ක්‍රි.ව. 1915 පෙබරවාරි 15 වැනි දින උපන් එඩී ජයමාන්න මහතාගේ ‘පුවපුටුප’ නැකැතින් ගුරු මහ දශාව උපන් දින සිට ඉදිරියට අවුරුදු 14යි, මාස 2යි, දින 8යි.
රවි – තුලාවට නීච වෙයි. එහෙත් සුබඵල දෙයි. ප්‍රසාදය ලබයි. කාන්තා ඇසුර බොහෝ ප්‍රියකරන, කලාවට ලැදිවන, බොහෝ මිත්‍ර ඇසුර ගෙන එන පිහිටීමකි. බොහෝ සගයින් පිරිසක් පිරිවරාගෙන සුහදව කල් ගෙවයි. ඉක්මන් විවාහයක් සිදුකරගනී. ඔහු තමාට වඩා අවුරුදු 13ක් බාල තරුණියක් තම සහකාරිය කරගත්තේය. ඇය නමින් රුක්මණී දේවියයි. දෙදෙනාගේ විවාහයෙන් පසුව වූ මුල්කාලය සුබ වුවත් පසුකාලය තරමක් අහිතකර බලපෑම් වූ බව එකල සිනමා ලෝලීන්ද දන්නා කරුණකි. තරමක් ආඩම්බරකාරී බවක් විවාහයේ මුල් කාලයේ තිබුණත් පසුව එය අහෝසි වී යයි.
කුඩා දරුවන්ට බොහෝ ආදරය පෑවේ රවි, බුධ, ගුරු, රාහු හා චන්ද්‍ර යන ග්‍රහයන් පස්දෙනා සංයෝගව පිහිටි නිසාය. විශේෂයෙන් සඳු, ගුරු 5 පිහිටීමෙන් දරුවන්ට ආදරය ඇති වෙයි. මෙම යෝගය ඉතා ප්‍රබල නිසා පියාට දරුඵල අහිමි වන්නට ඉඩ ඇති බවක් පෙන්වයි. ඥාතීන් කෙරෙහි එතරම් පිළිගැනීමක් නැත්තේ ගුරු සමඟ රාහු යෙදී ඇති නිසාය. එහෙත් නෑයන් වෙනුවට හොඳ හිත ඇති බොහෝ මිතුරන් පිරිසක් ඔහු හා එක්විය.
හොඳ රූපයක් හිමි එඩී ජයමාන්න සූරීන් එකල යොවුන් වියේ පසුවූ කඩවසම් තරුණයකු විය. සිංහල සිනමාවට චිත්‍රපට කලාව හඳුන්වා දුන්නේ එඩී ජයමාන්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසකි. රුක්මණී දේවිය සමඟ විවාහ වූයේද චිත්‍රපට නිසාම විය හැකියි. සිංහල චිත්‍රපට රංගනයෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ රුක්මණී හා එඩී ජයමාන්න ජෝඩුවයි.
මොහුගේ ජන්ම පත්‍රයේ කුජ උච්චව මකර රැස ගතවීම හේතුකොටගෙන සහකාරියක් ලෙස රූප සම්පත්තියක් හිමි ලස්සන සුරංගනාවියක් බඳු තැනැත්තියක් මොහුට ලැබුණි. එහෙත් විවාහ ජීවිතය අසාර්ථක වූවක් බවද නොරහසකි. 7 අධිපති කුජ නවාංශකයෙහි නීචව 9 වැන්න ගතවීම නිසාම මොහුගේ විවාහය අසාර්ථක වීමට හේතු වූවා විය හැකිය. එහෙත් 9 වැන්නේ පිහිටීම් නිසා ජීවිතයේ අවසාන කාලය දෙදෙනා බොහෝ හිතවත් වී ප්‍රසංගවලට එකටම ගියේය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකට ගොස් එනවිට දහවල් කාලයේ වෑන් රථය ජා-ඇළ තුඩැල්ල ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්විය.
මෙහි රවි ආත්ම කාරකයා විය. රවි සතුරු වී ආත්මකාරක රවි ප්‍රසිද්ධියත් සමඟම ඔහුට මාරක දුන්නේය. නවාංශකයෙහි සඳු තුලාවට නීච වී ඇත. එයත් අහිතකරව ආත්ම ශක්තියට මරු පහරක් වී හදිසි අනතුරකින් ඉතාමත් අවාසනාවන්ත අයුරින් මොහු අප අතරින් සමුගත්තේ තම බිරියත් සමඟය.
තුලා ලග්නයෙන් ඉපදී කුජ මකර රැස යෙදී කුජ උච්චවීම ඉතා සුබ අයුරින් ඔහුට බලපා ඇත. එකල තට්ටු නිවසක් සාදාගැනීමටද ඔහුට භාග්‍යය උදාවිය. චිත්තකාරක සඳු සමව ඵල දීම නිසා සිත සතුටින් මහජනතාවද, බොහෝ දෙස් – විදෙස් රසිකයන්ටද විකට රඟපෑම හරහා සිනහ නැංවීමට හැකි විය. එම හැකියාව ඔහුටම උරුම වූ දුර්ලභ දක්ෂතාවකි.
මෙහි 5 වැන්නේ ඔහුට ධර්ම කර්මාධිපති නම් රාජ යෝගයක් යෙදී ඇත. එඩී ජයමාන්න නම් වූ පුද්ගලයාව සමාජයෙහි ඉතා උසස් තලයකට ඔසවා තැබීමට මෙම යෝගය බලපෑවේය. රජෙකුට යෙදෙන රාජ යෝග බලෙන් ඔටුනු නොපලන් එඩීව රසික පිරිස ‘විකට රජා’ යන නමින් හැඳින්විය. ඔහු රසික ජනතාව පිනවා ධනය උපයාගෙන දුගීන්ද සුවපත් කළේය. සසර පතාගෙන ආ පරිද්දෙන්මදෝ බිරියත් සමඟ දෙදෙනාම එකට දෙනෙත් පියාගත්තේ හදබැඳගත් රසික පිරිස කඳුළු සාගරයක ගිල්වා දමමින්ය.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ











