දරුවකු ගැන මවුපියන්ට ඇත්තේ අසීමිත බලාපොරොත්තු ප්‍රමාණයකි. දරුවකු උපන්දා සිට එම දරුවා උගතකු වේද, බුද්ධිමතකු වේද, කවුරුන් වේවිද මේ ආදී දහසක් දේ සිතීමට මවුපියන් උත්සාහ දරයි. එහිදී දරුවා ගැන විවිධ බලාපොරොත්තු ඇතිකර ගනී. මේ ආකාරයට මවුපියන් කොතරම් සිහින දුටුවද එම දරුවාගේ උප්පත්ති ග්‍රහචාරය ඒ සියල්ල තීන්දු කරන ප්‍රධාන කාරණය බව අමතක නොකළ යුතු කාරණයකි. මන්ද කවුරුන් කෙලෙස උත්සාහ කළද කෙනකුගේ උපතේදී තිබූ ග්‍රහ සිත්තම එම ජන්මියාට කරන බලපෑම සුළුපටු නොවේ.
කෙසේ නමුත් මවුපියන්ගේ මෙවැනි දහසක් ප්‍රාර්ථනා අතර දරුවා ශාසනයට කැපවේවා යැයි සිතන්නට පවා අකැමැති මවුපියන් විශාල පිරිසකි. කෙසේ නමුත් යම් දරුවකුගේ උත්පත්තියේම එවැනි ග්‍රහ තත්ත්ව පිහිටා තිබෙනු දැකිය හැකි අතර එය වෙනස් කිරීමද පහසු නොවේ.
ජන්ම කේන්දරයක එකම භාවයක ග්‍රහයන් හතර දෙනකු හෝ ඊට වැඩි ගණනක් වූ විට එය පැවිදි යෝගයක් ලෙස පෙන්වා දෙන අතර බොහෝමයක් පැවිදි උතුමන්ගේ කේන්දර පරීක්ෂාවේදී එය සත්‍යයක් බවද පෙනෙන්නට ඇත. එසේ සිටින ග්‍රහයන් ගැන පැරැණි පොතපතෙහි සටහන් වන්නේ මෙලෙසිනි. ඒ අනුව එම ග්‍රහයන් අතරින් රවි බලවත් නම් “වන්‍යාංශ” හෙවත් වනගතව භාවනා කරන භික්ෂුන්වහන්සේ නමක බවට පත්වන බවත්, සඳු බලවත් නම් “වෘද්ධ” නම් වන බවත් එවිට පිරිවර සහිතව වැඩවාසය කරන්නට ලැබෙන බවත් කියැවේ. බුධ බලවත් නම් “භික්ෂු” නම් වන බවත් කියැවේ. එය පිණ්ඩපාතය වැඩමකොට ජීවත්වන තාපස ක්‍රමයකට සමාන ක්‍රමයකි. ගුරු බලවත් වී නම් “ආජීවක”ද, සිකුරු බලවත් නම් “චරක” නම් ගමින් ගමට යන පැවිදි බවක් ලබන බවද කියැවේ. ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ගේ බල දුබලකම අනුව ඉහත ආකාරයට ඒ ඒ අයගේ පැවිදි දිවිය හැඩගැසෙන බව අවබෝධ කරගත යුතුය.
එසේම පැවිදි යෝග ඇත්නම් ඒවා ක්‍රියාත්මක වන කාලයද දැනගැනීම වැදගත් වේ. ඒ අනුව එම යෝගයට සම්බන්ධ බලවත්ම ග්‍රහයාගේ මහ දශාවේ හෝ අන්තර් දශාවේදී යෝගය ක්‍රියාත්මක වනු ඇත.
යෝගයෙහි බලවත්ම ග්‍රහයා ජන්ම කාලයේ ග්‍රහ යුද්ධයෙන් පරාජය වේ නම් එම කාලයේ යළි ගිහියකු වෙයි. “ප්‍රවජ්‍යා” නම් යෝගය යෙදී එහි ග්‍රහයන් දෙදෙනකු බලවත් වී නම් සිවුරු හැර නැවත පැවිදි වෙයි. මේ ආකාරයට පැවිදි බව ලබන තවත් ග්‍රහ පිහිටීම් රැසකි. ඒවා මේ ආකාරයට හඳුන්වා දිය හැකිය.
• සඳු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් එකට සිටීම.
• ලග්නයේ හෝ හත්වැන්නේ කුජ සිටියදී රවි පස්වැන්නේ වීම.
• සඳු සිට රාශියේ අධිපතියා ශනිට පමණක් පෙනීම.
• කුජ හතේත්, රවි නවයේත් සිටීම.
• හතරවැන්නේ ශනි, සිකුරු සිටීම හෝ හතරේ සිකුරු ශනිට පෙනීම.
• කේන්දරයක රාහුත්, කේතුත් හැර වෙනත් ග්‍රහයන් පස්දෙනකු එකම රාශියක පිහිටා සිටීම.
මේ ආකාරයට ජන්මියකුගේ ජීවිතය ශාසනයට කැපවන අයුරු හඳුනාගත හැකි අතර වැඩිදුර කේන්දර පරීක්ෂා කිරීමෙන් ඒවා බලපැවැත්වෙන කාලසීමාවන්ද හඳුනාගත හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී
ජයශ්‍රී නන්ද කුමාර