මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයේ උණුසුම තවමත් පහව ගොස් නැත. ඒ එම නොසන්සුන් තත්ත්වයෙන් මිය ගිය රැඳවූවන් පහරදීම්වලින් එසේ මරණයට පත්ව ඇතැයි වගකිව යුත්තෝ සඳහන් කළද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එම ප්‍රකාශ මේ වන විට ශූන්‍ය වෙමින් ඇති බැවිනි. මෙම සටහන තබන විට එම මරණවලින් පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කර තිබුණේ සිරුරු හතරක් පමණි. එම මරණ හතරම සිදුව ඇත්තේ වෙඩි තැබීම්වලින් බව එහිදී තහවුරු වී හමාරය.
කට්ටියක් ලොහාන්ව නොමග යැව්වාද?
මේ ආකාරයෙන් හෝ එම රැඳවූවන්ගේ මරණයන්ට සාධාරණය ලැබී ඇත්තේ රැඳවූවන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්ට පිංසිදු වන්නටය. ඒ වගකිවයුත්තන් එම මරණ 11ම සිදුව ඇත්තේ පහරදීම් සහ කැපුම්වලින් බව සඳහන් කරමින් සිරුරු පුළුස්සා කොවිඞ් 19 වෛරසයේ පිහිටෙන් සියල්ල අවසන් කරන්නට දැරූ උත්සහය ව්‍යාර්ථ කරමින් අධිකරණයෙන් විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ඔවුන් වන බැවිනි. එසේ නොවන්නට මහර බන්ධනාගාරයේ රැඳවූවන්ගේ මරණයන් වෙඩි වැදීමකින් සිදුවූ මරණ බවට කිසිසේත් සනාථ වන්නේ නැත. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට පත් කළ ලොහාන් රත්වත්තේ ඇමතිවරයා පවා උත්තරීතර පාර්ලිමේන්තුවේදී පවා වගකීමකින් සඳහන් කරනු ලැබුවේද රැඳවූවන් 11 දෙනාගේ මරණ වෙඩි වැදීමකින් සිදුවී නැති බවකි. රැඳවූන්ගේ මරණ වෙඩි වැදීම්වලින් සිදුව තිබියදී වගකිවයුත්තන් මේ තරම් ලොකු ප්‍රෝඩාවක් කළේ මහර බන්ධනාගාර ගැටුම පිටිපස මෙතෙක් හෙළි නොවූ යම් අභිරහසක් පවතින බැවින් එය වසා ගැනීමටදැයි ඇත්තේද ගැටලුවකි. ඇතැම් විට ඇමති ලොහාන් රත්වත්තේද පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය කරන ලද්දේ ඔහුද ඒ සැලසුමට හසුවීමෙන් විය හැකිය. ඒ ඔහු එම සිරකරුවන්ගේ සිරුරු මෝචරියට ගොස් ඇසින් දැක නොමැති නිසාය. ඇමතිවරයා කරන්නේද ඔහුට යම් නිලධාරියෙක් හෝ තෙවැනි පාර්ශවයක් විසින් ඔහුට කියන දෙයක්ය. ඒ එය ඔහු විශ්වාස කරමිනි. එසේ ඇමතිවරයාව යම් අයෙක් නොමග යවා ඇති නම් ඒ ගැනත් ඉදිරියේදි ඇමතිවරයාගේම මුවින් දැන ගන්නට හැකිවනු ඇත. එසේම මේ ආකාරයට වෙඩි වැදී මිය ගිය රැඳවූවන්ගේ මරණ වෙඩි වැදීමකින් සිදු නොවූ බවට කථාන්තරය ගොඩ නැගූවන් ගැනද බොහෝ තොරතුරුද ඒත් එක්කම හෙළිදරව් වනු ඇත. ඒ ඇමතිවරයාව අන්දවමින් යමෙක් එම ප්‍රකාශය ඇමතිවරයාට කරන්නට ඉඩසලසා තිබුණි නම් පමණි.
මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11 දෙනෙක් මරණයට පත්වූයේ වෙඩි වැදීම්වලින් නොවන බවට වූ මේ කතාව ගොඩ නැගෙන්නේද ටී 56 අවිවලින් තැබූ වෙඩි පහරවල්වලින් බන්ධනාගාරය ඇතුළේ බිත්ති රැසක්ම සිදුරුවී තිබෙන වටාපිටාවකදීය. එම වෙඩි සලකුණුවලට අනුව අහසට වෙඩි තැබූ බවක් හෝ වෙඩිල්ලක් දෙකක් තබා රැදවූවන් බිය ගැන්වීමක් කර ඇති බවක් නම් පෙනෙන්නට නැත. පැහැදිලිව පෙනෙන්නට වූයේ වෙඩි උණ්ඩ සිය ගණනක් ටී 56 අවිවලින් තබා ඇති බවකි. බන්ධනාගාරය ඇතුළත බිත්තිවලට සිදුව ඇති හානිය දෙස බැලීමේදී ඒ එක් උණ්ඩයක්වත් රැඳවූවෙකුට වැදී නැතැයි පැවැසීමද විහිළුවකි. වෙඩි වැදීම්වලින් රැඳවූවන් මියගොස් නැතැයි සඳහන් කරන්නන් අද ජෝකරුවරුන් බවට පත්ව ඇත්තේ ඒ නිසාය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව බන්ධනාගාරයේ දේපොළවලට ගිනි තබමින් රැඳවූවන් කළහාකාරී ලෙස හැසිරී ඇත්තේ වෙඩි තැබීම්වලින් පසුවය. වෙඩි තැබීම්වලට පෙර බන්ධනාගාරය තුළ තිබී ඇත්තේ එහි කැරැල්ලක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ රැඳවූවන් සහ ඊට විරෝධය දැක්වූ රැඳවූවන් පිරිසක් අතර ගැටුමකි. බන්ධනාගාර බලධාරීන් විසින් මාධ්‍යයට නිකුත් කළ වීඩියෝ දර්ශනවල දකින්නට ඇති කඩු පොළු මුගුරු රැගෙන එකිනෙකා පහරදෙන්නේ ඒ මුල් අවස්ථාවේදීය. ඒ මොහොතේ වගකිව යුතු බන්ධනාගාර නිලධාරීන් එම රැදවූවන් ඇමතුවේ නම් පහසුවෙන්ම එම නොසන්සුන් තත්වය පාලනය කිරීමට හැකියාව තිබුණු බව මේ වන විට පැහැදිලිවම අනාවරණය වී හමාරය. එම නොසන්සුන් තත්වයේ ආරම්භය එසේ වීඩියෝගත කළ බන්ධනාගාර නිලධාරීන්ගේ කථාබහට අනුවද පැහැදිලි වන්නේ ඔවුන්ට පවා එම නොසන්සුන් තත්වය පාලනය කිරීමට කිසිදු උවමනාවක් නොතිබුණු බවය. ඒ අය කරන්නේ එය රසවිඳීමය. රැදවූවන් 11 දෙනෙක්ට මරණය අත්කර දෙන්නේත්, රැඳවූවන් 106 දෙනෙකු රෝහල් ගත කරන්නට තරම් තුවාල ගෙන දෙන්නේත් ඒ නිසාය. මේ පිටුපස ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීමේ යම් කුමන්ත්‍රණයක්දැයි ඒත් සමගම යම් සැකයක් ඇති වන්නේ පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිවසේ නිතර දැකිය හැකි රුවක්ද බන්ධනාගාරයේ වගකිව යුතු තනතුරක් දරමින් සැබෑව වෙනුවට බොරුව වපුරමින් සිටින බැවිනි. ඒ නිලධාරියා සම්බන්ධයෙන්ද යම් අවධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විටත් යොමු කර හමාරය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පවා ඔහු ලබාදෙන ඇතැම් ප්‍රකාශද එකිනෙකට පරස්පර බවද විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේය.
ගැටුම නිර්මාණය කරපු එකක්?
විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව මිය ගිය හෝ තුවාල ලැබූ රැඳවූවන් අතර මේ ගැටුම නිර්මාණය කළ කිසිදු රැඳවූවෙක් සොයා ගන්නට නැත. ඒ අයට අඩුම තරමින් සීරීම් තුවාලයක්වත් ඇති බවක් අනාවරණය වන්නේද නැත. බන්ධනාගාර නිලධාරීන් තැබූ කිසිදු වෙඩිල්ලක් ඒ අයට වැදී නොමැතිකමින් පැහැදිලි වන්නේ ඔවුන් ගැටුම නිර්මාණය කර පැත්තකට වී සිටි නිසාදැයි සාධාරණ සැකයක්ද විමර්ශකයන්ට මතුවී ඇත. ඒ අය එසේ හැසුරුණේ කාගේ හෝ ඉගැන්වීම් බහකටද, ඒ පිටුපස බන්ධනාගාර නිලධාරීන් හෝ වෙනත් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබද පැහැදිලි සාක්ෂියක් විමර්ශකයන්ට මෙතෙක් ලැබී නැත. එහෙත් සැකයට තුඩු දෙන කරුණු කිහිපයක් නම් මේ වන විටත් ලැබී හමාරය. ඒ නිසාම රැඳවියන්ට වෙඩි වැදුණු ගිනි අවි හඳුනා ගැනීමට එදා බන්ධනාගාර නිලධාරීන් භාවිතා කළ සියලු ගිනි අවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට අද හෙටම පත්වනු ඇත. අනතුරුව සිදුවන්නේ අධිකරණය හරහා ඒ සියලු ගිනි අවි හදුනා ගැනීමේ කටයුත්තකට රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමකි. රැඳවූවන්ට වෙඩි තැබූ’ගිනි අවි සහ වෙඩි තැබූවන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ එහිදීය.
සුරාබදු එක ඇල්ලූ කුඩු තොගයේ තෝරු මෝරු
සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් කළ ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම දීර්ඝ කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව සිදුවන්නේ ඉකුත් 06 වෙනිදාය. ඒ මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී හොරොයින් කිලෝ 100ක් සහ අයිස් නැමැති මත්කුඩු කිලෝ 100ක් අල්ලා ගනිමිනි. නාවික හමුදා බුද්ධි අංශයේද සහය ඇතිව මෙම වැටලීමෙන් අන්දමන්ද වී සිටින ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් මේ වන විට සුරාබදු නිලධාරීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට එල්ලකළා වූ චෝදනාවට නොදැවෙනි චෝදනාවක් එල්ල කරමිනි. ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ එම සැලසුමට අනුව මේ වන විටත් සුරාබදු නිලධාරීන්ට ඔවුන් අල්ලාගත් හෙරොයින් සහ අයිස් තොගයෙන් කිලෝ 110ක් පිට පාරෙන් පැන්නූ බවට චෝදනාවක් එල්ලවී හමාරය. එකී චෝදනාව එල්ලවන්නේ පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව බව සඳහන් කරමින් පෑලියගොඩ පිහිටි විශේෂ පොලිස් අංශයකින් අල්ලාගන්නා දේවගැතිවරයෙක් සහ අඹු සැමි යුවලකගෙන් කරන ප්‍රශ්න කිරීමකදීය. පොලීසිය පැත්තෙන් කර ඇති ප්‍රකාශයන්ට අනුව සුරාබදු නිලධාරීන් විසින් අල්ලාගත් හෙරොයින් තොගය භාර ගැනීමට නියමිතව සිට ඇත්තේ එම දේවගැතිවරයාය. සුරාබදු නිලධාරීන් කර ඇත්තේ මුහුදෙන් රැගෙන පැමිණි එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනයට සූදානමින් හෝටලයක ලැගුම් ගෙන සිටි තරුණයින් සිව් දෙනෙක් පමණක් අල්ලාගෙන මෙම ජාවාරමේ තෝරු මෝරුන් සැඟවීමය. පොලීසියේ නිල ප්‍රකාශය නොවූණත් පොලීසිය පැත්තෙන් විවිධ පාර්ශවවලින් කියැවෙන ආකාරයට අනුව පෑලියගොඩ පොලිස් ඒකකය විසින් අල්ලාගෙන ඇති දේවගැතිවරයා සුරාබදු නිලධාරීන්ට මග හැරුණු මෝරෙකි. ඒ මෝරාව ඔවුන් අල්ලාගන්නේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට සූදානම් වෙමින් සිටියදීය. දේවගැතිවරයා මුහුදු මාර්ගයෙන් පළායන්නට සූදානමින් සිටින බවට වූ ඔත්තුව පොලීසියට ලැබෙන්නේ ඩුබායි රටේ සිටින යම් පුද්ගලයෙකුගෙන්ද, ඔහුට ඉන්දියාවට පළා යාමට පහසුකම් සැපයීමට මැදිහත් වූ පුද්ගලයාද ආදී කිසිවක් එකී පොලිස් කණ්ඩායම පැත්තෙන් සෙසු තොරතුරු ලබාදුන් ආකාරයට මාධ්‍යයට ලබාදෙන්නේ නැත.
කව්ද මේ මදුරු වික්ටර්
දේවගැතිවරයාගේ ප්‍රකාශ මත ඔවුන් පන්නන්නේ මුහුදු මාර්ග ඔස්සේ එම මත්කුඩු තොගය ඉරණවිල මුහුදු තීරයට ගොඩබා එතැන් සිට තොඩුවාවට රැගෙන පැමිණි බෝට්ටුකරු සොයාය. එම බෝට්ටුකරු මදුරු වික්ටර්ය. ඔහුට ඒ නම ලැබී ඇත්තේ මදුරුවා යැයි සඳහන් යතුරු පැදි විශේෂය මෙරටට හදුන්වා දුන් මුල් කාලයේ එම යතුරු පැදි භාවිතා කළ මුල් ගැණුම්කරුවන් අතර ඔහු සිටියෙක් වන බැවිනි. ඉරණවිල පැත්තේ මදුරුවා යතුරු පැදියෙන් නිතර දෙවේලේ ගමන් කරමින් සිටි වික්ටර් මදුරු වික්ටර් වූයේ ඒ නිසාමය.
මදුරු වික්ටර් බෝට්ටු පදවන්නෙකි. මුහුදේ කරන හොර ජාවාරම් සමග බැදුණු නාමයක් වන මදුරු වික්ටර්ට පොලීසියේත් සුරාබදු දෙපාර්තමේන්තුවෙත් මිතුරන් ගොන්නකි. එසේම වික්ටර්ට දේශපාලන මිතුරන්ද නැතුවාම නොවේ. වික්ටර්ගේ සහෝදරයාද ඔහුට දෙවැනි නැත. වසර ගණනාවක සිට එම සහෝදරයා සිටින්නේ අතුරුදන්වය. ඔහුට සිදුවූයේ කුමක්දැයි අදටත් අභිරහසකි.
