් කතාවට දක්ෂ පිරිස් පාලනයට දක්ෂ ධාර්මික එහෙත් චරිතය තරමක් අයහපත් අයෙකි.
මෙහිදීද යෝගයට දායක ග්‍රහයන්ගේ රාශි ගත බලය ප්‍රබල වියයුතු අතර උක්ත ග්‍රහයන් රාහු හෝ කේතු සමඟ නොවිය යුතුය. විශේෂයෙන්ම සඳු රාහු හෝ කේතු සමඟ නොවිය යුතුය.
ධුර්ධරා යෝගය යනු ජන්ම පත්‍රයක සඳු දෙපස ග්‍රහයන්ගේ පිහිටීව අනුව නිර්මාණය වන යෝගයකි. පෙර කී සේම මෙම යෝගයේදීද ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය ප්‍රබල විය යුතුය. මෙහිදීද චන්ද්‍රයා හෝ යෝගයට දායක සෙසු ග්‍රහයන් රාහු හෝ කේතු සමඟ වේ නම් යෝගයේ සුබ පල හීන වේ. කෙසේ වෙතත් ධුර්ධරා යෝගය පිහිටීමට නම් සඳුගෙන් දෙවැන්නේත්, සඳුගෙන් 12 වැන්නේත් රවි හැර සෙසු ග්‍රහයන් පිහිටිය යුතුය. මෙලෙස සඳු දෙපස ග්‍රහයන් පිහිටීම අනුව හිමිවන පලාපලද වෙනස් වේ. ඒ මෙසේය.
* සඳු දෙපස ගුරු හා සිකුරු වේ නම් පිරිස් පාලන බලයෙන් යුතු වයසට ගියද, තරුණ වැඩ කරන අයෙකි.
* සඳු දෙපස ගුරු හා බුධ වේ නම් ලේඛන කලාවට දක්ෂ ධාර්මික චතුර කථිකත්වයක් හිමි අයෙකි. මොවුන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇසුරට ලොල්ය.
* සඳු දෙපස බුධ සිකුරු වේ නම් බුද්ධිමත් කලාවට ළැදි කලාවෙන් ජනප්‍රිය වන අයෙකි. එසේම කදිම පෙනුමකට හිමිකම් කියයි.
* සඳු දෙපස කුජ හා ගුරු වේ නම් බොහෝ ධනවත් එහෙත් කැමැති බොහෝ දෑ අහිමි වන සතුරන් බහුල අයෙකි.
* සඳු දෙපස කුජ හා බුධ වේ නම් චරිතය අයහපත් වන අතර නිතර බොරු කියයි. මසුරුකම නිසාම මුදලට ඕනෑම දෙයක් සිදුකරයි. මොවුන් බොහෝ වැඩවලට අතිදක්ෂය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද