මෙරට කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා සහ සැකසුම්කරු වන පැල්වත්ත ඬේරි සමාගම, කිරි ගොවීන්ට ආර්ථික අභියෝග මධ්‍යයේ කිරි නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමත් වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනීමත් උදෙසා සහාය වෙමින්, පුහුණු හා දැනුම හුවමාරු කිරීමේ සැසි මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බුත්තල පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ පැවති පුහුණු වැඩසටහන් මගින් ආහාර පාලනය, ආහාර හා පෝෂ්‍ය පදාර්ථ, රෝග වැළැක්වීම සහ පාලනය, බෝ කිරීම සහ පාලනය කිරීම, පිරිසිදු කිරි නිෂ්පාදනය, ගබඩා කිරීම හා ප්‍රවාහන හැසිරවීම ආදී කරුණු පිළිබඳව කිරි ගොවීන්ට පරිපූර්ණ හා පුළුල් ඉදිරි දැක්මක් සහිතව දැනුවත් කිරීමක් සහ පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි. දේශීය හා විදේශීය විශේෂඥයින් විසින් මෙම සැසි පවත්වනු ලැබුවේ ගොවීන්ට තම නිෂ්පාදනවල ඵලදායිතාව සහ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය සවිබලය සපයා දීම සඳහාය. මෙහිදී ගොවීන්ට ඔවුන්ගේ රැකියා පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා දීමටත් ඔවුන්ගේම ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා ලබා දීමටත් පැල්වත්ත සමාගම බලාපොරොත්තු වේ.











