සාපයකට බඳුන් වූවාසේ පවුලක සාමාජිකයන් වරින්වර අකාලයේ මියයෑමට හැකිදැයි මගෙන් බොහෝ දෙනෙක් විමසන අවස්ථා තිබෙනවා. සර්ප සාප, දේව සාප, සෘෂි සාප, වැනි විවිධ සාපයන් හින්දු වේදයෙහි සහ ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. සාපයන් නිසා මිනිස් ජීවිතවලට විවිධ බලපෑම් එල්ල වෙනවා. නමුත් සාපලද්දන් සේ නිවෙසියන්ගේ ජීවිත විනාශ වූ නිවාස පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ සාපයන් සේ ක්‍රියාත්මක වී ඇත්තේ බරපතළ වාස්තු දෝෂ බවයි. මුල් කාලයේදී පවතින වාස්තු දෝෂයන්ට නිසි පිළියම් නොයෙදීම නිසා කලක් ගතවන විට පවුලේ සාමාජිකයන් එහි ගොදුරු බවට පත්වී ජීවිත විනාශ වූ අවස්ථා එමටයි. එවන් අකල් මරණීය සාපයකට ගොදුරු වූ පවුලක කතාවයි මේ.
මෙම නිවෙසේ වත්මන් හිමිකාරිය මරණීය සාපයකින් මිදීමට ජීවිත අපේක්ෂාවෙන් තම නිවෙස හැරදා පලා ගොස් තිබිණි. “අපි කවුරුත් පණට ආදරෙයි.” නිවෙසේ වාස්තු පරීක්ෂා කළ පසු ඇය මා හා පැවැසුවාය. නිවෙසේ වාස්තු පරීක්ෂා කරන අවස්ථාව වන විට එය සම්පූර්ණයෙන් මිනිස් වාසයෙන් තොර විය. ලී බඩු, විද්‍යුත් උපකරණ ඇතුඵ ගේ දොර බඩු මුට්ටු සමඟ දෙවසරක් තිස්සේ වසා පාඵවට අත් හැර දමා තිබිණි. නිවෙස හිමි තරුණිය පැවැසුවේ ඒ වනවිට ඇය කුලී කාමරයක පදිංචිව සිටින බවයි. නිවෙසක් අයිතිව තිබියදී අලංකාර ලෙස සෑදූ මෙවන් නිවෙසක් මෙසේ වසා දමා කුලී නිවෙසියකු ලෙස ඇය ජීවත් වන්නේ මන්දැයි යමෙකුට ගැටලුවක් විය හැකි නමුදු ඉඩම සහ නිවෙසේ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී එයට හේතු සාධක වූ සැබෑ තතු සොයාගත හැකිවිය. ඒ වන විිට නිවෙසේ හිමිකාරියගේ මව, පියා වැඩිමහල් සොහොයුරා ස්නායු රෝගී බවෙන් සහ පිළිකා තත්ත්වයන් නිසා මියගොස් තිබුණේ සාපයකට හසු වූ ලෙසිනි. නිවෙසින් පිටස්තරව දිවි ගෙවූ සොහොයුරකු සහ සොහොයුරියකට කිසිදු ගැටලුවක් ඇති වී නොතිබිණි. තරුණිය ජීවිත ආරක්ෂාවට නිවෙස හැරදා ගොස් තිබුණු අතර වාස්තු පරීක්ෂා කිරීමට හේතු වූයේ එයයි. නිවෙසියන්ට අවාසනාවන්ත ඉරණමක් අත්කිරීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සහ දෝෂ ඉවත් කිරීමට මා යෙදූ පිළියම් මෙසේය.
දෛත්‍ය පෘෂ්ඨ භූමිය
යම් ඉඩමක ඊසාන, නැඟෙනහිර, ගිනිකොන දිශාවන් උස්ව පිහිටා බස්නාහිර දිශාව පහත පිහිටියේ නම් වාස්තු විද්‍යාවේදී මෙලෙස පිහිටි ඉඩම් දෛත්‍ය පෘෂ්ඨ භූමියක් ලෙස හැඳින්වේ. ඉතාමත් අසුබ පිහිටීමකි. දෛත්‍ය පෘෂ්ඨ ඉඩමක වාසය කිරීමෙන් ධනය, දරුවන් විනාශ වී යයි. නිවෙසක් දරුවකුට උපමා කළ හොත් ඉඩමක් මවකට උපමා කළ හැකිය. මව රෝගී වුවහොත් දරුවාද ලෙඩ විය හැකිය. සියයට සියයක් වාස්තු විද්‍යානුකූලව නිවෙසක් නිර්මාණය කළත් ඉඩමේ දෝෂ පවතී නම් එම නිවෙස පල නොදෙයි. මෙම නිවෙස පිහිටි ඉඩම දෛත්‍ය පෘෂ්ඨ භූමියකි. පවුලේ සාමාජිකයන් අකාලයේ මරු වැළඳ ගන්නට මූලික හේතුව එයයි. ඉඩමේ පහත්ව තිබූ බස්නාහිර ප්‍රදේශයේ කොටස පස් පුරවා සකස් කිරීමෙන් දෝෂය ඉවත් කළේය.
නාභියෙන් ඉහළ
මුඵතැන්ගෙය පිහිටීම නිවෙසක නාභියෙන් ඉහළ සහ පහළ ලෙස කොටස් දෙකකි. නිවෙසක නාභියෙන් ඉහළ පහළ සොයනු ලබන්නේ ප්‍රධාන දොරේ පිහිටීම, හැඩය සහ බ්‍රහ්ම පාදයේ පිහිටීම අනුවයි. සෑම විටම නිවෙසක මුඵතැන්ගේ වැසිකිළි, නාන කාමර, ස්ටෝරු ආදිය නාභියෙන් පහළ පිහිටා තිබිය යුතුය. මෙම නිවෙසේ මු`ඵතැන්ගේ පිහිටියේ නාභියෙන් ඉහළය. මෙලෙස පිහිටීමෙන් නිවෙසියන්ගේ ඉණෙන් ඉහළ ගෙඩි, තුවාල, පිළිකා සහ ස්නායු අකර්මණ්‍යතා ඇතිවේ. උයාගත් බත්පත කෑමට තරම්වත් සැනසීමක් නැතිවේ. නිවෙසට නව කොටසක් එකතුකොට මෙම දෝෂය ඉවත් කළේය.
ගිනිකොන පිහිටි ළිඳ
නළ ජලය සපයා ගැනීමට පහසුව තිබුණත් ළිඳක් සකසා ගෙන තිබුණේ නැඟෙනහිර යැයි සිතා ගිනිකොන දිශාවටය. සෑම විටම ළිඳක් හෝ නිවෙස සැකැසීමේදී නිවැරදි මාලිමාවක් භාවිත කළ යුතුය. තවද දකුණ හෝ නැඟෙනහිර දිශාවන්ට ළිං කැපීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ ගිනිකොන දිශාව හසුවිය හැකි බැවිනි. ගිනිකොන ළිඳ අසුබ වේ. ස්නායු අකර්මණ්‍යතා මෙන්ම හිස ආශ්‍රිතව රෝගාබාධ ඇති කරයි. මහ පොළෙවේ සෑදූ ළිඳ මහ පොළොවටම පස් පුරවා මුදා හැරියේය.
වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නිවෙසේ අයිතිකාර තරුණිය විවාහ වී තම සැමියා සහ දරුවා සමඟ සතුටින් දිවි ගෙවයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











