වරුණි, ඉරිදා පත්තරයක් අතට ගත්තේ බලන්න. ආසාවට නෙවෙයි. මුකුත් නොකර ඉද්දී පිස්සු හැදෙන තරමට ඔළුවට එක එක දේවල් එන හින්දා. කිසිදු සැනසීමක් ඒ වෙද්දී වරුණිලාගේ ජීවිතවල තිබුණෙ නෑ. වකුගඩු රෝගී වූ පුද්ගලයන් බොහෝ දෙනකු වකුගඩු බද්ධ කිරීමට ඉල්ලා සිටි දැන්වීම් දැකලා පත්තරේ බලන්න ගත්තේ මොන එහෙකටද කියල වරුණිට හිතුණා. ඇය පත්තරේ පැත්තකට විසිකරලා දැම්මා. විසිකරලා දාපු පත්තරේ පිටු සුළඟට පෙරළිලා වකුගඩු දැන්වීමක් තියෙන පත්තර පිටුවක් වරුණිගෙ කකුල් දෙක පාමුල වැටුණේ අවාසනාව හොල්මන් කරනවා වගේ. දැන්වීම දුටු වරුණිට සංඛව මතක් වුණා. සංඛට වකුගඩුවක් බද්ධ කරන මට්ටමට වකුගඩු අකර්මණ්‍යවී නොතිබුණත් වෛද්‍යවරුන් සංඛගේ වකුගඩුවලින් ප්‍රෝටීන පිටවෙනවා කියලා හොයාගෙන තිබුණා. ප්‍රතිකාරවලින් මාස කිහිපයකින් සුව ලැබුණත් ඉස්සෙල්ලා වගේ ආයෙත් රෝග ලක්ෂණ තියෙනවා කියලා සංඛ වරුණිට කියලා දවස් දෙකක් විතර. ඒ කතාවත් එක්ක වරුණිට ජීවිතය ගැන අනියත බියක් ඇතිවුණා.
සංඛ උපන් ගම වුණු ගාල්ලෙන් කොළඹට ඇවිල්ලා විදුලි උපාංග ආනයනය කරන පෞද්ගලික ආයතනයක සේවය කළා. රැකියාවෙන් ඉවත් වෙලා ඒ ලැබුණු අත්දැකීම් සහ දැනහැඳුනුම්කම් එක්ක සංඛ විදුලි උපාංග නිපදවන්නට සහ විදුලි උපාංග ආනයනය කරන්න පටන් ගත්තා. කෙටි කාලයක් තුළ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට එන්න සංඛට හැකි වුණා. අවුරුදු ගානක් සංඛයි වරුණියි දරුවොයි ජීවත් වුණේ වරුණිගෙ මහ ගෙදර. පදිංචි වෙලා හිටිය නිවෙසේ පහසුකම් මදිවීමත්, පැරැණි බවත් නිසා නවීන අලංකාර නිවෙසක අවශ්‍යතාව ඔවුන්ට පැනනැඟුණා. අගනුවර ආසන්නයෙන් ඉඩමක් අරන් මෙම නිවෙස ඉදිකළේ ඒ නිසයි. ගෙදර පදිංචි වුණාට පස්සේ හේතුවක් නැතිව පවුලේ සමගියට බාධා කරමින් රණ්ඩුසරුවල් ඇතිවුණා. හොඳට ඉගෙනගත්ත ළමයි දෙන්නා ඉගෙනගන්නෙත් නැහැ. ලෙඩක් දුකක් නැතිව හිටිය සංඛට වකුගඩු රෝගයක් ඇතිවුණා. බිස්නස් අඩුවෙලා බොහොම අමාරුවෙන් ව්‍යාපාර කරගෙන ගියේ. පුදුමාකාර ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා. නිවෙසේ වාස්තු පරීක්ෂා කිරීමට හේතුව එයයි. සංඛගේ ගෙදර තිබුණු වාස්තු දෝෂ හඳුනාගෙන එම දෝෂ ඉවත් කිරීමට කටයුතු කළේ මෙහෙමයි.
- ද්වාරාන්තර වේධය
ද්වාරාන්තර වේධය කියන්නේ දොරවල් 02ක් අතර පවතින වාස්තු දෝෂය හෙවත් ප්‍රධාන දොර ඉදිරිපිටින් සිටගත් විට කුස්සියේ දොරෙන් පිටත පෙනීමයි. මෙය ප්‍රධානතම ධන හානි ගෙනදෙන ජීවිත සෝදාපාළුවට ලක්කරන ප්‍රබල වාස්තු දෝෂයක්. ප්‍රධාන දොර සුබ පාදයක තිබුණත් ද්වාරාන්තර වේධ දෝෂය භංග නොවන අතර සමහරු දෝෂය භංග වීමට යැයි කියා තිර රෙදි යෙදීම, කුස්සියේ දොරෙන් එළිය නොපෙනෙන සේ කබඞ් වැනි දෙයින් ආවරණය කිරීම සිදුකරනවා. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් මෙම දෝෂය කිසිදු විටෙක ඉවත් කිරීමට බැහැ. පසුව කුස්සියේ දොර ගලවා ඉවත් කොට සුදුසු ස්ථානයක තැබීමෙන් මෙම දෝෂය ඉවත් කළෙමි. - දුබා දෝෂය
දුබා දෝෂයේද අවස්ථා කිහිපයකි. මෙහිදී අප සලකා බලන්නේ බැලුම් බෝලයක් මැදින් මිරිකාගත් විට ඇතිවන ආකාරයෙන් අත්තිවාරම මැදින් සිහින් වීමයි. ඉංග්‍රීසි හෝඩියේ ‘එච්’ අකුර සිහියට නඟාගන්න. එවිට දෙපසින් සමාන කොටස් කැපූ ආකාරයක් පෙනේ. අත්තිවාරමේ මැදින් නොයෙදුනද අත්තිවාරමේ කොතැනක යෙදුණත් සෑම අවස්ථාවකදීම දෝෂය යෙදේ. මෙලෙස පිහිටීමෙන් පවුලේ සමගිය සමාදානය බිඳීයයි. හෘදයාබාධ, වකුගඩු, අක්මා රෝගාබාධ ඇතිවේ. දැඩි පීඩනයකින් අසීරුවෙන් ජීවිත ගෙන යෑමට සිදුවේ. මෙම දෝෂය භංග කිරීමට එක් පැත්තකින් බිත්ති බැඳ එක් කොටසක් සම්පූර්ණයෙන් වසා දෝෂය ඉවත් කළෙමි. - ඉඩමේ ජීව ගුණය විනාශ වීම
ඉඩමක ජීවගුණය විනාශ වීම ලෙස සලකන්නේ සෝදාපාළුවට ලක්වීමයි. අනුන්ගේ ඉඩම් සෝදාගෙන පැමිණෙන අපජලය ඉඩම තුළ එක්රැස්වීම සහ වතුර බස්නාව දෝෂසහගත වීම මෙයට හේතුවේ. මෙම ඉඩමේ උතුර, ඊසාන දිශාවන්ගෙන් වැසි ජලය බැස ගියත් සමහර අවස්ථාවලදී වෙනත් ඉඩම් සෝදාගෙන එන අපජලය නැඟෙනහිර දිශාවෙන් ඉඩමට එක්රැස්වී පැවැතිණි. මෙමගින් ඉඩමෙ ජීව ගුණය විනාශ වන අතර ප්‍රතිඵලය නොයෙක් ප්‍රශ්න කරදරවලින් යුතු ජීවිත නිර්මාණය වීමයි. බාහිර අපජලය ඉඩමට ඇතුළු නොවන සේ ඉඩම උස් කොට කානු පද්ධතියක් සකස් කිරීම නිසා දෝෂය භංග විය.
මෙම දෝෂය නිරාකරණය කිරීමෙන් පසු ව්‍යාපාරික ගැටලු විසඳුණු අතර දැන් සංඛ නිරෝගීව වරුණි සහ දරුවන් සමඟ සතුටෙන් සමගියෙන් ජීවත් වෙයි.
වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











