Game of Thrones (සිංහාසනයේ තරගය හෙවත් රාජාසනයේ තරගය) තමයි අපේ කාලයේ අසන්නට ලැබෙන එක් අපූරු කතාවක්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන මේ වදන නූතන ලෝකයේ බොහෝ දෙනෙක් දන්නවා. එසේ වන්නේ එය ප්‍රකට විදෙස් රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවක් සහ ලොව තරුණ පරපුර අතර අතිශය ප්‍රකට වීඩියෝ ක්‍රීඩාවක් නිසා. මෙහි සිටින්නේ ප්‍රබල නායකයන් පස්දෙනෙක් සහ ඔවුන් බලය ලබාගැනීමට එරෙහිව සටන්වදින ආකාරයේ කතාන්දරයකුයි. තවත් ආකාරයකින් කිවහොත් සිංහාසනයේ හෝ රාජාසනයේ අසුන්ගන්නට තමයි මේ අය සටන්වදින්නේ. මේ විදියේ රාජාසන සටනක් මේ දවස්වල අපේ ශ්‍රී ලංකාවේදීත් දකින්නට හා අසන්නට ලැබෙනවා. ඒ අපි කවුරුත් දන්න එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සටන. මේ සඳහා ප්‍රබලයන් පස් දෙනෙක් සටන් වැදී තිබෙනවා. කවුද මේ ‘ටොප් ෆයිව්’ සද්දන්තයන් පස්දෙනා?
ඒ තමයි රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රබල දේශපාලනඥයන් පස්දෙනා. මේ අය සමාජයේදී නාමික වශයෙන් හඳුනාගෙන තිබුණත් ඔවුන්ගේ සැබෑ ජීවන පැටිකිරිය බොහෝ දෙනකු දන්නේ නැහැ. සැබෑ ලෙසම ඔවුන් කවුද?
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. ඉහත පස්දෙනා අතරින් දේශපාලනයේ සිටින ප්රවීණතමයා වන්නේද ඔහුය. ඔහු දැනට 70 වැනි වියෙහි පසුවෙයි. ශ්‍රී ලංකාවේ වත්මන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතාය. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේත් උපාධිධරයෙක් වෙයි. මෙම උසස් අධ්‍යාපන ආයතන මඟින් නීති උපාධිය ලබාගත් ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. එහෙත් තම පියා වූ එස්මන්ඞ් වික්‍රමසිංහගේ දේශපාලනික සහ දැවැන්ත මාධ්‍ය කාර්යභාරය ආභාසයට ගනිමින් ඔහු තරුණ වියෙහිදීම දේශපාලනයට පිවිසියේය. එනම් 1975 වසරේදී එක්සත් ජාතික පක්ෂේ කැලණිය සංවිධායකවරයා ලෙස පත්ව, 1977 මහ මැතිවරණයේදී බියගම ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්විය. එවකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී තරුණයකු වශයෙන් දේශපාලනයට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දේශපාලන ගමන් මඟේ අතිශය දිගු ගමනක් පැමිණ ඇත. එහිදී ඔහු දැරූ තානාන්තර විවිධ කාල වකවානු සමඟ මෙසේ දැක්විය හැකිය.
1977 ජූලි 21 සිට 1989 පෙබරවාරි 15 දක්වා බියගම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම.
1989 මාර්තු 09 සිට 1994 අගෝස්තු 19 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම.
1994 අගෝස්තු 25 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස පත්වීම.
1989 මාර්තු 06දා සිට 1993 මැයි 07 දක්වා සභානායක ධුරය දැරීම.
1994 නොවැම්බර් 12දා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීම.
1989 පෙබරවාරි 18 සිට 1993 මැයි 01 දක්වා කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැති ධුරය දැරීම.
1977 ඔක්තෝබර් 05 සිට 1980 පෙබරවාරි 14 දක්වා තරුණ කටයුතු සහ රැකී රක්ෂා ඇමැති ධුරය දැරීම.
1980 පෙබරවාරි 14 සිට 1989 ජනවාරි 02 දක්වා අධ්‍යාපන කටයුතු ඇමැති ධුරය දැරීම.
2001 දෙසැම්බර 12 සිට 2004 අප්‍රේල් 06 දක්වා අගමැති ධුරය දැරීම.
2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වා අගමැති ධුරය අගමැති ධුරය දැරීම සහ ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු ඇමැති ධුරය දැරීම.
2018 පෙබරවාරි 25 සිට 2018 මාර්තු 08 දක්වා අගමැති ධුරය දරන අතරතුරදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයද දැරීම.
2015 සැප්තැම්බර් 04දා සිට 2018 ඔක්තෝබර් 26 දක්වා අගමැති ධුරය දැරීම.
2018 දෙසැම්බර් 20දා නැවත අගමැති ධුරයට පත්වීම සහ තවත් කැබිනට් ඇමැති ධුර 04ක් දැරීම.
1994 ඔක්තෝබර් 28 සිට 2001 ඔක්තෝබර් 10 දක්වා විපක්ෂ නායක ධුරය දැරීම.
2004 අප්‍රේල් 22 සිට 2015 ජනවාරි 09 දක්වා විපක්ෂ නායක ධුරය දැරීඹ.
1993 මැයි 07 සිට 1994 අගෝස්තු 18 දක්වා අගමැති ධුරය දැරීම.
2001 දෙසැම්බර 09 සිට 2004 අප්‍රේල් 06 දක්වා අගමැති ධුරය දැරීම.
2015 ජනවාරි 09දා සිට මේතාක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයද දරමින් සිටියි. මේ ආකාරයට ඔහු ශ්‍රී ලංකාවේ අගමැති ධුරය පස් වතාවක්ම උසුලා ඇති ඉතාමත් පරිණත දේශපාලනඥයෙකි. ඔහු මෙතෙක් උසුලා නොමැති එකම නතුර වන්නේ ජනාධිපති ධුරයයි. ඔහුගේ දේශපාලන ජීවිතය මේ වන විට වසර 45ක් ඉක්මවා ඇති අතර එය නොකඩවා ගලාගිය එකක් වෙයි. ආසියාවේ සිටින පැරැණිතම, අත්දැකීම් ඇති දේශපාලනඥයකු ලෙස ඔහු පිළිගැනෙයි.
කරු ජයසූරිය
වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දරන කරු ජයසූරිය මහතා දැනට 78 වැනි වියෙහි පසුවෙයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිසිසුවකු වන ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයකු විය. 1965 වසරේ සිට 1972 වසර දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ දෙවැනි ලුතිනන්වරයකු ලෙසද ඔහු කටයුතු කර ඇත. ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වන ඔහු රජයන් කිහිපයක් යටතේ විවිධ අමාත්‍ය ධුර උසුලා ඇත. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරය උසුලන සමයේ සිටම දේශපාලනයට සම්බන්ධ වූ ඔහු ජයවර්ධන මහතා විසින් මුලින්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ධුරයට පත් කරන ලදී.
1997 සිට 1999 දක්වා කොළඹ නගරාධිපති ධුරය ඉසිලීම.
2000 සිට 2015 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම.
2015 වසරේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමිවීම.
2001 දෙසැම්බර් 12 සිට 2004 අප්‍රේල් 06 දක්වා විදුලිබල සහ බලශක්ති කටයුතු ඇමැති ධුරය දැරීම.
2007 සිට 2008 දක්වා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති ධුරය දැරීම.
2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වා ස්වදේශ කටයුතු සහ ප්‍රජාතාන්ත්‍රික කටයුතු අමාත්‍ය ධුරය දැරීම.
2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වා බුද්ධ ශාසන කටයුතු ඇමැති ධුරයද දැරීම.
2015 සැප්තැම්බර් සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරීම.
විදෙස් රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන් කිහිපයක් ඉසිලීම.
පාඨලී චම්පික රණවක
වත්මන් එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධාන කැබිනට් ඇමැතිවරයකු වන ඔහු ජාතික හෙළ උරුමය පක්ෂයේ නායකයාය. දැනට 54 වැනි වියෙහි පසුවන චම්පික රණවක මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන අතර වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකි. ඔහු මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්ය. විශ්වවිද්‍යාලයේ සිටින විටදී ඔහු දැඩි වාමාංශික සිසු ක්‍රියාකාරියකු විය. සිසු සංගම් තුළින් සිසුන්ගේ අයිතිවාසිකම් දනාගැනීමට නායකත්වය ගෙන කටයුතු කළ ඔහු 1988 වසරේදී ජනතා විමුක්ති පෙරමුණට අදාළ ක්‍රියාකාරකම් නිසා අත්අඩංගුවටද පත්ව තිබිණි. ඔහු වත්මන් රජයේ දක්ෂ, ක්‍රියාශීලී ඇමැතිවරයකු වශයෙන් නිරන්තරයෙන්ම කැපීපෙනෙයි. ඔහු දේශපාලනික තනතුරු කිහිපයක්ම හොබවා ඇත.
2007-2010 දක්වා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්ව සිටීම. මෙය මහින්ද රාජපක්ෂ රජය සමයේ ලැබූ මන්ත්‍රී ධුරයකි.
2010 – කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වීම.
2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වා විදුලිබල සහ බලශක්ති කැබිනට් ඇමැති ධුරය දැරීම.
2015 සැප්තැම්බර් 04 සිට මේ දක්වා මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කැබිනට් ඇමැති ධුරය දැරීම.
නිරන්තරයෙන්ම විකල්පවාදී දේශපාලනික මතිමතාන්තර දරන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පොදු ජනතාව අතර ප්‍රකට චරිතයකි.
සරත් ෆොන්සේකා
ප්‍රකට, ඉතා දක්ෂ හමුදා නිලධාරියකුව සිට දේශපාලනයට පිවිසි සරත් ෆොන්සේකා මහතා මේ වන විට 68 වැනි වියෙහි පසුවෙයි. අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූ ඔහු එංගලන්තයේ රාජකීය ආරක්ෂක විද්‍යාලයෙන් හමුදා කටයුතු ගැන උසස් අධ්‍යාපනය හැදෑරීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදා නිලයන් රැසක් දැරූ ඔහු අවසානයේදී යුද හමුදාපතිවරයා ලෙසද කටයුතු කළේය. වත්මන් රජය යටතේ යුද හමුදාවේ උසස්ම නිලයක් වන ෆීල්ඞ් මාර්ෂල් ධුරයට පවා ඔහු උසස් කෙරිණි. ඔහු දැරා ඇති හමුදා සහ දේශපාලනික තනතුරු මෙසේය.
2013 අප්‍රේල් 01 සිට 2016 අප්‍රේල් 30 දක්වා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීම.
2005 දෙසැම්බර් 06 සිට 2009 ජූලි 15 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීම.
2009 ජූලි 15 සිට 2009 නොවැම්බර් 30 දක්වා ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම.
2010 අප්‍රේල් 22 සිට 2010 ඔක්තෝබර් 07 දක්වා කොළඹ දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම.
2016 පෙබරවාරි 09 – ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම.
2016 පෙබරවාරි 25 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කැබිනට් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම.
2018 මැයි 01 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරය දැරීම.
සරත් ෆොන්සේකා ඊළාම් කොටි යුද්ධයේදී සුවිශාල කැපකිරීමක් සිදුකළ හමුදා නිලධාරියකු වූ අතර එහෙයින්ම ඔහු ඉහළම හමුදා සම්මානයන්ට පාත්‍ර විය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. එසේම එම රාජපක්ෂ රජය යටතේදීම ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් සරත් ෆොන්සේකා මහතා වසර 03ක් සිරගත කළේය.
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය, එමෙන්ම ක්‍රියාශීලී ජනාධිපතිවරයකු වූ දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ එකම පුත්‍රයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාය. 52 වැනි වියෙහි පසුවන සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වෙයි. දැනට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු කැබිනට් ඇමැති ධුරය දරන්නේද ඔහුය. කොළඹ රාජකීය විද්‍යාලයේ කලක් ඉගෙනුම ලැබූ ඔහු නවවැනි වසරෙන් පසු විදෙස්ගතව අධ්‍යාපන හැදෑරුවේය. ඔහුට එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේත්, ඇමෙරිකාවේ මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේත් උපාධි දෙකක් හිමිව අති බව කීවද විකිපීඩියා වෙබ් අඩවියට අනුව එය සානුකම්පිත උපාධියක් බව කියැවේ. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ලන්ඩන් සා. පෙළ හෝ උ. පෙළ විභාග කළාද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට ඇත්තේ මහත් ආන්දෝලනයකි.
2000 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්විය.
2001-2004 සෞඛ්‍ය කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය දැරීම.
2011 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වීම.
2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වා නිවාස සහ සමෘද්ධි කටයුතු කැබිනට් ඇමැති ධුරය දැරීම.
2015 සැප්තැම්බර් 04 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා නිවාස සහ ඉදිකිරීම් කටයුතු ඇමැති ධුරය දැරීම.
2018 දෙසැම්බර් 20 සිට මේ දක්වා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති ධුරය දැරීම.
මෙම සුවිශේෂ පුද්ගලයන් 05 දෙනාගෙන් කවුරුන් ජනාධිපති අපේක්ෂකයා වේදැයි මෙතෙක් කිසිවකුත් නොදනියි. එක්සත් ජාතික පක්ෂයේ ‘රාජාසන සටන’ට කවුරුන් සුදුසුදැයි ඔබම තීරණය කරගන්න. ප්‍රතිඵලය ලැබෙන තෙක් අපි නිසොල්මනේ බලා සිටිමු.
ප්‍රියන්ත හෙට්ටිගේ