මුවමඬල පුන් සඳක් මෙන් බැබළෙන තාරකාවක් පසුගිය සතියේ 24 වැනි සුමති සම්මාන රාත්‍රියේ තරු අතර අභිෂේක ලබන්නට වාසනාවන්තියක් වුණා. ඒ 2019 වසරේ ජනප්‍රියම නිළිය ලෙසිනි. ඇය නයෝමි තක්ෂිලා.
ජනප්‍රිය නිළිය වෙනවා කියන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාවේ ඒ තරමට රංගන ශිල්පීන් වැඩි නිසා මෙය අභියෝගයක්. ඉතින් මේ ලබාගත්ත කිරුළ ගැන මුලින්ම කතා කළොත්?
මට එය ගැන කතා කරන්න වචන නැහැ. ඒ තරමට සතුටක් තියෙන්නේ. මම හිතුවෙ නැහැ මට මේ තරම් ඉක්මනට ජනප්‍රිය නිළිය සම්මානය ලැබෙයි කියලා. මොකද මට වඩා මේ ක්ෂේත්රයේ පළපුරුදු තිබුණු දක්ෂ ශිල්පීන් හිටියා. ඉතින් ඒ සියලුමදෙනා අභිභවා මට මේ ලැබුණු සම්මානය මගේ දරුවෙක් හා සමානයි. මොකද මම කලාව වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වුණා.
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සම්මානය ලැබුණේ නීල පබළු නිසාද? එහෙමත් නැතිනම් වෙනත් ටෙලිනාට්‍යයක් නිසාද කියන එක?
බොහෝ දෙනෙක් මාව දැන හඳුනගත්තේ නීල පබළු ටෙලිනාට්‍යයේ පූජාගේ චරිතය නිසා. ඒ චරිතය නිසා මට බොහෝ පිරිසක් ආදරය කළා. මම අනෙකුත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණත් ඒ අවස්ථාවන් ලැබුණේ පූජා නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන ‘තෝඩු’, ‘ක්ලික්’, ‘නෝපාර්කින්’ සහ ‘ඇය’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා.
අපි දකින නයෝමි තක්ෂිලා නෙමේ මේ එක ටෙලිනාට්‍යයකවත් චරිත මවන්නේ. ඉතින් ඔබ කොහොමද මෙවැනි අභියෝගයකට මුහුණ දෙන්නේ?
ඇත්තටම අභියෝගවලට මම කැමැතියි. උදාහරණයක් විදියට අපි හිතමු අද මට ෂූටින් තියෙන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට කියලා. ඉතින් මම උදේ අවදි වෙන්නේ පූජාගේ චරිතයෙන්. එදා දවසම මම ඒ චරිතය තුළ තමයි ජීවත් වෙන්නේ. ඒක කරන්න බැරි අසීරු කටයුත්තක්. ඒත් මට ඒ විදියට කරන්න සිද්ධ වෙනවා.
මම හිතන්නේ ඔබේ ගමනේ ආරම්භයේදීම ලොකු අඩිතාලමක් ලැබෙන්න ඇති නිළි රැජින මාලනී ෆොන්සේකාගෙන්?
එය ගැන නම් කිව යුතුමයි. මම කවදාවත් හිතුවේ නැහැ මාලනී ෆොන්සේකා සමඟ එකට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙයි කියලා. ඒ අවස්ථාව මට උදාකර දුන්නේ රුවන් චමින්ද කුමානායක කියන කැමරා ශිල්පියා. ඔහු මට කිව්වා ටෙලිනාට්‍යයකට අලුත් කෙනෙක් හොයනවා කියලා. ඒ හරහා තමයි ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයේ ‘ලැයිසා’ වුණේ. මට මාලනී මිස් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැම දෙයක්ම මගේ කලා ජීවිතයේදී හිතට අරගෙන ආපු ගමනක් තමයි මේ.
පුංචිම කාලේ නයෝමි සිහින මැව්වේ හින්දි නිළියක් වීමට නේද?
ඔව්. මගේ පොඩි කාලේ තිබුණු එකම ආශාව බොලිවුඞ් රංගන ශිල්පිනියක් වීමටයි. ඉතින් කාලෙත් එක්ක ඒ සිහිනය බොඳවෙලා ගියා. පස්සේ උසස් අධ්‍යාපනයත් එක්ක තමයි මම හිතුවේ කලාවට යොමුවෙන්න ඕනා කියලා. ඒ හරහා තමයි මම මුලදි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණේ.
අද බහුතරයක් රංගන ශිල්පිනියන් ආරක්ෂාවට කියලා කවුරුහරි පිටිපස්සෙන් එක්කගෙන යනවා. ඒත් නයෝමිට එහෙම කෙනෙක් නැද්ද තනියට යන්න?
මුලදි නම් අම්මා මම එක්ක වැඩ කිහිපයකට සම්බන්ධ වුණා. මම මේ ක්ෂේත්රයට අලුත් නිසා. ඒත් පසුකාලීනව මේ ක්ෂේත්රයේ ඉන්න සියලුම දෙනා මගේම පිරිසක් වුණා. ඉතින් ඇයි මම බය වෙන්නේ. හැමෝම මට ආදරෙයි. මුලදි මම එහෙම අම්මත් එක්කගෙන ගියේ මේ ක්ෂේත්රය ගැන අහන්න ලැබුණු දේවල් නිසා. ඒත් ගිහින් බැලුවාම කිසිවක් ඇත්ත නෙවෙයි. බොරු දේවල් එළියට යන්නේ කියලා මම හිතුවා.
දැන්නම් සම්මානය පිටුපස සැඟවුණු ආදර කතා එහෙම ඇති නේද?
එහෙම ආදර කතාවක නම් පැටලිලා නැහැ තවම. එහෙම කාගෙන්වත් මට ආදර ඇරැයුම් ලැබිලත් නැහැ. හැමෝම මට සැලකුවේ එයාලගෙම සහෝදරියක් විදියට තමයි.
ආදර කතාවක් නැතිනම් සම්මානය පිටුපස රසබර කතාවක්වත් ඇති?
රසබර කතා නම් ඕන තරම් තියෙනවා. පසුගිය දවසක ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ සුප් දෙකකට ලුණු දාන සීන් එකක් තිබුණා. ඉතින් මම එක සුප් එකකට ලුණු දැම්මා. අනෙකට දැම්මේ නැහැ. මේක දැකපු කුරුළු සුප් කෝප්ප දෙක මාරු කළා. අවසානයේ මට බොන්න සිද්ධ වුණේ ලුණු දාපු සුප් කෝප්පය.
තව දෙයක් තමයි මෙවර සුමති සම්මාන ගත්ත නයෝමි හෙට දවසේ ෆේස්බුක් හරහාත් සම්මානයක් ගනීවි කියලා අපට හිතෙනවා. ඒ තරමට ඔබේ රංගනය ගැන සමාජ මාධ්‍ය හරහා කතා වෙනවා?
මම විතරක් එහෙම වීඩියෝ ක්ලිප් දානවා නෙමේ. විදේශීය ශිල්පීන්ගේ පේජ් බැලුවොත් ඔවුනුත් විවිධ වීඩියෝ ක්ලිප් දානවා. ඒවා දකින ප්‍රේක්ෂකයන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මමත් ෂූටින් කරන වෙලාවල්වල විවේකී වෙලාවට මගේ වීඩියෝ ක්ලිප් අරන් දානවා.
වසන්ත විතාරණගේ











