ජන්ම පත්‍රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්‍රධාන ස්ථාන සතරකි. ලක්ෂණය, හතරවැන්න, හත්වැන්න හා දහවැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර කේන්දරය ලෙස හැඳින්වේ. මෙහිදී ලක්ෂණයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතයද, 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන් ගේදොර, ඉඩකඩම්, යාන වාහන, ගෘහ ජීවිතය හා මව පිළිබඳවද, 7 වැන්න හෙවත් කලත්‍ර ස්ථානයෙන් කලත්‍රයා හා විවාහය සම්බන්ධවද, 10 වැන්න හෙවත් කර්ම ස්ථානයෙන් රැකී රක්ෂා, තනතුරු, නිලතල ආදිය පිළිබඳවද විස්තර වේ. සාර්ථක පුද්ගලයකුගේ ජීවිතයේ උක්ත කරුණු සියල්ල බොහෝ විට ඉතා සාර්ථකය.
කෙසේ වෙතත් සතර කේන්දරයේම කිසිදු ග්‍රහයකු නොමැති වීම එදා මෙන්ම අදත් සමාජයේ බොහෝ දෙනා බියට පත්වන පිහිටීමකි. එවැනි කේන්දර පිහිටීමකින් ජනිත වන්නකු ඉතා අවාසනාවන්ත බවත්, අන්ත දුගී වී අසරණව සිඟමනට වැටෙන බවත්, උන්හිටි තැන් පවා අහිමි වන බවත්, විවාහයක්, රැකියාවක් නොලබන බවත් බහුතර මතයයි. එහෙත් එය එලෙසම පිළිගැනීම අනුවණකමකි. හතර කේන්දරය පාළුව පුස්සක් වූ අවස්ථා බොහොමයක් මා හට හමුවී ඇත. එනමුත් අතීතයේ නම් බොහෝ විට හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් බුද්ධ ශාසනයට පූජා කිරීම සිරිතක්ව පැවැතිණි. එලෙස සසුනට දරුවකු පූජා කිරීමේ උදාර පින්කමට මවුපියන් පෙලඹුණේ බුද්ධ පුත්‍රයකු වීම තුළින් අතිවිශාල පිනක් සිදු කරගත හැකි බැවිනි. එලෙස සසුන්ගත වූ භික්ෂුන්වහන්සේලා ඉතා උගත් කීර්තිමත් ධර්මධර් විනයධර භික්ෂුන් බවට පත්වූ අවස්ථාද එමටය.
තවද මෙලෙස හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ ඉතා ඉහළ නිලතල දරන අයුරුද මා දැක ඇත. ඒ අතර කීර්තිමත් වෘත්තිකයන් ලෙස අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්, දක්ෂ ඉන්ජිනේරුවන්, බුද්ධිමතුන් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. කරුණු කාරණා එසේ නම් එලෙස සිදුවූයේ කෙසේද? බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා වුවද හතර කේන්දරය පාළුව ප්‍රබල දෝෂයක් වුවද එය භංග වේ. එලෙස තමාගේ ජන්ම පත්‍රය තුළින්ම හතර කේන්දරය පාළුවීමේ දෝෂය භංග වන පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන්ය. එනිසා බැලූ බැල්මට හතර කේන්දරයේම එකම ග්‍රහයකුවත් නොමැති බව දුටු සැණින් හතර කේන්දරය පාළුය, අශුභය යනුවෙන් නොපවසා කළ යුත්තේ හතර කේන්දරයේ පාළුව භංග වේදැයි සොයා බැලීමයි. හතර කේන්දරයේ පාළු දෝෂය භංග වන පිහිටීම් මෙසේය.
- සඳුගෙන් කේන්දරගතව හෙවත් සඳුගෙන් 1,4,7,10 යන ස්ථානවල ග්‍රහයන් සිටීම.
- සඳුගෙන් ත්‍රිකෝණගතව හෙවත් සඳුගෙන් 5,9 ආදී ස්ථානවල ග්‍රහයන් සිටීම.
- ලග්නාධිපති නවාංශක කේන්දරයේ කේන්දර ස්ථාන සතරින් එකක වීම.
- ලග්න කේන්දරයේ 4 වැන්නාධිපති නවාංශක කේන්දරයේ 5,9 ආදී ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබීම.
- ලග්නයට ගුරුගේ දෘෂ්ටිය ලැබීම.
- චන්ද්‍රයා සමග ග්‍රහයකු සිටීම.
- චන්ද්‍රාධියෝගය හෙවත් චන්ද්‍රයාගෙන් 6,7,8 යන ස්ථානවල පිළිවෙළින් බුධ, ගුරු, සිකුරු යන ශුභයන් සිටීම.
ඉහත සඳහන් පිහිටීම් එකකින් හෝ හතර කේන්දරය පාළු දෝෂ භංග වේ නම් කිසිසේත්ම හතර කේන්දරය පාළු දෝෂයට අනියත බියක් ඇති කරගත යුතු නැත.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද පානදුර