කෙනකුගේ ශරීරයේ ඇති අවයව, හැඩතල තවත් කෙනකුගේ ශරීරයේ අවයව සහ හැඩතලවලට වෙනස් වෙයි. එනිසාම එකිනෙකා තුළ ඇත්තේ විවිධ ආකාරයේ හැඩහුරුකම්ය. එසේ වීමට බලපාන ප්‍රධානම සාධකය ඔවුනොවුන් පෙර ආත්මවල කරගෙන ආ කුසල්, අකුසල් බව අප මීට ප්‍රථමයෙනුත් ඔබට පවසා ඇත. ඒ අනුව එකිනෙකාගේ උරහිස් අනුව ඔවුන්ටම ආවේණික ගතිගුණ සහ අනාගතය ගැන පැවසෙන ඉඟි මොනවාදැයි බලමු.
ගැහැනු – පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනකුගේ උරහිස මසින් පිරී උස්ව පිහිටයි නම් එය වාසනාවේ ලක්‍ෂණයක් ලෙස හඳුන්වා දෙයි. මේ අයට අනාගතය යහපත්කර ගැනීමේ පෙර පින ඇත්තේය. ජීවිතයේ වැඩි කාලයක් සතුටින් ගතකරන්නට වාසනාව ඇතත් විවිධ අසනීප පහසුවෙන් වැලඳෙන්නට ඉඩකඩ වැඩි බව පැවසෙයි.
යම් කෙනකුගේ උරහිස් පළල්ව පිහිටයි නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න පිරිස්ය. පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු නොවන අතර, ඕනෑම වැඩක් ඉතා සාර්ථකව කිරීමේ හැකියාව මේ අයට ඇත. ව්‍යාපාරිකයන් ලෙස සාර්ථක වීමේ හැකියාවෙන් පිරිපුන් මේ අයට ඕනෑම දෙයක් තම වාසියට හරවාගෙන දියුණු වීමේ වාසනාව ඇත.
කඩාවැටී ඉදිරියට නැමුණු ආකාරයේ උරහිස් ඇත්නම් එයින් පෙන්නුම් කරන්නේ වැඩි ආයුෂයි. එසේම යම් ලෙසකට මේ අයගේ උරහිස් උස්ව පෙනෙනවා නම් ඒ අය උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කර තම අරමුණු ජය ගන්නන් වෙයි.
කෙනකුගේ උරහිස අසාමාන්‍ය ලෙස පටු නම් ඒ අයගේ දියුණුව සෙමින් සිදුවෙයි. සැඟවුණු චරිත ඇත්තන් වන අතර, ඉදිරියට යෑම, ඉදිරිපත්වීම මෙන්ම දියුණුවීමේ උනන්දුවද අඩුය. කිසිදෙයක් ගැන විශ්වාස නොකරන අයකුද වෙයි.
යම් ස්ත්‍රියකගේ උරහිස පිරිපුන්ව මනාව පිහිටා ඇත්නම් ඉතාමත් වාසනාවන්ත, යසඉසුරුපිරි ජීවිතයකට උරුමකම් කියයි. අන් අය අතර කැපී පෙනෙන ස්වභාවය ඇත. විනෝදයට වැඩි ඇල්මක් දක්වයි. රසකාමී අදහස් බහුල වෙයි. මේ අය විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුරට තදින් ප්‍රිය කරන්නියන්ද වෙයි.
ඉදිරියට නැමුණු උරහිස් ඇති ස්ත්‍රියට වාසනාවන්ත දරුවන් ලබන්නට පෙර පින් ඇත. ඇය අන් අයගේ සැපත, සතුට අගයයි. කෙසේ හෝ තම අභිලාසයන් ජයගන්නට කටයුතු කරන්නියකි.
පහතට නැවී ඇති ආකාරයක් දක්වන උරහිසක් ඇත්නම් ඇයද වාසනාවන්තියකි. අන් අයගේ ගෞරවයට ලක්වෙයි. මේ අයගේ විවාහ ජීවිතය සාර්ථකය. හොඳ සහකරුවකු ලැබේ. කිසිවකු මුළා කරන්න කැමැති නොවේ.
සියල්ල කතාවෙන් ජයගන්නා, කතාවට දක්‍ෂ ගැහැනියගේ එක් උරහිසක් අනෙකට වඩා පහත්ව පිහිටයි. පවුලේ සාමාජිකයන් මෙන්ම සමාජයද ඇයට අවනත වෙයි. දකුණු උරහිස පහත් වූයේ නම් ඇය ලබන්නේ පිරිමි දරුවන්ය. මේ අය සැමියාට තදින් ආදරය කරයි. ඕනෑම දෙයක් සිතාබලා ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.
උඩට නැවී ඇති ආකාරයට දිස්වන උරහිස් ඇති ස්ත්‍රිය චරිතය ගැන නොසිතා කටයුතු කරයි. කාමාධිකය. පිරිමින් කෙරේ ලොල්ව කටයුතු කරයි. බොහෝ ස්ත්‍රීන් සතු නම්‍යශීලී ගතිගුණ ඇය තුළ අල්පය. එසේම යම් ස්ත්‍රියකට කෙට්ටු උරහිස් ඇත්නම් ඇය අවාසනාවන්ත අයෙකි. ජීවිතයේ වැඩිහරියක් දුකින් කාලය ගෙවන්නට සිදුවෙයි. ආර්ථික අතින් දුර්වල වෙයි. විවාහය සාර්ථක නොවෙනවා සේම තනිකමට ප්‍රිය කරයි.
ස්ත්‍රියකගේ උරහිසේ රෝම පිහිටයි නම් ඇයගේද යුග දිවිය සාර්ථක නොවන බව පැවසෙයි. එසේම පිරිමියකුගේ උරහිසේ රෝම සහිතව මසින් පිරී උස්ව පිහිටයිනම් ඔහුට ජීවිතයේ ඉතාමත් කෙටි කලකින් ධනවතකු බවට පත්වීමට වාසනාව ඇත. උගත්කම ලැබේ. ගරුබුහුමන්, කීර්තිය, ප්‍රශංසාව අඩු නැත. සියල්ල ජයගත හැකි අතර, වාසනාව උපතින්ම උරුම දෙයකි. යම් ලෙසකට උරහිස් ඝනව පිහිටයි නම් ඔහුටද ධනවත් වීමේ වාසනාව ඇත. කිසිවකින් කම්පා නොවෙයි.
දෙපසට නැමුණු උරහිස් ඇත්තන් එම උරහිස් මසින් පිරී ඇත්නම්, නැටුම්, ගැයුම් සේම ලේඛනයෙහිද දක්‍ෂයන්ය. කුමන කටයුත්තක් වුවද ඉතා පහසුවෙන් ඉගෙනගනී. තැනට සුදුසු නුවණ ඇත. කෙට්ටු උරහිස් ඇත්නම් අන් අය අබිබවා තම අරමුණ ජයගන්නට කටයුතු කරයි. අභියෝග මැඩගෙන ඉදිරියට යයි. සමාජශීලීය.
ජ්‍යෙතිෂවේදී ජය ශ්‍රී නන්ද කුමාර











