හැම කෙනකුම කැමැති තම තමන්ගෙ කේන්දරවල තියෙන තමන්ට වාසි ගෙනදෙන ග්‍රහයෝග ගැන අහන්න දැනගන්න තමයි. නරක පල ගෙනදෙන යෝග තියෙනවා කියල දැනගන්න හෝ අහන්න කැමැති නැහැ. ඒ නිසා ධනය, බලය ලැබෙන යෝග සහ රාජ යෝග ගැන තමයි අපි නිතරම කතා කරන්නෙ. ඒ වුණත් අපේ කේන්දරවල තියෙන ප්‍රබල ග්‍රහ යෝගවල බලය අඩු කරවන අයහපත් ග්‍රහ යෝග අපේ කේන්දරවල හැංගිලා තියෙනවා.
ජන්ම පත්‍රයක ප්‍රබල රාජ යෝග එකක් දෙකක් හෝ කිහිපයක් යෙදී තිබුණද එම ජන්ම පත්‍රයේම රවි, කුජ, ගුරු, ශනි කියන ග්‍රහයෝ හතරදෙනාගේම හෝ තිදෙනකු නීචව පිහිටියොත් පෙර කියූ රාජ යෝගවල බලය බිඳෙනවා. රවි, තුලාවේද, කුජ, කටක රාශියේද, ගුරු, මකරයේදීද, ශනි මේෂ රාශියේද නීච වෙනවා.
කේන්දරයක 10 වැනි ස්ථානයේ තමයි රැකියාව ගැන කියැවෙන්නේ. ඒ නිසා 10 වැන්න කර්මස්ථාන (ක්‍රියාවට සම්බන්ධ ස්ථාන) ලෙස හඳුන්වනවා. නීච වූ ග්‍රහයෙක් කර්මස්ථානයේ සිටීමෙනුත් රාජ යෝග භංග වෙනවා. හැබැයි එම ග්‍රහයාගේ නීචය භංග වී තිබුණොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා.
ග්‍රහයකුගේ නීචය භංග වන ක්‍රම කිහිපයක් ගැනම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. නීච ග්‍රහයෙක් කේන්දරයේ කුමන ස්ථානයක සිටියත් එම රාශියේම උච්ච ග්‍රහයෙක් සිටියොත් එම නීචය භංග වෙනවා. මේ ආකාරයට එකම රාශියක් තුළ නීච ග්‍රහයෙක් සහ උච්ච ග්‍රහයෙක් සිටීමෙන් එය නීච භංග රාජ යෝගයක් වෙනවා. එවිට කේන්දර හිමියාට උසස් තත්ත්වයකට පත්වෙන්නට අවස්ථාව උදාවෙනවා.
කිසියම් කේන්දරයක ලග්න භාවය හරි චන්ද්‍රයා සිටින භාවය හරි අඩුම තරමින් එක ග්‍රහයකුගේවත් දෘෂ්ටියට ලක්නොවූ කේන්දරයක කොතරම් බලවත් රාජ යෝග තිබුණත් ඒවා ක්‍රියාත්මක වී කේන්දර හිමියා බලවතෙක් වෙන්නේ නැති බව පරාශර ඍෂිතුමා සඳහන් කර තිබෙනවා. ඔබේ ජන්ම පත්‍රයේ ඉහළින්ම ඇති 1 කොටුව ලග්න භාවය බවත්, ච යන්න සඳහන් කර ඇති කොටුව චන්ද්‍ර භාවය බවත් ඔබ දන්නවා. එනිසා ඔබේ කේන්දරයේ මෙම රාශි දෙක අනෙකුත් ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වෙනවාද යන්න දැන ගැනීමත් වැදගත්.
