දිනය 1965 වසරේ දිනයකි. වෙනදා මෙන්ම කොළොම් තොටට හිරු කිරණ පතිතව තිබිණි. සියල්ලෝම සුපුරුදු රාජකාරීන්හි නියැළෙමින් සිටියහ. ඒ අතරේ කෝතුකාගාරයද වෙනදා මෙන්ම ජනතාව වෙනුවෙන් දොරගුළු විවෘත කෙරිණි. උදෑසනම නිසාදෝ ජනතාව තරමක් අඩු බවක් පෙනෙන්නට තිබුණු හෙයින් කටුගෙය පිරිසිදු කිරීම භාරව කටයුතු කළ සේවක පිරස එහි විවිධ කොටස් පරීක්ෂා කරමින් පිරිසිදු කරමින් සිටියහ. සිංහල සිංහාසනය තබා තිබූ කුටිය කාලයකින් පිරිසිදු නොකළ හෙයින් එය පිරිසිදු කළ යුතු තත්ත්වයේ ඇතැයි තේරුම් ගත් සේවක පිරස එහි දොර හැර පිරිසිදු කරමින් සිටියහ. ඒ අතරේ තවත් අයකුගේ ආරාධනාවකට සේවක පිරිස කුටියේ දොර හැර තිබෙද්දී වෙනත් තැනකට ගියේ යළි ඉක්මනින් පැමිණෙන අදහසිනි.
කුටියේ දොර විවරව ඇති මොහොතක් කවදා උදාවේදැයි බලා සිටි අමුත්තකු එදිනද කෞතුකාගාරයට පැමිණ සිටියේ එය නැරඹීමේ අදහසිනි. ඔහුට මෙම අපූරු දසුන සතුට දෙගුණ කරන්නට වූ අතර වහා ක්‍රියාත්මකව සිංහාසනය ඇති කුටියට ඇතුළු වූයේ කලබලයෙනි. සිංහාසනය අසලම ප්‍රදර්ශනයට තබා තිබූ ඔටුන්න රැගෙන පලඳගත් හෙතෙම රන් කඩුව අතට ගෙන සිංහාසනය මත වාඩි විය. ඒ අසලම ඇති විල්ලුද සැරසිලි යෙදූ පා රඳවනය මත දෙපා තබා ගත් හෙතෙම රන්ඩුව උර මත රඳවාගෙන අභිමානයෙන් බලාගෙන සිටියේය.
කෞතුකාගාර සේවක පිරිස ආපසු ආවේ මේ මොහොතේය. සිංහාසනය මත සිටින රජු දැකීමෙන් පිරිස තැතිගත්තේය. තමන්ගෙන් සිදුවූ අතපසුවීමක් නිසා රජ කෙනකු හොල්මනක් වී ආවාදැයි ඔවුහු බිය වූහ. මොහොතක් ගතවන තුරු මෙය අදහාගත නොහැකි සිද්ධියක් වුවද ඒ අතරේ මෙම පණිවුඩය කුරුඳුවත්ත පොලිසියටද ලැබී තිබිණි.
හිටි හැටියේ කෞතුකාගාරය තුළදී ආගන්තුකයකු රජ වූ මෙම සිංහාසනය 1693 මහනුවර රජ කළ දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයකු වූ තෝමස් වැන්රීගෙන් තෑගි ලැබුණු එකක් බව පැවැසේ. එවකට මෙරට මුහුදුබඩ ප්‍රදේශ ඕලන්ද පාලනයට යටත්ව තිබී අති අතර, ඕලන්ද තෑග්ගක් වූ සිංහාසනය හෙළ කලා ශිල්පීන් අතින් කැටයම් වූ බවක්ද විශ්වාස කරයි. උසින් අඩි පහකුත්, දිගින් අඩි තුනකුත් වන මෙම සිංහාසනය රජ කෙනකුට උචිත අභිමානයක් ලැබෙන අයුරින් මනරම්ව නිමවා ඇත.
මෙම සිංහාසනය සහ ඔටුන්න කලක් එංගලන්තයේ වින්සර් රජ මාලිගයේ තැන්පත් කර තිබී යළිත් මෙරටට ලැබුණු එකකි. රජුගේ ඇමැති මණ්ඩල රැස්වීම්වලදීද මහ නඩුව ලෙස හඳුන්වන ඉහළ උසාවිය සඳහාද රජු මෙම සිංහාසනය භාවිත කර තිබේ. එමෙන්ම මෙම සිංහාසනය එංගලන්තයේ තිබූ කාලයේ නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජු හටත් පෘතුගාලයේ සිටි ළමා රජතුමන් ‘ගාටර්’ නමැති බි්‍රතාන්‍ය රාජකීය නම්බු නාම පිරිනැමීමේ කටයුත්ත සඳහා එංගලන්තයේ රජකම් කළ මහරජු වාඩිවී සිට ඇත්තේ මෙම සිංහාසනයේය. එහෙයින් මෙය ගාටර් සිංහාසනය ලෙසින් ලෝකප්‍රකට වූ බවද පැවැසේ.
එතරම් ප්‍රසිද්ධ වූ සිංහාසනය මත හිටි හැටියේ රජ වූ අමුත්තා ගැන පුවත ලද සැණින් එතැනට පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ද තරමක් අන්ද මන්ද විය. ඔවුන්ටද කළ යුතු දේ සිතාගන්නට යම් වේලාවක් ගතවිය. අන්තිමේදී ඉතා හොඳින් කරුණු පැහැදිලි කළ පොලිස් නිලධාරීන් පිරිස රජුගෙන් ඉල්ලා සිටියේ සිංහාසනයෙන් බැස කුටියෙන් පිටතට එන ලෙසයි. එහෙත් එම ඉල්ලීමට රජුගෙන් ප්‍රතිචාරයක් නොවූයෙන් වහා ක්‍රියාත්මකව රජු සිංහාසනයෙන් පිටතට ඇද දමා රාජකීය ඔටුන්ටත්, කඩුවත් ඉවත් කරන්නට පොලිසියට සිදුව තිබේ.
සරමකුත් බැනියමකුත් ඇඳ හිටි හැටියේ රාජ්‍යත්වය බලෙන් ලබාගත් අප්පුහාමි නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා සිංහාසනයේ වාඩිවීමට කාලයක සිට ආසාවෙන් බලා සිටි බවකි. ඒ සඳහා විසි වතාවකට වැඩි වාර ගණනක් කටුගෙය බැලීමට පැමිණි බවද ඔහු පවසා තිබිණි.
එහෙත් මෙරට නීතිය අනුව කිසිවකුට බලහත්කාරයෙන් රජවීමට වරම් නොවේ. එහෙයින් සිංහාසනය මත බලහයත්කාරයෙන් රජ වූ අප්පුහාමි රජුට නීතිප්‍රකාරව බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද හිමිව තිබේ.
කුමාර රත්නායක











