බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදි බැඳ ගනිමින් එක්වන යුවළක් මුළු දිවිය පුරාම සතුටින්, සමඟියෙන්, සෙනෙහසින් මෙන්ම උතුරා ගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි. නමුත් විවාහ වන බොහෝ දෙනකුට එම සිහිනය සිහිනයක්ම වනු දැකිය හැකිය. දෙදෙනකු විවාහ වීමට යෑමේදී දෙදෙනාගේ පොරොන්දම් පමණක් පරීක්‍ෂා කර ප්‍රතිශතය කීමට බොහෝ අය පුරුදුව සිටී. නමුත් දෙදෙනාගේ පොරොන්දම් 100%ක් ගැළපුණද විවාහය සිදු නොකළ යුතුයි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණියගේ හා තරුණයාගේ නිවැරැදි උපන් වේලාවට සැදූ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් එකිනෙකාට ගැළපේ දැයිද පරීක්‍ෂා කළ යුතුයි. එසේ පරීක්‍ෂා කළ යුතු ග්‍රහ පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒවා විවාහ දෝෂ ලෙසද හඳුන්වයි. එසේ පරීක්‍ෂා කරන විවාහ දෝෂ ගණනාවකි. ඒවා අතර කුජ – ශුක්‍ර යෝගය වැනි සරාගී යෝග, වඳ යෝග, කළුකුමාර දෝෂය, පිළිසිඳ ගැනීමේ දෝෂ, තුන්කුලුඳුල් දෝෂය, කුජ දෝෂය, කඩහන්දි දෝෂය, නාශාංශක දෝෂය, බහු විවාහ යෝග වැන්දඹු දෝෂය, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය ආදිය ප්‍රධාන තැනක් ගනී.
මෙම දෝෂ අතරත් ඉතා දරුණුම දෝෂය ලෙස විෂ කන්‍යා දෝෂය ගත හැකිය. මෙය ඉතා අසුබ යෝගයකි. මෙම යෝගයේ විශේෂත්වය වනුයේ කාන්තා පාර්ශ්වයට පමණක් පිහිටීමයි. මෙම විෂ කන්‍යා යෝගය පමණක් නොව ජන්ම පත්‍රයෙහි පිහිටා ඇති සුබ යෝග හා අසුබ යෝග යන දෙකට පෙර සසරෙහි සිදු කළ පින් හා පව්වල ප්‍රතිඵලයන්ය. විෂ කන්‍යා යෝග පිහිටි කාන්තාවන් පෙර සසරේදී විවාහ වන යුවතිපතීන්ට හට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, එම විවාහ කටයුතුවලට අකුල් හෙළීම, විවාහක ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට විවාහය හේතු කොට ගෙන තාඩන-පීඩන මානසිකව හෝ කායිකව එල්ල කිරීම, විවාහ කඩාකප්පල් කිරීම, අඹු-සැමියන් කේලාම් කියා විරසක කිරීම, අඹු-සැමියන් වෙන් කිරීම, විවාහ සැපතට බාධා කිරීම ආදිය සිදුකර ඇත. විෂ කන්‍යා යෝගය ජන්ම පත්‍රයෙහි විවිධ ආකාරයට පිහිටයි. එම පිහිටීම් මෙසේය.
* රවි 5 වැන්නේ වී කුජ නීච වීම.
* 7 වැන්න, 8 වැන්න, 12 වැන්න යන රාශිවලින් එකක් මේෂ හෝ වෘශ්චික වී එහි කුජ සිටීම.
* 8 අධිපතියා පාපියෙක් වී 9යේ සිටීම.
* ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදි වීම.
* ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි සිටීම.
* ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනෙක් පිහිටීම.
* ඉරිදා දින 12 වැනි තිථිය හා අස්ලිස හෝ සියාවස නැකැතක වීම.
* ලග්නයේ පාපියෙක් සිට සුබ ග්‍රහයන් සතුරු රාශි ගතවීම.
* ජන්ම නැකැත, විසා නැකැත වී 2, 7 තිථිය ලත් කුජ දිනක් වීම.
* සෙනසුරාදා දිනක 2 වැනි තිථිය හා අස්ලිස නැකැතකින් ඉපදීම.
* පසළොස්වක දිනය යෙදී ඇති ඉරිදා දිනක අස්ලිස, කැති, සියාවස නැකැතකින් ඉපදීම.
* දෙවැනි තිථිය ඇති අඟහරුවාදා දවසක සියාවස නැකැතකින් ඉපදීම.
* ශනි 1, රවි 5, කුජ 9 සිටීම.
* සිංහ ලග්නය වී ශනි 1, රවි, කේතු 6 සිටීම.
* ලග්නය සිංහ වී කුජ, රාහු 1 හා රවි ශනි 10 සිටීම.
* මේෂ ලග්නය වී කුජ 1, රවි, රාහු 6 සිටීම.
* මේෂ ලග්නය වී ශනි 1, කුජ, කේතු 6 සිටීම.
* මේෂ ලග්නය වී රාහු 1, කුජ, ශනි 6 සිටීම.
ස්ත්‍රියකගේ ජන්ම පත්‍රයෙහි මෙවැනි ග්‍රහ පිහිටීමක් සඳහන් වෙයි නම් ඇය විෂ කන්‍යා යෝගයකින් උපන් තැනැත්තියෙකි. මෙවැනි විෂ කන්‍යාවක් සමඟ විවාහ වන පුරුෂයාට බොහෝ විපත් ගෙන දෙන බව පූර්වාචාරීන්ගේ මතයයි. මෙවැනි විෂ කන්‍යා යෝගයකින් උපන් කාන්තාවක් හා විවාහ වන පුරුෂයා අකාලයේ මියයන බවද, එම පුරුෂයා දිනෙන් දින දිළිඳු වන බවද, බෙලහීනතාවකට හෝ අකර්මණ්‍ය වන බවද, ඍෂි මතයයි. මීට අමතරව මෙවැනි විෂ කන්‍යාවකට කිසිසේත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගතකර නැත. පළමු සැමියා මියගිය පසු මොවුන් දෙවැනි විවාහයක්ද, එම සැමියාද මියගිය පසු තෙවැනි විවාහයක්ද කරගනී. එම සැමියාටද විෂ කන්‍යාවේ අසුබ පල ලැබී මාරක විපත් ඇති වීම වැළැක්විය නොහැකිය.
විෂ කන්‍යා යෝගය හිමි කාන්තාවගේ විවාහක සැමියාට විපත් වනවා මෙන්ම ඇයටද බොහෝ දුර්විපාක විෂ කන්‍යාව හේතුකර ගනිමින් බුක්ති විඳීමට සිදුවෙයි. ඒ අතර මානසික අසහනය, අවිවේකීභාවය, කරදර, දුක්කම්කටොලු නිතර ඇති වීම, ලැබුණු සැපයද භුක්ති විඳීමට නොහැකි වීම, නිතර සැමියාගේ පහරකෑමට ලක්වීම, සැමියාගේ පිළිකුලට මෙන්ම අපහාසයට ලක්වීම, දරුවන් මියයෑම හෝ දරුවන් නොමැති වීම, ආදිය ප්‍රධාන ස්ථානයක් ගනී.
විවාහ ජීවිතය අපායක් කරන මෙම නපුරු, දරුණු විෂ කන්‍යා යෝගය යම් ජන්ම පත්‍රයක පිහිටියද, එම යෝගය භංග වෙයි නම් අසුබ ඵල කිසිවක් නොලැබෙනු ඇත. විෂ කන්‍යා යෝගය භංග වන පිහිටීම් ගණනාවක්ද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
ඒවා මෙසේය,
* 7 වැන්නාධිපතියා 7 වැන්නේම සිටීම
* ලග්නයේ ගුරු, සිකුරු වැනි සුබ ග්‍රහයකු සුබ ආකාරයට සිටීම (උච්ච, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර)
* චන්ද්‍රයා සමඟ සුබ ග්‍රහයකු සිටීම
* ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රබලව සිටීම.
* 7 වැන්නාධිපති ලග්නයේ සුබ ආකාරව සිටීම
* 7 අධිපති සඳු සමඟ හෝ සුබ ග්‍රහයන් සමඟ සුබ ආකාරයට සිටීම.
මෙම ක්‍රම එකකින් හෝ විෂ කන්‍යා යෝගය භංග වේ නම් ඇය විෂ කන්‍යාවක් නොවේ. ඇයට විවාහ වී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගතකළ හැකිය. එබැවින් විෂ කන්‍යා යෝගයක් ඇති කේන්දරයක් දුටු පමණින් පලාපල නොපවසා හොඳින් විමර්ශනය කර භංග වේදැයි බැලිය යුතුයි. විෂ කන්‍යා යෝගය භංග වන තරුණියකට විෂ කන්‍යාවක් යැයි පැවසීම ඇගේ අනාගතය අඳුරු කරන්නකි. එය මහත් අකුසල කර්මයකි. විෂ කන්‍යා යෝගය වැනි තීරණාත්මක විවාහ දෝෂ පිළිබඳව හොඳින් පරීක්‍ෂා කර බලා පලාපල පැවැසිය යුතු බව තරයේ මතක තබාගත යුතුමය.
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී











