අපේ රටේ මිනිසුන් පමණක් නොව චීනයේ බොහෝ දෙනකුත් නොදන්නා මාලිගාවක් චීනයේ බීජිං නගරයේ පිහිටා ඇත. මෙම මාලිගා සංකීර්ණය හඳුන්වන්නේ තහනම් නගරය ලෙසිනි.
චීන අධිරාජ්‍ය සමයේදී සාමාන්‍ය ජනතාවට මෙම නගරය විවෘත නොවුණු නිසා එය තහනම් නගරය නම් විය. ප්‍රංශයේ ලූව මාලිගය මෙන් තුන් ගුණයක් විශාල තහනම් නගරය වර්ග අඩි හැත්තෑහත් ලක්ෂ පනස්දහසක බිම් ප්‍රමාණයක සාදා ඇත. කම්කරුවන් ලක්ෂ දහයක් පමණ මෙම මාලිගය නිර්මාණය සඳහා දායක වූ බව කියවේ. ගොඩනැගිලි 980ක් මෙන්ම කාමර 8,700ක් මෙම සුවිශේෂ නගරයේ දැකගත හැකිය. ලෝකයේ දැනට ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති මධ්‍යතන යුගයේ ලීයෙන් තැනූ ගොඩනැගිලි සංකීර්ණය අයත් වනුයේ මෙම තහනම් නගරයටයි.
එහි සෑම ගොඩනැගිල්ලකම සුළු වෙනස්කමක් පමණක් සිදුකොට ඇත්තේ චීන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ටත්වය නිරූපණය වන පරිදි වේ. මෙම මාලිගයට ඇතුළු වන්නට දොරටු 9ක් නිර්මාණය කර ඇත. ප්‍රධාන මාලිගා පරිශ්‍රයේ ඉදිරිපස එළිමහන් රාජ සභා මන්දිරය දැකගත හැකිය. විශේෂ දිනයන්හි රජතුමන් මහජනතාවට දැකගත හැක්කේ මෙම රාජසභාවේදීය.
මෙම රාජසභාවේ එළිමහනේ කිසිදු ගසක් නොමැති නමුත් ඇතුළට වෙන්නට ගස් රාශියක් දැකගත හැකිය. මෙයට හේතුව ගසක් ආධාරයට ගෙන රජතුමන්ට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැවිනි. පිටත රාජසභාව ඒ හේතුවෙන් ගස් වැල්වලින් තොරය. වසර ගණනාවක් පැරණි රජවරුන් පරිහරණය කළ භාණ්ඩ රාශියක් තහනම් නගරයේ දැකගත හැක. ලෝකයේ වැඩිම ඓතිහාසික කලාකෘති රාශියක් දක්නට ලැබෙන්නේ මෙහි එකම කෞතුකාගරය තුළයි. නමුත් මේ කෞතුක වස්තූන් අද වනවිට බටහිර රටවල මෙන්ම තායිවානයේද දක්නට ලැබෙයි. බීජිං නගරය ආක්‍රමණය කළ කොල්ලකරුවන මෙම කලාකෘති ඒ රටවලට ගෙනගොස් ඇත. ජපන් ආක්‍රමණය වෙන අවස්ථාවේදී චීන රජය විසින්ම මෙම කලාකෘතිවල ආරක්ෂාව සඳහා තායිවානයට ගෙනගොස් ඇත. යුවාන් රාජ වංශයේ රජවරුන්ද තම මාලිගය නිර්මාණය කොට තිබුණේද තහනම් නගරය පිහිටා තිබෙන බිමෙහි වේ. ඒ සඳහා දායක වූ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් අරාබි ශෛලියෙන් නාන කාමරයක් නිර්මාණය කර තිබේ. එම කුඩා මාලිගය ඉවත්කොට තහනම් නගරය නිර්මාණය කරන්නට අණ ලබාදුන් මිං රාජ වංශයේ යොන්ගල් අධිරාජ්‍යා එය ශාලාවක් ලෙසට තහනම් නගරයට එක් කරන්නට කටයුතු කර ඇත. මෙම නගරයේ මාලිගාවල වහලවල්ද නිර්මාණය කොට තිබෙනුයේ සුවිශේෂ ආකාරයටය. ඒ ආනතිය වෙනස් කරමින් කුරුල්ලෙකුටවත් පය තියන්නට නොහැකි වන අයුරින් වේ. අද දක්වාම මෙම වහල කුරුල්ලන්වත් පය නොතබා ආරක්ෂා වී ඇති බව සැලකේ. එමෙන්ම තහනම් නගරය ආරක්ෂා කරන්නට ස්වේච්ඡාවෙන්ම පිරිසක් ඉදිරිපත්ව තිබේ.
කෙසේ වෙතත් චීනයේ වැදගත්ම හා සුවිශේෂම නිර්මාණයක් ලෙසින් මෙම තහනම් නගරය හැඳින්විය හැකිය.
ආර්. කාංචනා මධුවන්ති රත්නායක










