ධනය හැම දෙනාටම එක වගේ වැදගත්. හැමෝටම ධනය තියෙනවා. සමහරුන්ට ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ අය ධනවතුන් ලෙස හඳුන්වනවා. මේ ධනපතියන්ගේ කේන්දරවල අනෙක් අයට වඩා ටිකක් වැඩියෙන් ධන යෝග ගැබ්වෙලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ජීවිත කාලයේදී හැමදාම එක වගේ වැඩිපුර ධනය ගලා එන්නේ නැහැ. වැඩි වැඩියෙන් මුදල් ලැබෙන කාල තියෙනවා. අපි කොහොමද අපේ කේන්දරය තුළින් අපට වැඩියෙන් මුදල් ලැබෙන හොඳ කාල හඳුනාගන්නේ කියන එක ගැන අද අවධානය යොමු කරමු.
කේන්දරයක ලග්න භාවය (පළමුවැන්න), හතරවැන්න, පස්වැන්න, නවවැන්න, දහවැන්න සහ එකොළොස්වැන්න සහ එම ස්ථානවල තැන්පත්වූ හෝ අධිපතිකම දරන සුබ ග්‍රහයන් පුද්ගලයකුගේ ධනවත් බවට, සමෘද්ධිමත් බවට, යහපත් ලෙස බලපාන බවයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඒ වගේම කේන්දරයක හය, අට, දොළහ කියන තැන් සහ එම ස්ථාන අධිපතීන් සහ එම ස්ථානවල තැන්පත් වූ අසුබ ග්‍රහයන් නිතරම පුද්ගලයාට අවාසි සිදුකර කරදර ඇතිකරන බව තමයි පිළිගැනීම. අසුබ ග්‍රහයන් හැටියට රවි, කුජ, ශනි, රාහු සහ කේතු යන ග්‍රහයන් ගණන් ගන්නවා.
ඉතින් ග්‍රහයන් කේන්දරයේ හොඳ තැන්වල හොඳට හිටියා කියලා ඕනෑම කෙනකුට හැමදාම එක වගේ ධනය ගලා එන්නේ නැහැ. හැමදාම සතුටින් ඉන්නත් බැහැ. ආර්ථික ප්‍රශ්න ඇතිවන කාල, වෙනත් කරදර ඇතිවන කාල පසුකරමින් තමයි ජීවිත ගමන ගලාගෙන යන්නේ. අපට පුළුවන් නම් දැනගන්න මේ කාලය හොඳයි, මේ කාලය නරකයි කියලා හොඳ කාලවලදී වැඩියෙන් වැඩ කරලා, එහෙමත් නැත්නම් මුදල් යොදවලා වැඩි වැඩියෙන් ලාභ ලබන්නත්, නරක කාලවලදී පරිස්සම් වෙන්නත් පුළුවන්.
ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී මිනිස් ජීවිත ගතකරන විට ඒ ඒ කාලසීමාවන් පුද්ගලයාට මොන මොන විදියේ බලපෑම් ඇතිකරනවාද කියන එක හොයා බලන්න දශා ක්‍රම ගණනාවක් හඳුන්වා දී තිබෙනවා. මේ දශා ක්‍රම අතරින් විංශෝත්තරී දශා ක්‍රමය වැඩි වශයෙන් භාවිත වන බවක් පෙනෙනවා.
මේ ක්‍රමයේදී පුද්ගලයාගේ පරම ආයුෂ අවුරුදු 120ක් ලෙස සලකා පිළිවෙළින් රවිට අවුරුදු 6ක්ද, සඳුට අවුරුදු 10ක්ද, කුජට අවුරුදු 7ක්ද, රාහුට අවුරුදු 18ක්ද, ගුරුට අවුරුදු 16ක්ද, ශනිට අවුරුදු 19ක්ද, බුධට අවුරුදු 17ක්ද, කේතුට අවුරුදු 7ක්ද, සිකුරුට අවුරුදු 20ක්ද ලබාදී තිබෙනවා.
ඕනෑම කේන්දරයක් අතට අරගෙන බලන්න. එක තැනක ග්‍රහයකුගේ නමක් ලියලා එම ග්‍රහයාට හිමි දශා ශේෂය ශුද්ධ අපහරණ හැර අවුරුදු ……. මාස …… දින ….. කියලා ලියලා තියෙනවා.
අපි හිතමු 1950 ජනවාරි 01 වැනිදා උපන් කෙනකුගේ කේන්දරයේ ලියා තිබුණා කියලා රවි හිමි විංශෝත්තරී දශා ශේෂය ශුද්ධ අපහරණ හැර අවුරුදු 3යි, මාස 3යි, දින 3යි කියලා. එතකොට අපි එම දශා ශේෂය උපන් දිනයට එකතු කරගන්න ඕනෙ. මෙන්න මෙහෙම.
උපන් දිනය 1950 01 01
රවි මහ දශාව 03 03 03
1953 04 04
එතකොට එයාට 1953 අප්‍රේල් මස 04 වැනිදා දක්වා රවිගේ මහ දශාව තමයි ගතවෙන්නේ. අපට මේ දවස්වල මෙයාට ගෙවන දශාව මොකක්ද කියලා දැනගන්න ඕනෙ නම් දශා අනුපිළිවෙළට ඉදිරියට ගෙවෙන එක එක දශා එකතු කරගන්න වෙනවා.
රවි මහ දශාව 1953 04 04
සඳු මහ දශාව 10 00 00
1963 04 04
කුජ මහ දශාව 07 00 00
1970 04 04
රාහු මහ දශාව 18 00 00
1988 04 04
ගුරු මහ දශාව 16 00 00
2004 04 04
ශනි මහ දශාව 19 00 00
2023 04 04
ඉතින් මෙයාට 2023 අප්‍රේල් 04 වැනිදා දක්වාම ශනි මහ දශාව තමයි ගෙවෙන්නේ. අපි දැන් ඉන්නේ 206 ජනවාරි මාසයේ නිසා මේ කාලයේදී මෙයාට ගෙවෙන දශාව, අතුරු දශාව මොකක්ද කියලා හරියටම දැනගන්න පංචාංග ලිතක දශා සහ අතුරු දශා ගෙවීයන චක්‍රයක් භාවිත කරන්න ඕනෙ.
මෙම කේන්දර හිමියාට ගුරු මහ දශාව 2004 අපේ්්‍රල් 04 දක්වා ගෙවෙන නිසා ශනි මහ දශාවේ රවි අතුරු දශාව දක්වා වන කාලය එම දිනයට එකතු කරගන්න වෙනවා.
ගුරු මහ දශාව 2004 04 04
ශනි මහ දශාවේ
රවි අතුරු දශාව
දක්වා 10 11 03
2015 03 17
ශනි මහ දශාවේ
සඳු අතුරු දශාව 01 07 00
2016 10 07
එතකොට මෙයාට 2015 මාර්තු 07 දින සිට 2016 ඔක්තෝබර් 07 දක්වා ශනි මහ දශාවේ සඳු අතුරු දශාවයි. ඔබගේ ජන්ම පත්‍රයේ දැනට ගතවන දශාව මේ විදියට ගණනය කරගන්න. මේ දවස්වල ඔබට ගෙවෙන මහ දශාවේත්, අතුරු දශාවේත්, අධිපතින් (දශාව හිමි ග්‍රහයන්) ඔබගේ ජන්ම කේන්දරයේ හොඳ තැනක ඉන්නවාද? නරක තැනක ඉන්නවාද? කියලා බලන්න. ඇත්තටම ඒගොල්ලෝ සුබ ග්‍රහයන්ද? අසුබ ග්‍රහයන්ද? කියලත් බලන්න. දශාවක සුබ පලදීම කේන්දරය තුළ දශාධිපති ග්‍රහයන් ඉන්න තත්ත්වය අනුව වෙනස් වෙනවා.
සුබ ග්‍රහයන් සුබ පල පමණක් දෙනවා කියලවත්, අසුබ ග්‍රහයන් අසුබ පල විතරක් දෙනවා කියලවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ නැහැ. උපතේදී කේන්දරයේ හොඳ තැනක බලවත්ව ඉන්න ග්‍රහයාගේ දශාවේදී හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියල තමයි සඳහන් වෙන්නේ. ඒත් එහෙම වෙන්න ඒ ග්‍රහයාගේ මහ දශාව හෝ අතුරු දශාව ලබන වෙලාවෙදි එම ග්‍රහයා දැනට ගෝචර වශයෙන් (ගමන් ගන්නා ස්ථාන අනුව) කේන්දරයේ හොඳ තැනක් හරහා යන්නත් ඕනෙ. එයා දැනට ගමන් කරමින් තිබෙන රාශිය එයාට හොඳ තැනක් වෙන්නත් ඕනෙ.
ඉතින් ඔබගේ දශාධිපතීන් සුබවාදීව හැසිරෙන කාල හොයාගෙන ස්විප් ටිකට් එකක් එහෙම අරගෙන බලන්න.
ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි