ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියර යටතේ මෙරට තවත් දීප්තිමත් සිසුදරුවන් 160 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 11කට වැඩි මුදල් ප්‍රදානය කරන බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර තිබේ.
අංශ හතරක් යටතේ ප්‍රධානය කෙරෙන ශිෂ්‍යත්ව සඳහා සිසුන්ගෙන් අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විභාග ප්‍රමාද වූ හෙයින් ඒ සඳහා අවසාන දිනය 2021 ජනවාරි 15 වනදා වන බව සමාගම සඳහන් කරයි. මේ වනවිට දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් මගින් මෙම අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇත.
සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම වැඩසටහන මගින් මේ වනවිට රුපියල් මිලියන 155ක මුදලක් ප්‍රදානය කර තිබෙන අතර සිසු දරුවන් 2,725 දෙනෙකුට ප්‍රතිලාභ ලබාදී තිබේ. මෙම වැඩසටහන දශක දෙකක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් බෙදාදෙන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 166ක් දක්වාත් ප්‍රතිලාභ ලබන සිසු දරුවන් සංඛ්‍යාව 2,885ක් දක්වාත් ඉහළ යනු ඇත.











