විවාහය පතන බොහෝ දෙනකුට මේ පිළිබඳව නිවැරැදි අර්ථකථනයක් ඉදිරිපත් කළ නොහැකිය. වැඩිහිටියන් කියන නිසා පොරොන්දම් බලනවා. මට නම් පොරොන්දම් පිළිබඳ විශ්වාසයක් නෑ. එලෙස බොහෝදෙනා පවසනු ඇසෙයි. නිවැරැදිව පොරොන්දම් පරීක්ෂාව පිළිබඳව විමසිලිමත් වන්නෝද බොහෝය. පොරොන්දම් බලන්නේ දෙදෙනකු අතර යහපත් විවාහයක් ගොඩනැඟීම විමසුම් කරනු උදෙසාය. යහපත් යුග දිවියක් ගත කිරීමට දූ දරුවන් ලැබ තම වර්ගයා බලවත් කිරීමට තම අදහස් සහ ශාරීරික සොබාවයකට අනුකූලව ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීම විවාහයේ පරමාර්ථයයි. විවාහය පිළිබඳ බොහෝ ආකල්පයන් ලාංකික ජන ජීවිතයට සම්මිශ්‍රණය වූයේ ඉන්දියාව හරහාය. භාරත දේශයේ බුද්ධ කාලයට පෙරාතුවද විවාහය පිළිබඳව මූලික වූ පොදු කරුණු රැසක් විය.
භාරත දේශයේ වැසියන් තම පවුලට, දියණියක බිහිවීම අභාග්‍යසම්පන්නව දුටු කාලවකවානුවක් විය. දියණියකගේ විවාහයකදීද ඇය වෙනුවෙන් මවුපියන් දියයුතු දායාදය එයට එක් කරුණකි.
අතීතයේ භාරත දේශයේ බලවතුන්ගේ කායික තෘප්තිය උදෙසා වෙසඟනන් බහුල විය. රූමතියක හිමිකර ගැනීම වෙනුවෙන් යුදවැදුණු කුමාරවරුන් පිළිබඳව කතාන්දරයන්ද රැසෙකි. එවන් රූමතියකට අවසානයේ හිමිවූයේ එම බලවතුන් සනහන වෙසඟනක වීමය. රාජ නියමයද එයම විය. රූමත් වෙසඟනකට රාජ්‍ය අනුග්‍රහයද, පිළිගැනීමද අතීත භාරත දේශයෙන් උරුම විය.
පුරාණ හින්දු චාරිත්‍ර අනුව ස්වාමියා අකාලයේ මියගිය බිරියකගේ උත්තම පූජාව ලෙස හින්දුන් එම දිවි පූජාව හෙවත් සති පූජාව වර්ගීකරණය කළහ. මේ සියල්ලම සිදුවන්නේ විවාහය මූලික කරගෙනය. ස්ත්‍රියකගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවාහ කටයුතුවලදී ස්ත්‍රී නැකැත මූලික කර විවාහ පරීක්ෂාව සිදුකරන්නේ ස්ත්‍රියකගේ අවදානම දුරුකිරීමටය.
පැරැණි පොතපතෙහි සඳහන් වන්නේ විවාහ පරීක්ෂාව ස්ත්‍රි නැකැත මූලික කරගෙනම සිදුකළ යුතු බවය. වර්තමානයේ යුග දිවියට බලපාන පොරොන්දම් පරීක්ෂා කිරීම සිදුවන්නේ ස්ත්‍රි නැකැත ප්‍රධාන කරගෙනය.
දෙදෙනකුගේ උපන් නැකැත් අනුව පොරොන්දම් පරීක්ෂාවේදී එය අතීතයට, වර්තමානයට පමණක් නොව අනාගතයටද එක ලෙසින්ම බලපවත්වනු ලබන්නේය.
දෙදෙනකුගේ පෙර අන්දම විමසීම පොරොන්දම් බැලීම නම් වෙයි. ජ්‍යොතිෂයෙහි පොරොන්දම් පරීක්ෂණ රාශියකි. එහි පරතෙර දුටුවෝ අද ජීවතුන් අතර නැත. තම නැණ පමණින් කටයුතු කිරීමට ජ්‍යොතිෂවේදීහු දක්ෂයෝය. එනමුදු මෙම පැරැණි, ගැඹුරු විද්‍යා ශාස්ත්‍රයෙහි පොරොන්දම් ගැළපීම තුළ දෝෂ භංග වන ක්‍රමවේදයක්ද ඇත. බොහෝ ජ්‍යොතිෂවේදීහු වටහා නොගෙන ඇත්තේද එම කරුණුය.
සරල පොරොන්දම් පරීක්ෂාවකින් නොගැළපෙන පොරොන්දම් හඳුනා ගත හැකිය. එහෙත් විවාහයෙන් ඈත්වන යුවළක් දෝෂ භංග වන පොරොන්දම් තුළින් නැවැත එක්විය හැකිය. ඔවුන් සාර්ථක යුග දිවියක් ගතකිරීමට හේතු වූ සාධකය නිවැරැදි පොරොන්දම් පරීක්ෂාව නොවන්නේද?
