අදාළ ජන්මියාට රවි ග්‍රහයා අපල කරන ග්‍රහයා වී සෙත් කවිය ඊශ්වර දෙවිඳුන්ට ඔප්පු කරන්නේ නම් වද මල්, රත් නෙලුම මල් මෙන්ම තම පාටට හුරු මල් ගතයුතුයි. දුම ඇල්ලීම සඳහා සහල් කබලේ බැද, බැදි සහලෙන් දුම් ඇල්ලිය යුතුයි. කාව්‍ය නායකයාට රන්වන් පාට දුහුල් ඇඳුමක් ඇන්දවිය යුතු අතර පූජා වට්ටියද රන්වන් පාට රෙදි කඩකින් වැසිය යුතුය. වද මල් මාල ගොතා පූජාසනය සැරැසිය යුතුයි. ඉන්පසු රත්හඳුන් කුඩු දුම්ද ඇල්ලීම කළ යුතුයි.
සඳු ග්‍රහයා අපල කරන ග්‍රහයා වී සෙත් කවිය පත්තිනි මෑණියන්ට ඔප්පු කරයි නම් සියලුම සුදුපාට මල්, සුදු නෙලුම් හෝ දෑසමන්මල් පූජා කිරීමට ගත යුතුයි. ගිතෙල් මුසු විලඳෙන් දුම් ඇල්ලිය යුතු අතර, කාව්‍ය නායකයාට සුදු පැහැති දුහුල් ඇඳුමක් ඇන්දවිය යුතු අතර, සුදු පැහැති රෙදි කඩකින් පූජා වට්ටියද වැසිය යුතුයි. සුදු මල් මාලා ගොතා පූජාසනය සැරැසිය යුතු අතර, සුදුහඳුන් කුඩුවලින්ද නැවත දුම් ඇල්ලිය යුතුයි.
කුජ ග්‍රහයා අපල කරන ග්‍රහයා වී සෙත් කවිය කතරගම දෙවියන්ට පූජාව ඔප්පු කරයි නම් රතු කනේරු මල්, රත්මල් හෝ සියලුම රතු පැහැති මල් පූජා කිරීම සිදුකරයි. හල්දුම්මල දුම් ඇල්ලීම සිදු කරන අතර, කාව්‍ය නායකයා රතුපාට විසිතුරු ඇඳුමක් අන්දවා රතුපාට රෙදි කඩකින්ම පූජා වට්ටිය වැසීම සිදු කරයි. රතු නෙලුම් මල් මාලා ගොතා පූජාසනය සැරැසීම කළ යුතුයි. ඉන්පසු රත්හඳුන් දුම්ද ඇල්ලීම කළ යුතුයි.
මෙලෙස බුධ ග්‍රහයා අපල කරයි නම ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජාව තැබිය යුතුයි. නිල් කටරොළු මල්, තල මල්, නිල් මානෙල් මල් ආදී මල් වර්ග තැබිය යුතු අතර, අගිල් දුම් ඇල්ලිය යුතුයි. නිල් මානෙල් හෝ කටරොළු මල් මාලා ගොතා පූජාසනය සැරසිය යුතුයි. තද නිල් පැහැති වස්ත්‍රයක් කාව්‍ය නායකයාට ඇන්දවිය යුතු අතර, එම පැහැති රෙද්දකින්ම පූජා වට්ටිය වැසිය යුතුයි. ඉන්පසු කොකුම් මිශ්‍ර සඳුන් කුඩුවලින්ද දුම් ඇල්ලිය යුතුයි.
අපල කරන ග්‍රහයා ගුරු නම් සෙත් කවිය ඔප්පු කළ යුත්තේ විෂ්ණු දෙවියන්ට හෝ මහා බ්‍රහ්මයන් උදෙසාය. සියලුම කහ මල් වර්ග හා රුක්අත්තන මල් පූජා කළ යුතු අතර, රුක්අත්තන මල් මාලා ගොතා පූජාසනය සැරසිය යුතුයි. කහ පාට වස්ත්‍රයක් කාව්‍ය නායකයාට ඇන්දවිය යුතු අතර, කහ පාටම රෙදි කඩකින් පූජා වට්ටියද වැසිය යුතුයි. ඉඹුල් මැලියම් දුම් හා කොකුම් මිශ්‍ර සඳුන් දුම්ද ඇල්ලිය යුතුයි.
අපල කරන ග්‍රහයා සිකුරු නම් පත්තිනි මෑණියන් වෙනුවෙන් සෙත් කවිය ඔප්පු කළ යුතුයි. සුදු ඉද්ද මල්, සුදු නෙලුම් හා සියලුම සුදු පැහැති මල් පූජා කළ යුතුයි. ඊට අමතරව සුදු ඉද්ද මල් මාලා ගොතා පූජාසනය සැරසිය යුතුය. බෙලි ඵලයේ දුම් හා සුදු හඳුන් දුම් ඇල්ලීම කළ යුතු අතර, සිනිඳු සුදු පැහැති ඇඳුමක් කාව්‍ය නායකයාට ඇන්දවිය යුතුය. එවැනිම සිනිඳු සුදු රෙදිකඩකින් පූජා වට්ටිය වැසිය යුතුයි.
අපල කරන ග්‍රහයා ශනි ග්‍රහයා නම් සෙත් කවිය විෂ්ණු දෙවියන් උදෙසා ඔප්පු කළ යුතුයි. නිල් මානෙල් මල්, නිල් කටරොළු මල් හා සියලුම නිල් මල් පූජා කිරීමට ගනී. නිල් මානෙල් මල් මාලා ගොතා පූජාසනය සැරසිය යුතු අතර, ගුගුල් දුම්ද, අගිල් මිශ්‍ර සඳුන් දුම්ද ඇල්ලීම කළ යුතුයි. කාව්‍ය නායකයාට කළු දුහුල් ඇඳුමක් අන්දවා පූජාවටද කළු පැහැතිම රෙදිකඩකින් වැසිය යුතුයි.
අපල කරන ග්‍රහයා රාහු නම් සෙත් කවිය ඔප්පු කළ යුත්තේ සූනියම් දෙවියන් උදෙසාය. සියලුම අඳුරු පැහැති මල්, තද නිල් පැහැති මල් හා ලොත් මල් පූජා කිරීමට ගනී. ලාකඩ දුම් හා අගිල් මිශ්‍ර සඳුන් දුම්ද ඇල්ලීම සිදුකරයි. තවද නිල් පැහැති මල් මාලා ගොතා පූජාසනය අලංකාර කළ යුතුයි. කළු පැහැති දුහුල් ඇඳුමක් කාව්‍ය නායකයාට ඇන්දවිය යුතු අතර, එම පැහැතිම රෙදිකඩකින් පූජා වට්ටියද වැසිය යුතුය.
අපල කරනුයේ කේතු ග්‍රහයා නම් සෙත් කවිය කතරගම දෙවියන් උදෙසා ඔප්පු කළ යුතුයි. රත් මල්, රතු නෙලුම් මල් ආදිය පූජා කර එම පාටවලින් මල් වැල්ද සාදා පූජාසනය සැරසිය යුතුයි. ලාකඩ දුම් හා අගිල් මිශ්‍ර සඳුන් දුම් ඇල්ලිය යුතුයි. වර්ණවත් කළු පැහැති දුහුල් ඇඳුමක් කාව්‍ය නායකයාට අන්දා පූජා වට්ටියද එම පැහැති රෙදිකඩකින් වැසිය යුතුයි.
සෙත් කවිය ඔප්පු කරන දෙවියන් විවිධ වුවද, පූජා වට්ටියට තබන පලතුරු බොහෝ විට සමාන වෙයි. විෂ්ණු, කතරගම, සූනියම්, ඊශ්වර, පත්තිනි ආදී දෙවිවරුන්ට පූජාව තැබීම සඳහා අනිවාර්යයෙන්ම පූජා වට්ටියේ තිබිය යුතු පලතුරු හා අනෙක් ද්‍රව්‍ය මෙසේය.
බුලත් කොළ 21ක්, මුඞ්ඩ නොකැඩූ පොල් ගෙඩියක්, ඇස්ස ගැසූ තැඹිලි ගෙඩියක්, කිරිබත්, අඹ, දිවුල්, බෙලි, කෙසෙල්, උක්, දොඩම්, දෙළුම්, ඇපල් ආදී පලතුරුද, කැවුම්, කොකිස්, අතිරස, බූන්දි, තල කැරලි, මස්කට්, වී, පොරි, මී පැණි ආදී කැවිලි වර්ගද, සුදු හඳුන්, අමුකහ, ලදපස්මල්, පිරිසුදු පොල්තෙල් හෝ අබතෙල්, කපුරු, ඊතන, හඳුන්කූරු ආදියද පූජාවට්ටියට තැබිය යුතුයි.
සියලු වත්පිළිවෙත් රැක නිවැරැදි ආකාරයට පූජා වට්ටිය සකසා, දෙවියන්ට පින්දී සිදු කරන සෙත්කවි ගායනය අදාළ ජන්මියාට සියලු ග්‍රහ අපල දුරුවී සෙතක්, ශාන්තියක් නිතැතින් උදාවනු ඇත.
ජ්‍යොතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී











