අහිංසක පෙම්වතා ලෙසට විවිධ චරිත නිරූපණය කළ ඔහු දැන් අපට දැකගන්නට ලැබෙන්නේ චණ්ඩියෙක් ලෙසට. ඇත්තටම ඔහු මෙලෙසට වෙනස් වුණේ ඇයි? ඒ සිතුවිල්ලට පිළිතුරක් ගෙන ඒමට අපි සුරාජ් මාපාට කතා කරන්නම හිතුවා. ඔහුගෙන් අපට ලැබුණු පිළිතුර තමයි මේ.
පුංචි තිරයේ සපුමල් කුමාරයා දැන් චණ්ඩියෙක් වෙලා නේද?
‘සිහිනි’ ටෙලිනාට්‍යයේ විලන් රෝල් එකක් තමයි මම නිරූපණය කරන්නේ. ව්‍යාපාර දානපතියකුගේ පුතෙක් ලෙසට තමයි මම ‘සිහිනි’ ටෙලිනාට්‍ය තුළ ජීවත් වෙන්නේ. මම ගොඩාක්ම ආශාවෙන් තමයි ‘සිහිනි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ආදරය වැඩිකමට සමහර අවස්ථාවල අහිංසකයාත් දඩබ්බර වෙන අවස්ථා තිබෙනවා.
පෞද්ගලික ජීවිතයේදීත්, ඔබත් ආදරය වෙනුවෙන් චණ්ඩිකම් දැම්මද?
එහෙම චණ්ඩිකම් දැම්ම නම් මම මෙලහකට බලෙන් ගෙනැල්ලා, කසාදත් බැඳලා, දරුවොත් ඉඳීවි. මගේ ආදරය පරිත්‍යාග වුණා පමණයි.
මම කැමැති නැහැ අඬදබර කරගෙන ආදරයක් දිනාගන්න. ඒ ආදරයේදී මම අහිංසකයි. ඒකයි තවමත් තනිකඩව ඉන්නේ.
ඔබේ සමකාලීන මිතුරු, මිතුරියන් මේ දවස්වල කැදැලි හදනවා. ඔබ තාම තනිකඩයි?
මට හිතවත් මිතුරු, මිතුරියන් කසාද බැන්ද පළියට මම කසාද බඳින්න කැමැති නැහැ. එහෙම කරන්නම් වාලේ කසාදයක් කරගෙන පලක් නැහැ. මට ආදරය කරන, මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබුණු දාට මමත් කසාද බඳීවි. ආවාට ගියාට මාව දවසින් දෙකෙන් තේරුම් ගන්න බැහැ. අනෙක ආදරය කරන්න මගේ හිතට දැනෙන කෙනෙක් වෙන්න ඕනෑ මුලින්.
තවමත් ඔය සුන්දර හදවත හිමිකර ගන්න කෙනෙක් නැහැ කියලද ඔබ කියන්නේ?
මම ආදරය කළා. හැබැයි දැන්නම් මට කවුරුත් නැහැ. තනිකඩ ජීවිතය සුන්දර විදියට විඳිනවා.
තනිකඩ ජීවිතයේ සුන්දරත්වයත් එක්කද ඔබේ බාහිර ස්වරූපයත් වෙනස් කළේ?
‘දාංගලේ’ සහ ‘සිහිනි’ ටෙලිනාට්‍ය දෙක වෙනුවෙන් තමයි මම අවුරුද්දක ඉඳලා කොණ්ඩය වවන්න ගත්තේ. හැබැයි දැන් ‘දාංගලේ’ ඉවරයි. ‘සිහිනි’ ටෙලිනාට්‍යයත් අවසාන කාලය ගෙවීගෙන යනවා. දැන්නම් ඉතින් මම කොණ්ඩය කපලා ඉන්නේ. මට ආරාධනා කරන ඕනෑම නිර්මාණයක චරිතයක් වෙනුවෙන් මම උපරිම කැපවෙනවා.
ඔබ මේ වන විට ටෙලිනාට්‍ය ගණනාවක ප්‍රධාන චරිත නිරූපණ කරමින් ජනප්‍රිය කිරුළ දිනාගත්තා. එහෙත් ඔබ එයින් මිදීමට උත්සාහ කරන බවක් පෙනී යනවා?
ඇත්තටම ඔව්. මට එහෙම ජනප්‍රිය නළුවා වෙලා ජනතාවගේ ආදරය දිනාගන්න අවශ්‍ය නැහැ. එයටත් එහා ගමනක් අපිට තියෙනවා යන්න. ජනතාවගේ හදවත් තුළ දැන් ජනප්‍රිය නළුවා ලෙසට කටයුතු කරනවා නම් අවුරුදු ගානක් එක දිගට එකම ටෙලිනාට්‍යයේ එකම චරිතයක් කරන්න සිදුවෙලා තියෙන්නේ. මම මේ උත්සාහ කරන්නේ හොඳම නළුවා ලෙසට ජනතාවගේ හදවත් තුළ රැඳෙන්න විවිධ චරිත නිරූපණය කරමින්. එයින් අපිට ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා එකම රාමුවක කොටුවෙලා ඉන්නවාට වඩා.
ඔබට ටෙලිනාට්‍ය ආරාධනා ගලාගෙන ආවත් සිනමාවේ ඉඩකඩ අඩුයි නේද?
ටෙලිනාට්‍යවලින් තමයි මට ආරාධනා කරන්නේ. චිත්‍රපට කිහිපයක රඟපෑවා. චිත්‍රපට ආරාධනා නැතුව නෙවෙයි. ප්‍රේක්‍ෂකයා වැඩිපුර රසවිඳින මාධ්‍යය තමයි ටෙලිනාට්‍යය. ඉතින් මම නිසාම ටෙලිනාට්‍ය බලන පිරිසකුත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මම යමක් කළ යුතුයි. ඉතින් ඉදිරියේදී මම ගියාට සිනමා ශාලාවට එකතු වන ප්‍රේක්‍ෂක පිරිසකුත් හැදෙයි. සිනමාවට එකතු වෙනවානම් ඉතින් මට ටෙලිනාට්‍යවලින් බොහෝ දුරට ඈත් වෙන්න සිදුවෙයි.
වසන්ත විතාරණගේ










