ගෙදර ඉඳන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපට කිහිපයක් ගැන අපි පසුගිය සතියක කතා කළා. ඒ සියල්ලම සංචාරකයන් සහ ඒ පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපට. ඒ අතරින් එක සුවිශේෂී චිත්‍රපටයක් ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න තමයි මේ හදන්නේ. ඒ තමයි Into the Wild’ .
මේ චිත්‍රපටයේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයක් වීම තමයි ඒ අතරින් ප්‍රධාන. Sean Penn චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ 2007 අවුරුද්දේ. Sean Penn තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. Jon Krakauer විසින් 1996 වසරේදී රචනා කළ Into the Wild කියන නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.
තම උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව දෙමව්පියන්ගෙන් සහ සොහොයුරියගෙන් වෙන්වීයන Chris McCandless නැමැති තරුණයෙක් මඟ දිගේ ඇවිද යන සංචාරකයකු බවට පත් වී අවසානයේ ඇලස්කාව ආසන්නයේ වනාන්තරයක අත් හැර දැමූ බස් රථයක් තුළ මිය යන ආකාරය තමයි චිත්‍රපටයේ දැක්වෙන්නේ. Into the Wild චිත්‍රපටයේ කතා සාරංශය ඉතාම කෙටියෙන් තමයි ඒ විස්තර කළේ. නමුත් අතරමඟ ඔහු මුහුණ දෙන සිදුවීම් එක්ක මේ කතාව හරිම රසවත්. ගොඩ දෙනෙක් බලල තියෙන හින්දා ඒ ගැන ලොකුවට විස්තර කරන්නේ නැහැ. බලලා නැත්නම් දැන්මම බලන්න.
චිත්‍රපටයේ අඩංගු සිදුවීම් පෙළ එතැනින් අවසන් වුණත් සැබෑ සිදුවීමේදී ඒ කතාව ඊට ටිකක් එහාට යනවා. මරණයෙන් සති දෙකකට විතර පස්සේ දඩයක්කරුවන් විසින් මැජික් බස් රථයේ තිබියදී Chris McCandlessගේ දේහය සොයා ගෙන තියෙනවා. ඒ 1992 සැප්තැම්බර් 06 වැනිදා. පසුව ඔහුගේ සොහොයුරිය පැමිණ දේහය වෙත අවසන් ගෞරව දැක්වූ බවත් සඳහන්. ඒ වගේම ඔහුගේ දේහයේ බර කිලෝ ග්‍රෑම් 30කටත් වඩා අඩු වී තිබුණු බවත් සඳහන්. බස් රථයේ තිබී ඔහුගේ සටහන් වලට අමතරව කුඩා කැමරාවක සටහන්ව තිබූ ඡායාරූපයක්ද සොයා ගෙන තියෙනවා. බස් රථය ඉදිරියේ Chris වාඩි වී සිටින ආකාරය දැක්වෙන එය ඔහු තනිවම ඡායාරූප ගත කළ එකක්. ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ එම ඡායාරූපයේ ඔහු ඉන්නේ සතුටු පිරුණ සිනහමුසු මුහුණකින්. එය දකින ඕනෑම කෙනකුගේ නෙතට දැන් වුණත් කඳුළක් නැඟෙන්නේ නිරායාසයෙන්මයි.
1968 පෙබරවාරි 12 වැනි දින ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී උපත ලැබූ Christopher Johnson McCandless වයස අවුරුදු 24දී ඉතාම ඛේදනීය විදියට මේ ලෝකයෙන් සමු ගන්නවා. ඒ රසවත් වගේම හැඟීම්බර කතාවක් ලෝකයට දායාද කරලා. 1993 ජනවාරි මාසයේදී මාසික සඟරාවක් හරහා පළවන මේ කතාන්දරය පසුව නවකතාවක් බවටත්, ඊටත් පසුව චිත්‍රපටයක් බවටත් පත් වෙනවා. ඒ හරහා Chris මිය ගිහින් අවුරුදු 28කට පස්සෙත් අපි ඔහු ගැන තවමත් කතා කරනවා.
Into the Wild කතාව දන්න ගොඩ දෙනකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිය යනතුරු Chris ජීවත් වුණු මැජික් බස් එක කැලේ ඇතුළට ආවේ කොහොමද කියන එක තමයි ඒ ප්‍රශ්නය. මේක ඇත්ත කතාවක් හින්දා ඒ බස් එක එතැනට ආවේ කොහොමද කියලා හිතට නැඟෙන එක සාධාරණයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇලෙස්කා ප්‍රාන්තයේ පිහිටි Stampede Trail නැමැති ජනප්‍රිය සංචාරක ගමන් මාර්ගයේ තමයි මේ බස් රථය තියෙන්නේ. Denali ජාතික උද්‍යානය ආසන්නයේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. Fairbanks City බස් රථ සමාගමට අයත් 142 අංක දරන මෙම බස් රථය 1946 දි ධාවනයෙන් ඉවත් කර තිබෙනවා. නමුත් පසුව 1960-61 අතර කාලයේ Denali ජාතික උද්‍යානය අවට සිදු කළ මාර්ග දියුණු කිරීම් කටයුතු සඳහා මේ බස් රථය යොදා ගෙන තිබෙනවා. බස් රථයේ තිබුණු ඇන්ජිම වෙනුවට බුල්ඩෝසර් රථයක ඇන්ජිමක් ඒ වන විට යොදා තිබූ බවත් සඳහන්. එම ව්‍යාපෘතියේ සේවකයන් වෙනුවෙන් නවාතැන් ගැනීම සඳහා ඇඳක් සහ ගිනි උදුනකුත් සවි කරලා තියෙනවා. චිත්‍රපටය හරහාත් අපිට එය දැක ගන්න පුළුවන්. මාර්ග වැඩ කටයුතු අවසානයේ 1970 වසරේදී පමණ මේ බස් රථය නැවත රැගෙන යාමට සූදානම් වුවත්, එහි ඇක්සලය කැඩී යාම මත බස් රථය අත්හැර දැමීමට සේවකයන් තීරණය කරලා තියෙනවා. එදා සිට අද දක්වා මේ මැජික් බස් රථය සංචාරකයන්ගේ සහ දඩයක්කරුවන්ගේ නවාතැනක් බවට පත් වෙලා තියෙනවා.
Christopher Johnson McCandless මේ සිදුවීමට මුහුණ දෙන්නේ 1992 වසරේදී වුවත්, අදටත් මේ බස් රථය එදා තැන ඒ විදියටම තියෙනවා. නමුත් මේ වෙද්දි නම් බස් රථය බොහොම අබලන් බවට පත් වෙලා තියෙන බවත් කියැවෙනවා. එහි වීදුරු බොහොමයක් බිඳී ගොස් ඇති ආකාරයත් දකින්න පුළුවන්. මේ බස් රථයේ රාත්‍රිය ගත කිරීම සඳහා අදටත් සංචාරකයෝ ගමන් කරනවා. මේ බස් රථය දැක ගැනීම සහ එහි රාත්‍රියක් ගත කිරීම අදටත් ගොඩ දෙනකුගේ සිහිනයක්.
ලංකාවේ අපිට නම් ඒ සිහිනය ගොඩක් දුරයි. ඒත් ඒ සිහිනය සැබෑ කර ගත්ත ලාංකිකයොත් නැතිවාම නෙවෙයි. ලෝකය පුරාම සංචාරය කරන, සංචාරය තම ජීවිතය කර ගත් ඩිලන් සමරවික්‍රමත් ඒ අතරින් කෙනෙක්. Christopher Johnson McCandless ජීවිත ගමනට සමුදුන්නු මැජික් බස් එක ළඟට යන්න අපේ ඩිලන්ට හැකියාව ලැබිලා තියෙනවා. Chris වගේම ඒ බස් එක ඉස්සරහ ඉඳන් ඡායාරූපයක් ගන්නත් ඩිලන්ට හැකියාව ලැබිලා තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම











