දෙදෙනකු කාලාන්තරයක් ආදරය කර හෝ එසේත් නැතිනම් යෝජනාවකට අනුව හෝ විවාහ දිවියට ඇතුළත් වන්නේ දහසක් බලාපොරොත්තු හදවතේ පුරවාගෙනය. එසේ විවාහ දිවියට ඇතුළත් වන අය අතරින් බහුතරයක් තමන්ටම කියා නිවෙසක් ඉදිකරගෙන පදිංචි වෙන අතර, තවත් පිරිසක් තමන්ට පරම්පරාවෙන් උරුම වූ නිවෙස වෙනස් කොට අලුත්වැඩියා කොට පදිංචි වෙන අවස්ථාද දැකිය හැකිය. එහෙත් මේ කුමන ආකාරයට විවාහයට ඇතුළත් වුවද, කුමන ආකාරයක නිවෙසක පදිංචි වුවද තමන් වෙසෙන නිවෙස ගැන ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. එසේම නිවෙසේ වාස්තු තත්ත්වයන් ගැනද හොඳින් පරීක්‍ෂා කරවාගෙන කටයුතු කිරීමද වැදගත් වෙයි. එසේ නොවන්නට විවිධ ලෙඩරෝග, පවුල් ගැටුම් ආදිය ඇති වී අසමගිය වර්ධනය වී විවාහය බිඳී යන අවස්ථාද දක්නට ලැබේ.
ගිනිකොනේ කාමර
ඇතැම් අය නිවාස ඉදිකිරීමේදී සිය නිදන කාමරය ගිනිකොනට දිශාගත කොට නිමකරවා ගනී. එලෙස ගිනිකොනට වන්නට ඉදිකළ කාමරවල නව යුවතිපතිනීන් එහි ලැගුම් ගැනීමෙන් විවාහය තුළ අසමගිය, ගැටුම් මෙන්ම අවුල් – වියවුල්ද ඇති වී විවාහය දෙදරා යන අවස්ථාද ඇත.
මෙම ප්‍රශ්නය කොතරම් දුරට බලපානවා දැයි කිවහොත් ඇතැම් පවුල් තමන්ට හදිහූනියම් කර ඇතැයි සිතා කට්ටඩියන් සොයා යන්නටද පෙලඹෙන අවස්ථා ඇත. විශේෂයෙන් ගිනිකොන දිශාව ගින්නට සුදුසු දිශාව බැවින් අඹු-සැමි යුවළකට මෙය කෙසේවත් සුදුසු නොවේ. එවැනි යුවළකට ඉතාමත් සුබ වන්නේ නිවෙසේ දකුණු දිශාවට බරව ඉදිකළ කාමරයයි.
බිත්ති ප්‍රමාණය වැඩි කාමර
ඇතැම් අය කාමරයේ හෝ සාලයේ හැඩය සහ පෙනුම ලබා ගැනීමට හැඩ බිත්ති යොදයි. එසේ හැඩ බිත්තියක් යෙදීමෙන් කාමරයක බිත්ති ප්‍රමාණය හතරට වඩා වැඩි වන අතර, එය එතරම් සුබදායක නොවේ. මෙවැනි නිවාසවල සිටින ලේලිලා, නැන්දම්මලා, බෑනලා, මාමලා නිතර ගැටෙන අතර, ඒ තරමටම අඹු-සැමි යුවළද ගැටීම් ඇතිකර ගනී. නව යුවළකගේ කාමරයක් හැකි තරම් විශාල වීම ඉතා සුබදායක වෙයි. කාමර කුඩා වීම අසාර්ථකත්වයට අතවැනීමකි.
වහලයටත් විශේෂ තැනක්
මුදුන් යට ලීයේ පිරිද්දුම්, කුරුපා, බාල්ක මෙන්ම අනෙකුත් යටලීවල එවැනි විශේෂිත තැන් ඉහළින් සිටින ආකාරයට ඒ යට ඇඳ තබා නිදා ගැනීම අතිශය අසුබදායක වෙයි. දකුණු දිශාවට හිස යොමුවන ආකාරයට ඉහත සඳහන් කළ අසුබතා මඟහැර ඇඳ තබා ගැනීමෙන් ඉතා සාර්ථක අඹු-සැමි ජීවිතයක් ගතකරන්නට හැකිවනු ඇත. යම් ලෙසකට ඉහත දෝෂ හසුවුවහොත් දරුපල අහිමි වීම්, ගැටුම් ඇති වීම සිදුවිය හැකිය.