ග්‍රහයන්ගේ දෘෂ්ටි බලන්නේ සිටින තැන සිට වම් පැත්තටයි. නිතරම ග්‍රහයා ඉන්න තැනට අංක එක යොදලා වම් පැත්තට කොටු ගැනගෙන යන්න. රවිට සහ චන්ද්‍රයාට තමන් සිටින තැන ඉඳලා 3, 7, 10 යන ස්ථාන පෙනෙන බවත්, කුජට සහ බුධට තමන් සිටින තැන ඉඳලා 4, 7, 8 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂය සිද්ධාන්තවල සඳහන් වෙනවා. ඒ වගේම ගුරුට සහ සිකුරුට තමන් සිටින තැන ඉඳන් 5, 7, 9 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.
මේ ආකාරයට ඔබේ කේන්දරයේ ලග්න භාවය හරි චන්ද්‍රභාවය හරි වෙනත් ග්‍රහයකුට පෙනෙනවා නම් ඔබේ කේන්දරයේ ඇති බලවත් රාජ යෝග ක්‍රියාත්මක වෙනවා. එසේ නැතිනම් ඒවා ක්‍රියාත්මක නොවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.
ඔබගේ කේන්දරයේ රවි හෝ ගුරු හොඳටම දුර්වල වෙලා (පරම නීච තත්ත්වයට පත්වෙලා) සිටියාමත් කේන්දරයේ තිබෙන අනෙකුත් රාජ යෝගවල බලය අහිමි වෙනවා. එවිට පරම නීච තත්ත්වයට පත්වෙන්නේ තුලා රාශියේ අංශක 10දී. ගුරු පරම නීච තත්ත්වයට පත්වෙන්නේ මකර රාශියේ අංශක 5දී. ඔබේ උපන් දිනයට අදාළ පංචාංග ලිත් පිටුවෙන් ඔබ උපන් වෙලාවේ ග්‍රහයන් පිහිටි අංශක කලා ගණන බලා ගන්න පුළුවන්. කෙනකුට තමන්ගේ නවාංශක කේන්දර බලලත් ග්‍රහයන් හිටපු අංශක ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයෙන් නවාංශකයේ පිළිවෙළට වම් පැත්තට රාශි හඳුනා ගන්නත් පුළුවන්. නවාංශකය මේෂ නම් වම් පැත්තට දෙවැන්න වෘෂභ, තුන්වැන්න මිථුන, හතරවැන්න කටක ආදී වශයෙන්. තුලා රාශියේ අංශක 10 සීමාව අයත්වන්නේ මකර නවාංශකයට ඔබගේ කේන්දරයේ රවි, තුලා රාශියේ ඉඳලා මකර නවාංශකයේ ඉන්නවා නම් එයාගේ බලය අඩුයි. ඒ වගේම ගුරු ඉන්නේ මකර රාශියේ නම් එයාගේ පරම නීච අංශක 5 අයත් වෙන්නේ කුම්භ නවාංශකයට. ගුරු, මකර රාශිය තුළ කුම්භ නවාංශකයේ සිටියොත් එයාගේ බලය අඩුයි.
යම් ලෙසකට ඔබේ කේන්දරයේ බලවත් රාජ යෝග කිහිපයක් තිබුණත්, සියලුම පාප ග්‍රහයන් කේන්දර ස්ථානවල සිටියදී සියලුම සුබ ග්‍රහයන් නීච වෙලා හරි සතුරු වෙලා හරි ඉන්නවා නම් ඔබට අර බලවත් යෝගවල බලය ලබාගන්නට අපහසු වෙනවා. කේන්දර ස්ථාන ලෙස සලකන්නේ ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන ස්ථානයි. සුබ ග්‍රහයන් ලෙස බුධ, ගුරු, සිකුරුද, අසුබ ග්‍රහයන් ලෙස රවි, කුජ, ශනි, රාහු සහ කේතුද සලකනු ලබනවා.
කේන්දරයක යහපත් යෝග දුටු පමණින් කේන්දර හිමියා බලවතෙක් ලෙස සිතන්න බැහැ. කේන්දරයේ ප්‍රබල යෝග භංග කරන අයහපත් යෝග තිබෙනවාද කියලත් බලන්න ඕන.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි











