වසරක් ගතවී නව වසරක් උදාවත්ම සෑම සිංහල බොදු නිවෙසකම පාහේ සශ්‍රීකත්වය, සමෘද්ධිය අපේක්ෂාවෙන් කිරි ඉතිරිවීමක්, කිරිබතක් පිස ගැනීමක් සාමාන්‍ය සිරිතයි. එසේම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෙම නව වසර උදාව සංකේතවත් කරමින් කොණ්ඩා කැවුම් වැනි රසකැවිලි පවා සාදනු ලබයි. වාර්ෂිකව සිදුවන මෙම නව වසර උදාවීම සිංහල බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමික මෙන්ම අන්‍ය ජාතිකයන්ද ඉහළින් සමරනු දැකිය හැකිය.
නව වසරක උදාවත් සමඟ සාදාගනු ලබන කිරිබත ඉතාම සුවිශේෂීය. විශේෂයෙන් පෙරදිග සංස්කෘතිය තුළ කිරිබතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සිසිල් ගුණයෙන් පොහොසත් කිරිබත පිළියෙල කිරීමේදී බොහෝ විට එළකිරි දී කිරි, උක්හකුරු, ගිතෙල්, මෝරු වැනි දෑ එක්කරනු දැකිය හැක.
ඈත අතීතයේ සිට අද දක්වා පිළියෙල වන කිරිබත වර්ග ගණනාවකි. ඒ මිදි කිරිබත, ඉඹුල් කිරිබත, ලබු කිරිබත, රතු කැකුළු කිරිබත, සුදු කැකුළු කිරිබත හා පලතුරු කිරිබත ආදී වශයෙනි. මීට අමතරව ඇතැමුන් කිරිබතට කැරට්, බඩඉරිඟු, මුංඇට වැනි දෑ එක්කර කිරිබතේ රසය වෙනස් කරගනුද දැකිය හැකිය.
මේ සියල්ලටම අතිරේකව ඇතැමුන් ඖෂධීය ගුණයෙන් අනූන කිරිබතක් සුදු හෝ රතු කැකුළු සහල්, එළකිරි හෝ පොල් කිරි, උක් හකුරු, කජුමද, වියළි මිදි, මුංඇට, දියලුණු, ගිතෙල්, එනසහල්, රතුලූනු, සුදුලූනු, ගොටුකොළ, කොත්තමල්ලි කොළ, කරපිංචා කොළ, රම්පා යන ද්‍රව්‍ය උපයෝගි කරගෙන සකසා ගනු දැකිය හැකිය.
කෙසේ නමුත් කවර වර්ගයේ කිරිබතක් වුවද රසවත්ව පිළියෙල කර ගැනීම හොඳින් ඉවුම් පිහුම් දත් ගෘහිණියකට අභියෝගයක් නොවේ. මන්ද ඔවුන් කිරිබත සඳහා තමාට රිසි සේ යොදාගන්නා ද්‍රව්‍ය කවර ප්‍රමාණවලින් යොදාගත යුතුද යන වග හොඳින් දන්නා බැවිනි.
මෙසේ සාදා ගන්නා කිරිබත ගෘහිණිය කෑම මේසයට ගෙන එන්නේ කෝලිකුට්ටු, කෙසෙල් ගෙඩි, උක් හකුරු, හෝ කිතුල් හකුරු හා ලුණු මිරිස්ද සහිතවය. ඇතැම් ප්‍රදේශවල කොණ්ඩා කැවුම් හා කොකිස් වැනි කැවිලි වර්ගවලින්ද කෑම මේසය හැඩ වීම දැකිය හැක.
දොළොස් මසක් ගෙවී උදාවන නව වසර සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි ශ්‍රී සුබ නව වසරක්ම වේවා.
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී











