සුබම සුබ වැඩකටයුතු කරන්න සුබම සුබ දවසක් ගැන ප්‍රාර්ථනය හැමෝටම තියෙනවා. දවස අසුබ නම් කිසිදු සුබ කටයුත්තක් යොදා නොගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. සුබ වැඩක් යෙදෙද්දීම හොඳ දවසක් දාගන්න ඕන කියන අදහසක් හිතට එන්නෙ නිරායාසයෙන්මයි. හොඳ දවසක් එනකල් බලාගෙන බොහෝ වැඩ රාජකාරි පසුවට කල්දාගෙන ඉන්න අයත් නැතිව නෙවෙයි. සමහරුන්ටම සුබ – අසුබ දවස් ගැන එතරම් තැකීමක් නැති නිසා හිතුණු වෙලාවක වැඩ පටන්ගන්න අවස්ථාත් තියෙනවා. හැබැයි ඉතින් ඒ කටයුත්ත අසාර්ථක වුණොත් නම් හිතට දොස් කියන්නෙම හොඳ දවසක් බලලා ඉන්න තිබුණානේ කියන පසුතැවිල්ල නිසයි.
වැඩිහිටියන්ගේ උපදෙස නම් සුබ දවසක සුබ නැකැතක වැඩ පටන්ගැනීම සුදුසු බවයි. තරුණ පරපුර නම් එය එතරම නොසලකා හැරියත් රාහු කාලයවත් මඟහැර වැඩ පටන්ගන්න හිතන අයත් ඉන්නවා. හැම කටයුත්තටම හඳහන බලලා නැකැත් හදන්න යන්න බැරි අයට සුබ දවසක් තෝරාගන්න අපි ලබාදෙන අවස්ථාව තමයි මේ.
හැම දවසක්ම අසුබ නැහැ වගේම හැම දවසක්ම සුබත් නැහැ. ඒ වුණත් එක් සතියක් තුළ එක සුබ දවසක් හෝ යෙදෙන නිසා සුබ කටයුතු කල්දාලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේ සතියේ සුබ කටයුතු පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔන්න හොඳම දවස තමයි එකොළොස් වැනිදා. බදාදා දිනයක් නිසා සුබ තත්ත්වය හොඳින්ම ලැබෙනවා.
එකොළොස්වැනිදාට සුවණ නැකැත යෙදෙනවා. ඒ එදින සවස 1.55 දක්වා. පුර තෙළෙස්වක තිථිය අලුයම 2.42 දක්වා පවතිනවා. බදාදා දිනයක් නිසා අටවිසි යෝග අතරින් ජත්‍ර යෝගය පවතින අතර, අමෘත යෝගය යෙදෙන්නෙත් බදාදා දිනයක් නිසයි.
සතියේ මැද හිතේ සතුටින් සුබ වැඩකටයුතු පටන්ගන්න මේ දිනය ඉතා වාසනාවන්තයි. මෙදිනට යෙදෙන සුබ නැකැත උදේ 7.29 වන අතර, නැඟෙනහිර දිශාව බලා වැඩකටයුතු ආරම්භය සුබයි.
දරුවන්ට බත් කැවීමට, හිසකෙස් කැපීමට, අකුරු කියැවීමට සුබ දිනයක් ගැන හිත හිත හිටිය අම්මලාට මේ උදාවන දිනය ඉතා වාසනාවන්ත බව කියන්න පුළුවන්. උදේ 7.29ට යෙදෙන නැකැතින් දරුවන්ගේ කටයුතු ආරම්භ කිරීම අනාගතයේද බුද්ධිමත් දරුවන් බිහිකිරීමට හේතු වන අතර, බුධගේ දනයක් ලෙස බදාදා එහි යහපත් බව තවත් වැඩිකරවනවා.
ඊට අමතරව වෙදකම් ආශ්‍රිත කටයුතු සඳහත් වාහන කටයුතු සම්බන්ධවත්, ළිං කැපීමටත් මේ දිනය සුබ දිනයක් ලෙස යොදාගන්න පුළුවන්.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී එස්.ජේ.ඒ. සමරකෝන්











