තිරයේ ඉදිරියේ රංගන ශිල්පියකු ලෙසත්, තිරයෙන් පිටුපස ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු ලෙසත් විශාල වගකීම් දරන ධම්මික ගුණසේන, කලා ක්ෂේත්‍රයේ නිහඬ නමුත් වැදගත් චරිතයකි. ඔහුගේ කලා ගමන, ජීවිත අත්දැකීම් සහ වගකීම් පිළිබඳ ඔහු ‘හාට්’ අප සමග අදහස් හුවමාරු කරගත්තේ මෙලෙසිනි.Sri Lanka Latest News
ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල පිරිමි ළමයි, ජහුටා, අලුත් සර්, කොළඹ කට්ටිය කියන නාට්‍ය හතරේම නිෂ්පාදන කළමනාකරණ කටයුතු කරගෙන යනවා. පිරිමි ළමයි නාට්‍යයේ රූගත කිරීම් නම් මේ වෙද්දී අවසන් කරලා තියෙනවා.
ඉඳුවර එක්ක අලුත් ෆිල්ම් එකකට අතගැහුවා කියලා ආරංචියි?
ඔව්. සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ පුතා වන ඉඳුවර සූරියබණ්ඩාර සමග අලුත් චිත්‍රපටයක් ආරම්භ කරලා තියෙනවා. ඒක ටිකක් විශාල නිර්මාණයක්.
ෆීල්ඩ් එකේ අද ඉන්න තැනට ඔබව ගෙන ආවේ කවුද?
මාව මේ ක්ෂේත්‍රයට ගෙනාවේ ශිවගුරුනාදන් මහතා. එයා තමයි මාව නිෂ්පාදක ශ්‍රී ලාල් වික්‍රමගේ මහතාට හඳුන්වා දුන්නේ. හුස්ම වැටෙන මල් කියන නිර්මාණයෙන් තමයි මුලින්ම සම්පූර්ණ ම ප්‍රඩක්ෂන් එක කළේ.
මුලින්ම කැමරාව ඉදිරියට ගියාම චකිතයක් තිබුණද?
මුලින් පොඩි චකිතයක් තිබුණා. ඇත්තටම අදටත් කැමරාව ඉදිරියට ගියාම ඒ හැඟීම තියෙනවා. හැබැයි අපේම කණ්ඩායම එක්ක වැඩකරන නිසා ඒක ඉක්මනින්ම නැති වෙනවා.
බැණුම් අහන අවස්ථාත් ඇති නේද?
බැණුම් අහන්න වෙන දේවල් මගෙන් වෙලා නැති තරම්. මම බැණුම් අහන්න කැමැති කෙනෙක් නෙමෙයි.
එකවර නිර්මාණ කිහිපයකම ප්‍රඩක්ෂන් මැනේජර් විදිහට වැඩ කරනවා නේද?
ඔව්. අවුරුදු ගණනාවක් තිස්සේ එකවර ප්‍රඩක්ෂන් හතර පහක්ම කළ අවස්ථා තියෙනවා. ඒකට හොඳ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් ඉන්න එක ලොකු සහායක්.
මේ වැඩ ඔබ තනිවමද කරන්නේ?
නැහැ. නදීෂාන් ඉමේෂ් සහ චාමික ඉසුරු කියන දෙන්නා මගේ ඇසිස්ටන්ට්ලා විදිහට වැඩකරනවා. මෑතකදී තවත් කෙනෙක් කණ්ඩායමට එකතු වුණා.
දැන් රංගනය මගහැරිලා වගේද?
ප්‍රඩක්ෂන් මැනේජර් වුණාට පස්සේ රංගනය ටිකක් මගහැරුණා. මේ රැකියාව එක්ක රංගනය කරන්න ටිකක් අමාරුයි. කලින් නම් මගේ පෙනුමට ගැළපෙන පොලිස් සහ මැර චරිත ගොඩක් රඟපෑවා.
චිත්‍රපටවලත් නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට වැඩ කළා නේද?
ඔව්. හොරා අංකල්, විශ්ම, කාසිවාසි සහ අර්ජුන කමලනාත් මහතාගේ හදගැස්ම සහ තවත් නිර්මාණ කිහිපයක වැඩ කළා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ශ්‍රී ලාල් වික්‍රමගේ මහතාගේ හෙලෝ සොෆි කියන චිත්‍රපටයේත් වැඩ කළා. ඒ අතර පොඩි චරිතවල රඟපෑම් කළ අවස්ථාත් තියෙනවා.
රඟපාන්න ආස නැද්ද?
රඟපාන්න ආසයි. හැබැයි ප්‍රඩක්ෂන් වැඩ එක්ක ඒකට වෙලාව හොයාගන්න අමාරුයි. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රඟපානවා.
පවුලක් වෙන්න එහෙම අදහසක් හිතේ තවම නැද්ද?
දැනට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කාලයේ මගේ මුළු අවධානයම කලාවට.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මේ ක්ෂේත්‍රයේ ලංකාවේ දක්ෂම නිෂ්පාදන කළමනාකරුවෙක් වෙන්නයි බලාපොරොත්තුව. ඒ වගේම ගෙදරට බරක් නොවී, හැමෝටම උදව් කරගෙන කලාවත් එක්ක ජීවත් වෙන එක තම බලාපොරොත්තුව.
ස්ටෙෆනි කොතලාවල











