කෝපි කඬේ ‘පිනා’ගේ චරිතය ඔබට මතකද? ආරම්භයේ සිටම කෝපි කඬේ නැරඹූ ප්‍රේක්ෂකයනට නම් ‘පිනා’ව අමතක නැති බව නිසැකය. ප්‍රහර්සනයෙන් පිරුණු පිනාගේ කුළෑටි චරිතයට පණ දුන්නේ එවකට කඩවසම් ගැටවර තරුණයකු ලෙස ටෙලි සිනමාවට පැමිණි ජනක කුඹුකගේය. හිටි අඩියේම වාගේ ‘පිනා’ට සමුදුන් ජනක කුඹුකගේ එයට පසුව ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුළ සොඳුරුතම ආන්දෝලනයක් ඇති කළ තවත් එක් අපූර්වතම චරිත නිරූපණයකට මැදිවූයේ විමලරත්න අධිකාරිගේ ඉසිවර අසපුව හරහාය. එලෙස විවිධාකාර වූ නිරූපණයන් හරහා චරිත මැවූ දක්ෂ චරිතාංග රංගවේදියකු වූ ජනක කුඹුකගේ අලුත් වැඩකට අත ගහන්නට යන ආරංචිය අපේ කනට වැටුණේ අහම්බෙනි. ‘සීමා මායිමට එහා රසවතුන් සොයා යන ගමනක නියැළෙන්නට අදහස් කරන ඔහුගේ අමුතු පහේ නිර්මාණ කාර්යය ගැන කතා කරන්නට ඉතා සුහදව හෙතෙම අප හා එක්වූයේ මෙලෙසිනි.
ඉතින් ජනක කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරතව සිටිනවා.
ඒ ගැන තොරතුරු ටිකක් කියනව නම්?
ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම්වල නිරතව ඉන්නවා. එකක් ‘නීල පබළු’. දෙවැන්න ‘ඇය’ ටෙලි නාටකය. තුන්වැන්න නාලන් මෙන්ඩිස් මහතාගේ නැවැත විකාශනයට සූදානම් වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයෙහි රූගත කිරීම් යළිත් ආරම්භ වීම.
අලුත් තාලේ වැඩකට සූදානම් වන ආරංචියක් තියෙනවා?
ඔව්. එහෙම වැඩකට අතගහලා තමයි තියෙන්නේ. අලුත් යමක් කියන්නේ මෙහෙමයි. යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න අවශ්‍ය සියලු විධි විධාන සූදානම් කරලයි තියෙන්නෙ. “Lines & Beyond”, නමින් ප්‍රේක්ෂකයන් හමුවට එන එහි සරල සිංහල අරුත වන්නේ ‘සීමා මායිමට එහා’ යන්නයි. ඒ හරහා කතා කරන්නට සූදානම් වන්නේ අපි හැමෝම ජීවත් වන මේ භූමිය මතට රසවතෙක් නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණය ගැනයි.
මෙතැනදී අප විවිධ ක්ෂේත්‍රවල සිටින කලාකරුවන්ව වගේම විවිධ වූ වෘත්තිකයන්වද ඒ සඳහා සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම වෘත්තිකයන් හරහා අපි සමාජයට කතා කරනවා. ඔවුන් තුළ යම් රසවතකු සිටිනවාද? ඒ තුළින් ඔවුන් සමාජයට දී තිබෙන දායකත්වය කොයි තරම්ද? ඉදිරියටත් එය දෙන්නට ඔවුන් සූදානම්ද? යන කාරණයන් ගැන ටිකක් පුළුල්ව කතා කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
මෙවැන්නක් ආරම්භ කරන්නට හිතුවේ ඇයි කියලා ඇහුවොත්?
දැන් දැන් ඇදී යන මෙම සමාජ ක්‍රමය අනුව මිනිසුන්ගේ ටේස්ට් එක එහෙමත් නැත්නම් රසඥතාවය ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එය දීර්ඝ කාලීනව දේශපාලන සහ තවත් විවිධ වූ හේතූන් මත ඇතිවූවක්. ඉතින් ,ඛසබැි ) ඊැහදබා, චැනලය හරහා ඒ ගැන යම් කතාබහක යෙදෙන්නට අප උත්සාහ කරනවා. බොහෝ විට මෙය උඩුගං බලා පිහිනීමක් බව කෙනකුට සිතෙන්නට පුළුවන්. නමුත් අපි පොඩි උත්සාහයක් ගන්නවා මෙහි සාර්ථකත්වයක් දකින්න.
අපි යැයි කිව්වේ මෙයට සහභාගි වන තවත් පිරිසක් සිටිනවාද?
ඔව්. අසෝක අතාවුදහෙට්ටි, නිපුනි වික්‍රමගේ සමඟ මගේ පුතා වාසුල කුඹුකගේද මේ සඳහා සම්බන්ධ වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි විදේශගතව සිටින අපේ ලාංකික රසවතුන්ද මේ සඳහා සම්බන්ධ කර ගන්නටයි අපි ඉලක්ක කර ගන්නේ. එම මෙහෙවර සඳහා වාසුල අපට ඕස්ටේ්‍රලියාවේ පදිංචිව ඉඳගෙන සහයෝගය දෙනවා.
“Lines & Beyond” සාර්ථක වේ යැයි යන විශ්වාසය ඔබ තුළ තියෙනවද ජනක?
“Lines & Beyond” සඳහා ආරම්භය දුන්නේ ලොකු ආත්මවිශ්වාසයකින් තමයි. එය වටා පිරිස රොදබැඳ ගැනීමට අවැසි සියලු පියවර අපි ගන්නවා. නමුත් වැඬේ නොකර කයිවාරු කියන එක හොඳ මදියි. ඒ නිසා “Lines & Beyond” ප්‍රේක්ෂකයන් අතරට එනතුරු එහි සාර්ථක අසාර්ථක බව ගැන කතා කරන්නට හදිස්සි විය යුතු නැහැ මම හිතන්නේ. හැබැයි “Lines & Beyond” හරහා අප කරන්නට තනන්නේ හොඳ යමක්. සමාජයට අහිතකර නොවන යමක්. අපි හොයා යන්නට උත්සාහ කරන්නේ රසවතුන්ව. යම් කෙනකු තුළ කිසියම් වූ රසවතකු සිටිනවා. අන්න ඒ රසවතා තුළින් තමයි නිර්මාණශීලී පුද්ගලයකු බිහිවන්නේ. ඒ නිර්මාණශීලී බව ඔස්සේ තමයි ඒ ඒ අය සිය රසය ලොවට බෙදාහරින්නේ. ඔවුන් වෛද්‍යවරුන් විය හැකියි. කලාකරුවන් විය හැකියි. “Lines & Beyond” තුළ අප සතු කාර්යභාරය වන්නේ එකී විවිධ පුද්ගලයන් තම රසය තුළින් සමාජයට කළ මෙහෙවර ගැන සරලව කතාබහ කිරීමයි.
“Lines & Beyond”, එළිදකින දිනය වැඩි ඈතක නොවේද?
මම හිතන්නේ බොහෝ විට එය නුදුරු දිනෙක සිදුවේවි. එතෙක් අප බලා සිටිමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











