ජන්ම පත්‍රයක ග්‍රහයකු නීච වීම යනු එම රාශියේ බලය දුර්වල කිරීමකි. ජන්මියාගේ බලය දුර්වල වීමට එය සාධකයකි. තේජෝ බල අධික රවි වායෝ බල පිරි තුලා රාශියේ නීච වෙයි. සෑම වසරකම ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 16 දක්වා රවි – තුලා රාශියේ ගමන් කරයි.
රවි – තුලා රාශියේ නීච වන්නා සේම රවි තුලා රාශියේ ගමන් කරන කාලය තුළ හිරුගේ රශ්මිය දුර්වල වෙයි.
අප්‍රේල් 13 සිට මැයි 13 දක්වා කාලයේ හිරු නිරක්‍ෂයට ආසන්නව ගමන් කරයි. රවි – මේෂ රාශියේ ගමන් කරන්නේ මෙම කාලයේදීයි.
රවි – තුලාවේ නීච වූවන්ගේ සිකුරු දුර්වලව පිහිටීම විවාහ දිවිය අවුල් වීමට මඟ සකසයි.
රවි උච්චව මේෂ රාශිගත වීම ජන්මියාගේ අභිමානය සහ කිසිවකුට යටත් නොවන බව පෙන්වීමකි. එවැන්නන් හට විරුද්ධවාදීන් අඩුවක් නැත. දියුණුවට බාධක මතුවෙයි.
සිංහ ලග්න හිමියා හට රවි නීච වී තුන්වැන්නේ පිහිටීම විශේෂිත ලක්‍ෂණ මතුවීමකි. එය රජකු තම බලතල පසෙකලා පක්‍ෂග්‍රාහී නොව අපක්‍ෂපාතී භාවයෙන් තම බලය මෙහෙයවා පොදු ජනතාවගේ මහත් වූ ප්‍රසාදය දිනා ගැනීමක් හා සමානය.
රවි නීච වී උපන් උදවිය කුමන වෘත්තියක නිරත වුවද එහි ඉහළටම යා හැකි භාග්‍යවන්තයෝය. හිඟන්නෙක් වුවද හිඟන රජෙකි. ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානයක, අගමැති විජයානන්ද දහනායක, අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ආදී බලවත් චරිත රවි නීච වූවන්ගේ ප්‍රධාන පන්තියේ උදවිය වෙති.
රවි නීච වුවත් කිසිවකු විරුද්ධකර ගැනීමට කැමැති නැත. විරුද්ධවාදියකුට පවා තම බලය පෙන්වීමට වඩා තම අපක්‍ෂපාතීභාවය පෙන්වා එම විරුද්ධවාදියා තමනට අවනතකර ගැනීමට එවැන්නා සැබෑ රුසියෙකි.
ජන්ම පත්‍රයක ග්‍රහයකු නීච වීම ඇතැම් විටෙක බරපතළ ගැටලුවකි. එය නීච ග්‍රහයාගේ සොබාවය අනුව වෙනස් වෙයි. කටක ලග්න හිමියාට සඳු නීච වූ විට ඔහුගේ හෝ ඇගේ සහජයෙන් පවතින චංචල බිය – සැක භාවය තුරන් වෙයි. ක්‍රියාශීලී අයකු නිර්මාණය කරවයි. මේෂ ලග්න හිමියාද සැරපරුෂ ගුණයෙන් තොර ගුණ යහපත්, කීකරු අයකු වන්නේත් කුජ නීච වූ විටය.
රවි නීච වීම සාමාන්‍ය මිනිසා හට ඉතා යහපත්ය. සමාජයේ සිත් දිනා ගනිමින් තම අභිමතාර්ථයන් වෙතට යෑමට එයම පිටිවහලක් වෙයි. සාමාන්‍ය ජනතාව අතරින් බලවත් දේශපාලකයන් මතුවන්නේත් මෙම හැකියාව නිසාය. දේශපාලනයෙහි නිරත සෑම දෙනාටම රවි නීච වී නැත. බලයෙන් ඉහළට ගොස් රවිගේ උච්ච බලය මතුවී කලකදී පහළට ඇදවැටෙන චරිතයන්ද අප අතර නැත්තේ නොවේ.
ජන්ම පත්‍රයකට – ජන්මියකුට විසල් බලයක් පෙන්වන රවි ග්‍රහයාගේ සොබාවය නිසිව හඳුනා නොගැනීම මෙයට සාධකයක් විය නොහැකිද?
ඔබේ රවි කොතැනද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











