‘යසපාලිත නිර්මාණයක්… රස සාගරයක්…’
මේ, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ පියා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලට දමන ස්ලෝගන් එක නොහොත් ප්‍රචාරක තේමාවය.Sri Lanka Latest News
‘යසපාලිත කියන්නේ කවුද?’
යසපාලිතලා පැවැත එන්නේ ගාල්ලේ ධනවත් වැවිලිකරුවන්ගේ පවුලකිනි. යසපාලිතගේ පියා ෆ්‍රැන්සිස් නානායක්කාර ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු තොග වෙළෙඳාම, ප්‍රවාහන සහ වැවිලි සමාගම් හිමි ධනවතෙකි. ඔහුට පුතුන් හතර දෙනෙක් විය. එක් අයෙක් යසපාලිත නානායක්කාරය. අනෙකා හේමකුමාර නානායක්කාරය. අනෙකා වාසුදේව නානායක්කාරය. ෆ්‍රැන්සිස් නානායක්කාරලා උපන් ගෙයි යූ.ඇන්.පී.කාරයන්ය. ඒ කාලේ වැවිලිකරුවන්, ප්‍රවාහන සාමගම් හිමිකරුවන් සියල්ලන් පාහේ යූ.ඇන්.පී.කාරයන් විය. ධනපති වැවිලිකරුවන්ගේ පුත්තු වාමවාදී වීම ඒ කාලේ ෆැෂන් එකකි. තාත්තා කැපුවත් කොළ යූ.ඇන්.පී. වුණාට යසපාලිත, හේමකුමාර සහ වාසුදේව තෝරාගත්තේ වාමවාදී දේශපාලනයය.
යසපාලිත 1960 දශකයේ සිනමාවට එන්නේ ‘වසන්ති’ නම් වූ චිත්‍රපටය නිෂ්පාදනය කරමිනි. ඔහු 1973 ලංකාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් ‘තුෂාරා’ නම් වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී ඔහුගේ සහෝදරයා වාසුදේව 1970 මහ මැතිවරණයෙන් ලංකා සමසමාජ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1970 වනවිට වාසුදේව රැඩිකල් දේශපාලනඥයෙකි. යසපාලිත ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. යසපාලිතගේ හොඳම මිත්‍රයා විජය කුමාරතුංග වන්නේ යසපාලිත විජයව ‘තුෂාරා’ චිත්‍රපටයෙන් බොක්ස් ඔෆිස් වීරයෙක් කරපු නිසාය. විජය මුල් කාලයේ දේශපාලනයට බහින්නේ යූ.ඇන්.පී.යෙනි. 1977 මහ මැතිවරණයෙන් විජය දේශපාලනයට එන්නේ ශ්‍රීලනිපයෙනි. විජය ශ්‍රීලනිප දේශපාලනයට එන විට තමන් සමග සිටි සිනමා මිත්‍රයන් දේශපාලනයට සම්බන්ධ කරගන්න සමත් විය. යසපාලිත දේශපාලනයට එන්නේ වාසුදේව නිසා නොව විජය නිසාය.
වාසුදේව 1970 සමසමාජ පක්ෂයෙන් තරග කොට මන්ත්‍රී වී සමගි පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරමින් සිට 1971 ජවිපෙ කැරැල්ලත් සමග වෙනස් විය. වාසුදේවලාගේ අදහස වූයේ ලංකා සමසමාජ පක්ෂයද හවුල් වූ සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම වැරැදි බවය. මේ මතගැටුම නිසා වාසුදේවලා සමසමාජ පක්ෂයෙන් ඉවත් වී නව සමසමාජ පක්ෂය පිහිටුවාගෙන බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ මල්වඩමක් ගෙනැවිත් ආණ්ඩුව ලැජ්ජාවට පත් කළේය. 1977 මහ මැතිවරණයට වාසුලා, වික්‍රමබාහුලා එක්වී නව සමසමාජ පක්ෂයෙන් ඡන්දේ ඉල්ලුවත් පරාජයට පත්විය.
1977 විජය ශ්‍රීලනිප දේශපාලනයට ආ විට වාසු සහ යසපාලිත විජයගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමවාදී සන්ධානයක් හදන්න එක්වෙයි. 1982 ජනාධිපතිවරණයට වාසු නව සමසමාජ පක්ෂයෙන් තරග කළත් ලබාගත්තේ ඡන්ද 17,000කි. ශ්‍රීලනිපයෙන් වාමවාදී සන්ධානයකට එරෙහි බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර පක්ෂය තුළ දුර්වල කොට විජයගේ සහ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප-වාමවාදී සන්ධානයක් හදන්න වාසු විජයට එක්වන්නේ මින් පසුවය.
විජය ශ්‍රීලනිපයෙන් ඉවත් වීමෙන් පසු වාසු සහ යසපාලිත විජයගේ අගසව්වන් බවට පත්වේ. 1983 කළු ජූලියට මුවාවී ජේ.ආර්.ගේ ආණ්ඩුව ජවිපෙ සහ වාසුලාගේ නව සමසමාජ පක්ෂය තහනම් කරන්නේ මේ කාලයේය. ඒත් වාසුලා විජය සහ චන්ද්‍රිකාගේ මහජන පක්ෂයට රහසින් වැඩ කරන්න බය නොවීය. ජේ.ආර්.ගේ ආණ්ඩුව ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළ විට මහජන පක්ෂයත් ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, වාසුලා එක්ව එක්සත් සමාජවාදී පෙරමුණ හදා ගිවිසුමට සහාය දක්වන්න තීරණය කරනු ලැබීය. විජය-චන්ද්‍රිකා, වාසු, යසපාලිතලා ජවිපෙ සමග ගේම ඉල්ලන්නේ මේ කාලයේය.
මේ කාලයේ යසපාලිත ඔහුගේ දරුවන් වූ වත්මන් අධිකරණ ඇමැති හර්ෂණලා මාමා වූ වාසුලා ඉන්නේ මර බයේය. ඒ, ජවිපෙ ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දුන් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස සලකලා මරන්න නියෝග කිරීමත් සමගය. වාසු සහ යසපාලිතලා ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ආයුධ ඉල්ලාගෙන පැරා මිලිටරි හමුදා හදාගෙන ජවිපෙට එරෙහි යුද්ධයක් දියත් කරනු ලැබීය.
විජයව ජවිපෙ විසින් ඝාතනය කිරීමත් සමග වාසුදේව සහ යසපාලිත සහෝදරයන් අනාථ වේ. ඔවුන්ගේ අනෙක් සහෝදරයා වූ හේමකුමාර නානායක්කාර දේශපාලනයට එන්නේ මේ කාලයේය. 1989 මහ මැතිවරණයට වාසු එක්සත් සමාජවාදී පෙරමුණෙන් ඉල්ලන විට හේමකුමාර ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලුවේය. දෙදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත්විය. වාසු මහින්ද රාජපක්ෂ සමග එක්වී ජේ.ආර්. සහ ප්‍රේමදාස ආණ්ඩු විසින් මර්දනය කළ ජවිපෙ පවුල් වෙනුවෙන් ජිනීවා යන්නේ මේ කාලයේය. 1994 චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ අනාගත නායිකාව ලෙස මතුව එද්දී හේමකුමාර අනුර සමග එක්වේ. ඒත් වාසුදේව චන්ද්‍රිකාට එක්වී 1994 මහ මැතිවරණයට පොදු පෙරමුණෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරීපත්වේ. හේමකුමාර සහ යසපාලිත අනුර සමග යූ.ඇන්.පී.යට එක්වේ. හේමකුමාර යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකු බවට පත්වේ. වැඩි කල් නොගොස් වාසුදේව චන්ද්‍රිකාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට සහ පුද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහි වී ආණ්ඩුවෙන් ඉවත් වෙයි.
2005 මහින්ද කරළියට එන විට යසපාලිත මියගොසින්ය. චන්ද්‍රිකාට එරෙහි වූ වාසු මහින්දට එක්වෙයි. හේමකුමාර යූ.ඇන්.පී.ය දිනවන්න වැඩ කළේය. 2007 යූ.ඇන්.පී.යේ 17 දෙනෙක් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙද්දී හේමකුමාර මහින්ද සමග එක්වී ඇමැතිවරයෙක් විය. එතකොට වාසු මහින්දගේ ශ්‍රීලනිපයෙන් කොළඹ නගර සභාවට තරග කොට පරාජය වී විපක්ෂ නායක වී සිටියේය. 2010 වාසු යළිත් පාර්ලිමේන්තු ආවේය. හේමකුමාරට පාර්ලිමේන්තු යන්න බැරිවී මහින්දගේ උපදේශකයෙක් විය.
2015 ජනාධිපතිවරණයේදී වාසු මහින්දව දිනවද්දී හේමකුමාර මහින්දව අත්හැර මෛත්‍රීපාලට එක්වී මෛත්‍රීපාල දින්නාට පසු ආණ්ඩුකාර ධුරයට පත්විය.
2015 පරාජයට පසු යළි මහින්දව නැගිට්ටවන විමල්, උදය, දිනේෂ් හවුලේ ප්‍රධාන භූමිකාවක් කරන්නේ වාසුය. 2019 ජනාධිපතිවරණයට වාසු සහ හේමකුමාර එක්වී ගෝඨාභයට සහාය දෙනු ලැබීය.
මහප්පලා තාත්තලා දේශපාලනය කරන කාලයේ යසපාලිතගේ පුතා හර්ෂණ කුඩා දරුවෙකි. යසපාලිතට ඕනා වෙන්නේ ඔහුව ජනප්‍රිය නළුවෙකු කරන්නටය. ඔහු සිනමාවට එන්නේ ළමා චරිත රඟපාමින් ‘ඇගේ ආදර කතාවෙන්’ය. ඒ චිත්‍රපටයත් ඔහුගේ පියාගේ චිත්‍රපටයකි. ඔහු සිනමා තරුවක් ලෙස රඟපාන්නේ සංගීතා වීරරත්න සමග ‘යසස’ චිත්‍රපටයේය. ඒත් ඔහුගේ සිනමා ජීවිතය සාර්ථක නොවේ. තම පියා යසපාලිතත් තම මහප්පා වාසුදේවත් ජීවිතය සහ මරණය අතර සටනක් කළ ජවිපෙන් දේශපාලනයට එන්න ඔහු තීරණය කරන්නේ ජාතික ජන බලවේගයෙනි.
තම මතවාදයට එරෙහිව සිටි තම පක්ෂය සමග මරාගෙන මැරෙන යුද්ධයක් කළ පවුලක සාමාජිකයකුට ජවිපෙ අධිකරණ ඇමැති ධුරය දීම දෛවෝපගත සිද්ධියකි. ජවිපෙ සමග ජන්මාන්තර වෛරයක සිටි වාසු දැන් තම බෑණාගේ ආණ්ඩුවේ හොඳ දකිමින් සිටී. හේමකුමාර බෑණාට ඉඩදී දේශපාලනයෙන් ඉවත් විය. වාසුගේ දුව විවාහ කරගත් උතුරේ මහඇමැති විග්නේෂ්වරන්ද දැන් ඥාති පුතා අධිකරණ ඇමැති ධුරය දරන ආණ්ඩුව වර්ණනා කරමින් සිටී. පසුගියදා නානායක්කාර පවුලේ ඔටුන්න හිමි කුමාරයා හර්ෂණ නානායක්කාර විශ්වාසභංගයකට මුහුණ දුන්නේ සිරගෙදර කෝලාහලය මැඬපවත්වන්න අධිකරණ ඇමැති ලෙස ඔහු අසමත් වූ නිසාය. තාත්තාව මහප්පාව මරන්න හොයපු ජවිපෙ අද පුතාව ඒ විශ්වාසභංගයෙන් ආරක්ෂා කරනු ලැබීය.
මිනිස්සු හිතුවේ පවුල් දේශපාලනය ඉවරයි කියාය. හැබැයි නානායක්කාරලා පවුල් දේශපාලනයට තිත තියන්න ආපු ජවිපෙ ලව්වා ඔටුන්න හිමි කුමාරයෙක් හදන්න සමත්වී ඇත.











