පසුගිය සතියේ සමාජ වෙබ් අඩවි මඟින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට චෝදනා එල්ල කර තිබුණේ එතනෝල් සහ බාර් ලයිසන් ඉල්ලුම් කර ඇති බවටයි. එම චෝදනා එල්ලවූ දේශපාලනඥයන් මාධ්‍යයට පැවැසුවේ ඒවා දේශපාලන මඩ බවය. එසේ චෝදනා එල්ලවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, තුෂාර ඉඳුනිල් අමරසේන, චමින්ද විජේසිරි යන පස්දෙනාට බව සමාජ මාධ්‍යවල පළවී තිබිණි. එම මන්ත්‍රීවරුන් පිරිසට එල්ලවී ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා ‘මව්රට’ අප පසුගියදා එම මන්ත්‍රීවරුන් පස්දෙනා සම්බන්ධ කරගත්තෙමු. මේ ඔවුන් ඒ පිළිබඳ දැක්වූ අදහස්ය. මෙම ප්‍රවෘත්තිය අප ලබාගත්තේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙන් වන අතර මෙම තොරතුරු සනාථ කිරීමට එම වෙබ් අඩවි සතුව මූලාශ්‍ර පවතී නම් ඒවා ද අප පුවත්පත හරහා ඉදිරියේදී පළකිරීමට අප සූදානම්ය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
හර්ෂණ රාජකරුණා
“මම නම් බාර් ලයිසන් එකක් හරි එතනෝල් ගෙන්වන්න බලපත්‍රයක් ලබාදෙන්න කියල කිසිම දිනෙක ඉල්ලීමක් කර නැහැ. ඒ සඳහා ලයිසන් මම අරගෙනත් නැහැ. අරගන්න අදහසකුත් නැහැ. මම එහෙම ඉල්ලීමක් කරල තියෙනව කියල පසුගිය සතියෙ ඉඳන් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙ ඒ වගේ දෙයක් පළවී තිබුණා. ඒ වෙබ් අඩවිය කරන කෙනා එංගලන්තයෙ ඉඳන් තමයි මේ වගේ දේවල් ප්‍රචාරය කර හරින්නෙ.”

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
චමින්ද විජේසිරි
“එතනෝල් බලපත්‍ර ඉල්ලල තියෙනව කියල අපට චෝදනා කරන අයට ඒ චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කරනවා. අපේ දේශපාලනයෙන් ශත 50ක් හරි වංචා දූෂණ කර තියෙනව කියල ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්න සූදානම්. රටේ සමස්ත නීතියට යටත් වෙන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මේ මහ දවල් එළිපිට හොරකම් කරන අය ඉන්නවා. මේ වගේ චෝදනා එල්ල කරන්නෙ පහත් දේශපාලනය කරන අයයි.”

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
හෙක්ටර් අප්පුහාමි
“අපට එල්ල කරල තියෙන ඒ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. අපි සජිත්ගෙ අය නිසා මඩ ගහනවා. අපි එවැනි දේවල් ලබාගන්න ඉල්ලීම් කරල නැහැ. ඒවා බොරු කතා.”

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
හේෂා විතානගේ
“අපට විරුද්ධව අසත්‍ය චෝදනා නඟල තියෙන ඊ නිවුස් එකේ අදාළ පුද්ගලයාට එන්තරවාසියක් යවන්න කටයුතු කරලයි තියෙන්නෙ. අනිත් එක මේ ආණ්ඩුවෙම කැබිනට් තීරණයක් අරන් තියෙනවා මින් පසු කිසිවකුට බාර් ලයිසන් දෙන්නෙ නැහැ කියලා. එහෙම තීරණයක් අරන් තියෙද්දී අපි එවැනි දෙයක් ඉල්ලුව කියනව. ඒක වැරැදි ආරංචියක්.”

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තුෂාර ඉඳුනිල් අමරසේන
“මම බාර් පර්මිට් ඉල්ලුව කියල ඔප්පු කළොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්. ඇත්තම කියනව නම් අපට නඟන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යයක්. බාර් පර්මිට් එකක් දෙන්න කියල කිසි දිනෙක ඉල්ලල නැහැ. එහෙම ඉල්ලුම් කරන්න අදහසකුත් නැහැ.”
ප්‍රේමලාල් විජේරත්න