ගැඹුරු වූ වැදගත් වූ පොරොන්දම් තුළින් පැවැසෙන අර්ථය වර්තමාන තරුණ පෙළ වටහාගෙන නැත. නොගැළපෙන පොරොන්දම්වල ඇති නොගැළපීම වටහා ගැනීමටත් නොගැළපෙන පොරොන්දම්වල ඇති නොගැළපීම් වටහා ගැනීමටත් ගැළපෙන පොරොන්දම් තුළ ඇති ගැළපීම වටහා ගැනීමටත් මෙම සටහන උපකාරි වෙයි.
- නැකැත් පොරොන්දම
යුග දිවියට පිවිසෙන දෙදෙනකුගේ ගතිගුණ – චරිතය සහ විශේෂයෙන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම, ප්‍රියමනාප වීම මෙයින් කියැවෙයි. - ගණ පොරොන්දම
දෙදෙනාගේ සෞඛ්‍ය, සමගිය විමසයි. - මහේන්ද්‍ර පොරොන්දම
විවාහයෙන් පසු සාමය, සමගිය ඇතිවීමටත් තම පරපුර රැකගැනීමටත් දරුවන් අවශ්‍ය වෙයි. වාසනාවන්ත දරුපල විමසුම් කරන්නේ මෙම පොරොන්දමෙනි. - ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
විවාහයෙන් පසු එකිනෙකාගේ බැඳීම, සුහදත්වය සහ අවංක වීම ස්ත්‍රි දීර්ඝ පොරොන්දමෙන් නිරූපිතයි. - යෝනි පොරොන්දම
විවාහය සාර්ථක වීමට ලිංගික ඇසුර බලවත්ය. දෙදෙනාගේ කායික ගැළපීම යෝනි පොරොන්දමෙන් ඉතා බලවත්ව පෙන්වයි. - රාශි පොරොන්දම
විවාහයට පත්වන දෙදෙනාගේ බාහිර සහ අභ්‍යන්තරික ගතිගුණ පරීක්ෂා කරයි. - රාශ්‍යාදිපති පොරොන්දම
දෙදෙනාගේ කැමැත්ත, අකමැත්ත හෙවත් ප්‍රිය, අප්‍රිය දේ පිළිබඳව දෙදෙනාගේ සමානතාව විමසුම් කරයි. - රජ්ජු පොරොන්දම
දෙදෙනාගේ සිතුම් පැතුම් ඉටුවේදැයි විමර්ශනය කරයි. - වෛශ්‍ය පොරොන්දම
ඔවුනොවුන් වෙත දක්වන ඇල්ම, ආදරය, වාසනාව තීරණය කරයි. - වේද පොරොන්දම
වාසනාවන්ත දරු උපත් හා දරු උපතට වන හානියද වේද පොරොන්දමෙන් දැකිය හැකිය. - වෘක්ෂ පොරොන්දම
දරු පරපුර හෙවත් දරුපල පිළිබඳව තීරණය කෙරෙයි. - ආයුෂ පොරොන්දම
බමුණු සංකල්පය මත ගොඩනැඟුණු පොරොන්දමකි. එය වර්තමානයට එතරම් නිවැරැදි නැත. - පඤ්ච පක්ෂි පොරොන්දම
එකිනෙකාගේ සතුරු මිතුරු වීම සහ වාසනාව අවාසනාව පිළිබඳ ගැළපීම පෙන්වයි. - භූත පොරොන්දම
දෙදෙනාගේ කායික හා මානසික ගැලපීම විග්‍රහ කෙරෙයි. - ගෝත්‍ර පොරොන්දම
මෙයද වර්තමානයට එතරම් ගැළපීමක් නැත. - වර්ණ පොරොන්දම
දෙදෙනාගේ දිරිමත් බව තුළ මානසික ගැළපීම විමසයි. - ලිංග පොරොන්දම
මෙම පොරොන්දම යෝනි පොරොන්දම සමඟ බැඳී පවතියි. නැකැත්වල ලිංග භේදය අනුව තීරණය වෙයි. - දින පොරොන්දම
දෙදෙනාගේ විවාහයෙන් පසු දියුණුව සහ වාසනාව – අවාසනාව පිළිබඳ විග්‍රහ කෙරෙයි. - නාඩි පොරොන්දම
අවශ්‍යම පොරොන්දමකි. දෙදෙනාගේ නහර ශක්තිය, රුධිරය ගැලීම, දරුවන් සම්බන්ධ බලපෑම කියැවෙයි. - ග්‍රහ පොරොන්දම
යුග දිවියේ සාර්ථක, අසාර්ථක භාවය තීරණය කරවයි. මෙහි සඳහන් සියල්ල දෝෂ භංග වන ආකාරයටද, ග්‍රහබල පිහිටීමද විමර්ශනය කළ යුතුය. විමසන්නාගේ අවබෝධයද ගළපන්නාගේ දක්ෂතාවයද බලවත්වූ විට පොරොන්දම් ගැළපීම සාර්ථක වෙයි. සියල්ල නුවණින් දකින්න. ඔබට මෙය මඟදැක්මක් මෙන්ම ප්‍රශ්නාර්තයක්ද වනු නිසැකය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











