දිගු නිහැඬියාවකට පසු සඳා නැවත පුංචි තිරයට ඇවිත්. ඒ ‘සඳගලතැන්න’ ටෙලිනාට්‍යය හරහා ‘සඳා’ චරිතයට පණපොවන හිමාලි සිරිවර්ධන මේ දවස්වල ඉතාමත් සතුටින් ඉන්න බවයි අපට ආරංචිය. මොකද එදා වගේ අදටත් ‘සඳා’ කියලා තමයි හිමාලිව ගොඩදෙනෙක් අමතන්නේ. ඒ අතීතය ගැන හිමාලිට අද දැනෙන හැඟීම මොනවගේද කියලා අහලා බලන්න අපි හිතුවා.
හිමාලි වසර පහළොවකට පසු ‘සඳා’ යළිත් ඉපදුණා නේද? කොහොමද දැනෙන සතුට?
ඒ සතුට කියා නිම කරන්න බැරි තරම්. ගොඩදෙනෙක් මට කිව්වා ‘සඳගලතැන්න’ ටෙලිනාට්‍ය නැවැත පෙන්වනවා නම් වටිනවා කියලා. මොකද දැන් තියෙන බාල, බොළඳ ටෙලිනාට්‍ය වගේ නෙමේ ඒ කාලේ බලපු ටෙලිනාට්‍ය කියලා. ඉතින් සඳගලතැන්න නැවත විකාශය වෙනවා කියලා රූපවාහිනියේ දානවාත් එක්කම මට නැවත ඒ තිබුණ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. මොකද සඳාට ගොඩදෙනෙක් ආදරය කළ බව මම දන්නවා. 2005 ඉඳලා ‘සඳා’ ගැන හැමෝම කතා කළා.
හිමාලි සිරිවර්ධන නම ජනගත වුණේ ‘සඳා’ හරහාද?
මම එයට කලින් ටෙලිනාට්‍ය කිහිපයක රඟපාලා තිබුණා. නමුත් ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු අවස්ථාව. ගොඩදෙනෙක් හිතාගෙන හිටියේ මම අලුත් කෙනෙක් කියලා. නමුත් ‘සඳා’ චරිතය හරහා තමයි මාව ප්‍රේක්ෂකයන් අතරට ගියේ කියලා කිව්වොත් හරි.
‘සඳා’ චරිතය ඔබට දෙන්න එපා කියලා ක්ෂේත්‍රයේ තවත් සමහරු අධ්‍යක්ෂට කිව්වලු නේද?
ඔව්. ක්ෂේත්‍රයේම අය කියලා තියෙනවා මට ඒ චරිතය කරන්න බැරිවෙයි කියලා. මම ඒ කාලේ බටහිර නර්තනය කණ්ඩායමක වැඩ කරන කෙනෙක්. ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මට නටන්න විතරයි පුළුවන් කියලා. ඉතින් සමන් කුමාර ලියනගේ අයියා ‘සඳාට’ මාව තෝරාගත්තා. හැබැයි ‘සඳගලතැන්න’ රූපවාහිනියේ විකාශය වෙනවාත් එක්කම ඒ ලැබුණ ප්‍රතිචාරත් එක්ක ඒ කියපු අයම මට පැවැසුවා අපි ඔයාට මේ චරිතය කරන්න බැරිවෙයි කියන බයටයි දෙන්න එපා කිව්වේ කියලා. මොකද සඳගලතැන්න ටෙලිනාට්‍යයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් එක්ක තමයි මට වැඩ කරන්න ලැබුණේ.
ඔබ අද අම්මා කෙනෙක්. ඒත් එදා ‘සඳා’ට මුහුණදෙන විට ගැබිනි චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් වෙන්න ඇති?
මම ‘සඳා’ හරහා තමයි පළමු වතාවට ගැබිනි මවකගේ චරිතයක් රඟපෑවේ. අත්දැකීම් නැති වුණත් මම ඒ චරිතයට සාධාරණයක් කළ බව එදා ඉඳලා අද දක්වා ලැබුණ ප්‍රතිචාරත් එක්ක හිතාගන්න පුළුවන්. ගැමි පරිසරයක තමයි ටෙලිනාට්‍ය රූපගත කිරීම් කළේ. දවසක් ආච්චි කෙනෙක් මා ළඟට ඇවිත් කියනවා පුතෙක් තමයි හම්බවෙන්න ඉන්නේ කියලා. ඉතින් ටෙලිනාට්‍ය විකාශය වීමටත් කලින් මගේ බාහිර ස්වරූපය දැකලා එවැනි ප්‍රතිචාර මට ලැබුණා මගේ චරිතයට.
හිමාලි චරිත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනවාද?
අනිවාර්යයෙන් මම එය සැලකිල්ලට ගන්නවා. නැතුව ගැමි, නගරබද චරිත, වෙස්ටර්න් චරිත කියලා මම විශේෂත්වයක් දක්වන්නේ නැහැ. නමුත් මම තෝරා ගැනීමේදී මට යමක් කරන්න පුළුවන් අපිට අලුත් දේවල් සොයාගෙන යන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට වෙනස් දෙයක් දෙන්න පුළුවන් හොඳ චරිත තමයි මම කරන්න උත්සාහ කරන්නේ. මම දකිනවා මේ දවස්වල ටෙලිනාට්‍ය පාට පාට ඇඳුම් අන්දවල නිකම් කියන්නම්වාලේ ඔහේ දෙබස් කියවනවා. එයට වඩා නැවුම් වෙනසක් කරන්න තමයි මම බලාගෙන ඉන්නේ. තවම මට එහෙම හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණේ නැහැ.
වසන්ත විතාරණගේ