ගිනිකතුර
මෙය නිවෙසේ මධ්‍යම ලක්‍ෂ්‍යයේ සිට අට දිශාවට ගමන් කරන්නකි. දකුණු දිශාවේ නිදන කාමරය හරහාද මෙය ගමන් කරයි. එනිසා එම රේඛාවට ඇඳ හරි මැදින් නොකැපෙන සේ තබාගත යුතුය. බ්‍රහ්ම පාදය හරහා එන මෙම රේඛාවට හසුවුවහොත් නව යුවළකට එය අතිශය අසුබදායක වෙයි. එයින්ද දෙදෙනා අතර, අසමගියට හේතු යෙදේ. දරුපලද අහිමි වෙයි. නිතර ගැටුම් ඇති වීම අඹු-සැමි සතුට අහිමි වීමද සිදුවිය හැකිය.
නිවෙස අසල අසුබ ගහ-කොළ
මැංගුස්, ගොරකා, කොට්ටන්, තැඹිලි, රඹුටන් ආදී ගස් නිවෙස අසල සිටුවා ඇත්නම්, එම ගස්වල සෙවණ නිදන කාමරයට වැටීම සුබ නොවේ. මෙම ගස්වල සිට අදෘශ්‍යමාන බලවේග රාත්‍රි කාලයේ නව යුවළට බැල්ම හෙළන බවට විශ්වාස කෙරේ. මෙමඟින් දරුපල අහිමි වීම, ලෙඩ රෝග ඇති වීම පමණක් නොව දෙදෙනා අතර කායික සබඳතාවල පරස්පරතා ඇති වීමෙන් ප්‍රශ්නද හටගනී.
කාමරයේ පිරිසිදුකම
බොහෝ අය තම කිලිටි රෙදි කාමරයේ ගොඩගසා තබාගනී. එය ඉතාමත් අසුබ දෙයකි. නිතරම නව යුවළකගේ නිදන කාමරය ඉතා පිරිසුදුවට, පිළිවෙළකට තිබිය යුතුය. එනිසා කිලිටි රෙදි කිසිවක් කාමරයේ නොතිබිය යුතු අතර, අනෙකුත් රෙදිද හැකි තරම් අල්මාරිය තුළ අසුරා තබන්න. රෙදි වැල් කාමරයේ ඇත්නම් එවැනි කාමර අතිශය අසුබදායකය.
කණ්ණාඩි
අඹු-සැමියන් නිදන යහන අසල කණ්ණාඩි තිබීම සුබදායක නොවේ. දෙදෙනා යහනේ නිදාගත් විට එය කණ්ණාඩියෙන් පෙනෙනවා නම් මේ තත්ත්වය තවත් බරපතළ වනු ඇත. එනිසා අඹු-සැමි යුවළක් සිටින කාමරයක ඇති කණ්ණාඩි සහ කණ්ණාඩි යෙදූ ලී භාණ්ඩ ඉවත් කළ හැකි නම් වඩාත් යෝග්‍ය වෙයි. එසේ නොමැති විට ඔවුන් අතර නොරිස්සුම්, අසමගිතා, මන්දගාමී බව, අලසකම මෙන්ම ලිංගික බෙලහීනතාවයද ඇති වෙයි. මෙමඟින් පවුලෙ සතුට, සමගිය දුරස්ව පවුල් සංස්ථාව දෙදරා යනු ඇත.
උළුහව් තැබීම
නිවෙසක මැද බිත්තියෙන් කාමර තුනකට යෑමට දොරවල් තබා ඇත්නම් එම කාමරයක් නව යුවළට වාසයට ගැනීමෙන් දැඩි අසුබතා ඇති වෙයි. නිවැසියන් අතර හොඳ හිත නැති වීම, අඹු-සැමියන් තෘප්තිමත් නොවීම, නිතරම අසමගිතා ඇති වීම ආදී බොහෝ බරපතළ තත්ත්වයන් මේ තුළින් ඇති වෙයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