මෙහෙයුම ඩුබායි රටෙන්
සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණු අයිස් සහ හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පකිස්තානුවන්ගෙන් භාර ගන්නේ වික්ටර් විසින් පදවන ලද ධීවර යාත්‍රාවෙනි. එම යාත්‍රාවේ ඒ වන විටත් අමුත්තන් කිහිප දෙනෙක්ද සිට ඇති බව සඳහන්ය. එම අමුත්තන් කවුරුන්දැයි මෙම අවස්ථාවේදී මෙම තීරුවේ සටහන් කළ නොහැකිය. එය ඉදිරි විමර්ශන කටයුතුවලට මෙන්ම ඒ තුළින් මෙම මත්කුඩු තොගය අල්ලා ගැනීමට සුරාබදු නිලධාරීන්ට ඔත්තුව දුන් පුද්ගලයා ගැන අනාවරණය වනු ඇත. ඩුබායි සිට මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවන ලද ජූඞ්ටත්, බත්තරමුල්ලේ සංජුටත් අවශ්‍ය වී ඇත්තේත් ඔත්තුකරුව අනාවරණය කර ගැනීමය. ඔවුන් ඩුබායි සිට ගේමක් ගසන්නේ ඒ නිසාමය.
පෑලියගොඩ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අල්ලාගත් දේවගැතිවරයා පවසන බවට පොලීසිය උපුටා දක්වමින් පළවූ මාධ්‍ය වාර්තාවන්ට අනුව මත්කුඩු තොගය වැටලීමට සුරාබදු නිලධාරීන්ද මුහුදු ගොස් ඇත. එසේ එම නිලධාරීන් යන්නේ වික්ටර්ගේ බෝට්ටුවේද නැති නම් වෙනත් බෝට්ටුවකින්දැයි පැහැදිලි නැත. එහෙත් පොලිස් තොරතුරු උපුටා දක්වමින් ලියැවුණු මාධ්‍ය වාර්තාවලට අනුව සුරාබදු නිලධාරීන් එසේ මුහුදු යන්නේ ලීකුඩු සහ වීදුරු කැබලි කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙනය. ඒත් ඒක්කම එම පොලිස් ඒකකය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ මත්කුඩු කිලෝ 110ක් මහා මුහුද මැදදීම පන්නා ඒ වෙනුවට ලීකුඩු සහ වීදුරු කැබලි එක්කොට අලුතින් මත්කුඩු පාර්සල් සකස්කළ බවය.
පොලිසිය ගේමක් ගැහුවාද?
මේ කථාව කොපමණ ප්‍රමාණයකින් අපේ රටේ ජනතාව විශ්වාස කළ යුතුදැයි ඇත්තේ ගැටලුවකි. එනම් මත්කුඩු තොග පාර්සල් කර තිබෙන්නේ මුහුදු ජලය ඊට ඇතුළුවීමට නොහැකිවන ආකාරයට පොලිතින්වල මුද්‍රා තබාය. මුහුද මැද ධීවර යාත්‍රාවක එවැනි මුද්‍රා පහසුකම් මෙන්ම පකිස්තානයෙන් එම මත්කුඩු ඇසුරුම්කර ඇති ආකාරයට ඇසුරුම් කිරීම මුහුද මැද ධීවර බෝට්ටුවක් තුළ කිරීමට හැකියාව තිබේද? මේවා සම්බන්ධයෙන් එම මාධ්‍ය වාර්තා සකස් කළ කිසිවෙකුත් පොලීසියෙන් ප්‍රශ්න කර තිබුණේ නැත. දෙවැන්න වන්නේ මත්කුඩුවලට ලීකුඩු සහ වීදුරු කලවම් කළ බව ඇසෙන්නේ පළමු වරටය. මත්කුඩු පාන් පිටි වූ අවස්ථා කොතෙකුත් ඇතත් ලීකුඩු බවට පත්වීම නම් ආගන්තුකය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අයිස් නැමැති මත්ද්‍රව්‍යවලට කවලම් කළේ යැයි සඳහන් වූයේ අජිනමොටෝය. අදටත් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාව එළියට ඇවිත් නැත. රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මත්කුඩු ජාවාරමේ නිරතවූ බවට වූ වැදගත් සාක්ෂියක් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව මාස ගණනාවක් තිස්සේ ප්‍රමාදවීම ගැන මුලදී ඒ ගැන හඬ නැගූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද නිහඬය. ලී කුඩු වෙනුවට අඩුම තරමින් සුරාබදු නිලධාරීන් අජිනමොටෝවත් කවලම් කළේ යැයි දේවගැතිවරයා සදහන් කළ බව හෝ විමර්ශනවලින් හෙළිවූ බව පෑලියගොඩ පොලිස් කණ්ඩායම කීවේ නම් එයද විශ්වාස කළ හැකිය. සුරාබදු නිලධාරීන් යන මත්කුඩුවල ඇති සාන්ද්‍රණයන් ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති අයද නොවේ. එසේ තිබියදී ඔවුන් මත්කුඩු තොගය වෙනස් කිරීමකට ලීකුඩු සහ වීදුරු කැබලි කවලම් කළේ යැයි සඳහන් වීම කොතරම් දුරකට විශ්වාස කළ හැකිදැයි පොලිස් දෙපාර්තමේන්තුවේම දැන් ඇත්තේ කථාබහකට ලක්වය.
මේ නිසාම මෙම වැටලීම හා බැදුණු විශේෂ බුද්ධි අංශයක ප්‍රධානියෙක් ඉහළ පොලිස් බලධාරියෙකුට දැනුම් දී ඇතැයි පැවසෙන්නේ රස පරීක්ෂක වාර්තාව එළියට එන තුරු සුරාබදු නිලධාරීන්ට හෝ මෙම මත්කුඩු වැටලීමට සහය දුන් සහ තොරතුරු ලබාදුන් පුද්ගලයින්ට අත නොතබන ලෙසටය. ඒ පසුගිය දින කිහිපයේම ඉතා උනන්දුවෙන් පෑලියගොඩ පොලිස් ඒකකයේ නිලධාරීන් වික්ටර් ඇතුළු කිහිප දෙනෙක් සොයා ඉරණවිල සහ තොඩුවාව පැත්ත පීරන්නට වූ නිසාය. සුරාබදු නිලධාරීන්ගේ මෙම මත්ද්‍රව්‍ය වැටලීම පිටුපස දුරකතන ජාල විමර්ශනයන් ඇතුළු බුද්ධිමය විමර්ශනයට අදාළ බුද්ධි අංශය සිටි බව පවා එකී පොලිස් ප්‍රධානියා පවා දැන ගන්නේ එවිටය. ඒ අනුව මුහුද මැදදී මත්කුඩු තොගය වෙනස් කෙරුණු කථාව රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු තවදුරටත් සමාජ ගත කරන්නට හැකියාවක් නොලැබෙනු ඇත.
ඒ අතර අදාළ බුද්ධි අංශය විසින් මේ වන විට ඉතා වැදගත් තොරතුරු ගොන්නක්ම සොයාගෙන ඇත්තේ පෑලියගොඩ පැත්තේ පොලිස් නිලධාරියෙක් සහ ඩුබායි හී සිට මෙම මත්කුඩු තොගය මෙරටට ගොඩබෑමේ මෙහෙයුමේ නිරතව සිටි ජූඞ් අතර පවතින සම්බන්ධයක්ද සමගිනි. එසේම එකී නිලධාරියා සමග කලක් එකට රාජකාරියේ නිරතවූ මේ වන විට පොලිස් ස්ථානයක ලොකු පුටුව හොබවන නිලධාරියෙක් සහ මෙම මත්කුඩු තොගයට සම්බන්ධ ඩුබායි සිටින සංජු නැමැති ජාවාරම්කරු අතර ඇති සම්බන්ධයක්ද එකී බුද්ධි අංශය වෙත ලැබී අවසන්ය. ජූඞ් සහ සංජු ගැන ඉකුත් සතියේ මෙම තීරයෙන් අනාවරණය කළ අතර එහි සඳහන්වූ ගොනා කෝවිලේ රාජා නැමැත්තා කොටුකර ගැනීමට ඩුබායි සිට පොලිසියට සහය දී ඇතැයි කියැවෙන්නේද ජූඞ් සහ සංජුය. පොලීසියේ නිල ප්‍රකාශයන්ට අනුව ගොනා කෝවිලේ රාජා මිනුවන්ගොඩ පැත්තේ පොල්වත්තක් මැද පිහිටි පාළු නිවසකදී පොලීසිය සමග ගැටී මිය ගියේය. එසේම ගොනා කෝවිලේ රොහා නැමැති ප්‍රබල පාතාලයේ අපරාධකරු පොලීසියට කොටුකර දීමටද ඩුබායි සිටින මේ ජාවාරම්කරුවන්ගේ යම් සම්බන්ධයක් ඇති බවට සැකකළ හැකි තොරතුරු රාශියක්ද අදාළ බුද්ධි අංශය සතුය. සුරාබදු නිලධාරීන් විසින් වැටලූ මත්ද්‍රව්‍ය ජාවාරමට එකී බුද්ධි අංශය මැදිහත් වන්නේ ඩුබායි හී රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ගේත් පොලීසියේ ඇති එම සම්බන්ධකම් ගැන හොඳහැටි දැනගෙනමය. සුරාබදු නිලධාරීන්ට විවිධාකාර චෝදනා එල්ලවෙමින් ඇතත් ඒ අය නිදහසේ තවමත් හුස්ම ගනිමින් සිටින්නේ ඒ නිසාය. එසේ නොවන්නට මේ වන විටත් සුරාබදු නිලධාරීන් කිහිප දෙනෙක් සිටින්නේ පොලිස් කූඩුවේය.
නෙදර්ලන්ත සුදු හිමිගේ අභිරහස
රත්ගම කලපුවේ අභිරහස් ලෙස දියේ ගිලීමකින් අපවත්ව සිටි සුදු හාමුදුරුවෝ නමින් රත්ගම පැත්තේ ජනතාව අතර ප්‍රසිද්ධිව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. දෝලනය වෙමින් ඇත්තේ එම මරණය සියදිවි හානිකර ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න ගැනය. බැලූබැල්මට මෙම මරණය ගැන මූලික විමර්ශන පවත්වන ලද රත්ගම පොලීසියේ නිලධාරීන්ට නම් පෙනෙන්නට තිබුණේ එහි ඇති ගුප්ත බවකි. ඒ උන්වහන්සේගේ දෙපා ගැට ගසා එම ලණුවට ගලක් එල්ලා තිබීමෙනි. දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව තිබූ සුදු හාමුදුරුවන්ගේ දේහය හමුවන විටත් එය තිබෙන්නේ නරක් වෙමිනි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවන්නේ ගාල්ල කරාපිටිය රෝහලේදීය. එහිදී මරණය සම්බන්දයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරිය ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙන විට එම නෙදර්ලන්ත භික්ෂුව භාවනායෝගීව වැඩ වාසය කළ රත්ගම කලපුවේ ඇති මනරම් දූපතක පිහිටි පොල්දූව ආරණ්‍ය සේනාසනය පරිපාලන වන වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් කොළඹ සිට නිවේදනයක් නිකුත් කරනුයේ එම මරණය සිය දිවි හානිකර ගැනීමක් බැවින් රජය අපහසුතාවට පත්වන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ නොකරන ලෙසය. රටම පිළිගන්නා නායක හිමිපාණන් වහන්සේ නමක් වන බම්බලපිටියේ වජිරාරාම විහාරාධිපති තිරුකුණාමලයේ ආනන්ද හිමියන් අමරපුර සංඝ සභාවේද නායක හිමිපාණන් වහන්සේ නමකි. සුදු හාමුදරුවන්ගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් බව උන්වහන්සේ සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි සඳහන් වන ආකාරයට අනුව උන්වහන්සේ එම කරුණ සනාථ කිරීමට ඉදිරිපත් කරන සාක්ෂිය වන්නේ සුදු හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරියයි. ඒ වන විට ඇය අධිකරණයටවත් එම මරණය සියදිවි හානිකර ගැනීමක් බව සඳහන් නොකර ඇති තත්වයක් හමුවේ තිරුකුණාමලයේ ආනන්ද හිමියන් විසින් මරණය සියදිවි හානිකර ගැනීමක් බව පැවැසීම උන්වහන්සේ එතෙක් කලක් ගොඩනගාගත් නාමයටද යම් කැළලක් එක්වීමක් විය. ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා එම මරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබීම නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මුළුමනින්ම ඔවුන් යටතට පත්කරගෙන නැතත් මෙම මරණයේ අභිරහස විසදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක් රත්ගම පොලිස් නිලධාරීන්ට උපදෙස් දීමට දැනටමත් පත්කර හමාරය. රත්ගම පැත්තේ ගහක් කොළක් ගානේ හොඳින් දන්නා ඔහු මෙරිල් රංජන් ළමාහේවාය. ඔහු රත්ගම වැසියෙකි. මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා විසින් මෙරිල් රංජන්ටම භාරදෙන්නේත් ඒ නිසාමය. මෙරිල් රංජන් පහුගිය දින කිහිපයේම රැඳී සිටියේද රත්ගමය. ඔහුද තවමත් එම මරණය සියදිවි හානිකර ගත්තක් බව කියන්නට සූදානම් නැත. මරණය සිදුවී ඇති ආකාරය ගැන ඔහුටද සැක සංකා ඇති බැවිනි.
සැක මුසු තැන් රැසක්
අධිකරණ වෛද්‍ය නිලධාරිනිය මෙතෙක් නිල වශයෙන් මරණය සම්බන්ධයෙන් ඇගේ මතය ඉදිරිපත් කර නැතත් ඇය විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේද තිරුකුණාමලයේ ආනන්ද නායක හිමියන් පවසන දේමය. ඇය එම මතයට එළඹ ඇත්තේ පාදයේ පමණක් ගලක් ගැටගසා තිබීමත් දෙවැනි පාර්ශවයක් මෙම මරණයට සම්බන්ධ වූයේ නම් පොර බැදීම් පහරදීමෙන් ඇතිවන තැලීම් ලක්ෂණ උන්වහන්සේගේ මළ සිරුර පරීක්ෂාවේදී දක්නට නොමැති වූ බැවිනි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ මරණය දියේ ගිලීමකින් සිදුවී ඇති බවය. ඒ පෙනහැල්ලේ ජලය පිරී තිබී ඇති බැවිනි. එසේම ජලයට අමතරව සියුම් වැලිද පෙන හැල්ලේ තිබී හමුවී ඇත. එම වැලි සහ ජලය කලපු ජලය හා කලපුවේ වැලිය. ඒ බව පරීක්ෂා කිරීමට විද්‍යාත්මක විමර්ශනයක්ද සිදුවී ඇත්තේය. සියදිවි හානිකර ගැනීම සමාජගතකරන්නන්ගේ මතය ඉදිරිපත් වන්නේ උන් වහන්සේ පිහිනීමට දක්ෂයෙක් වන බැවින් පාද දෙක ගැටගසා ඊට ගලක්ද ගැටගසාගෙන දියේ ගිලී මැරෙන්නටම සියදිවි හානිකරගෙන ඇති බවය. ඒ අතර උන් වහන්සේ යම් මානසික ආතතියකට ඹෟෂධ ලබාගත් බව මෙන්ම මානසික ගැටලුවකින් පෙළුනු බවට වූ මතයක්ද ඉදිරිපත් වෙමින් ඇත. මේ නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයාගේ මැදිහත් වීමෙන් මනෝ වෛද්‍යවරයෙක් පවා උන්වහන්සේ වැඩ විසූ සහ භාවනානුයෝගිව සිටි කුටියට යොමුකර මානසික අවුලකින් උන්වහන්සේ පෙළී තිබේදැයි කුටිය පරීක්ෂා කිරීමකින් වාර්තාවක්ද කැඳවා තිබීම විශේෂිතය. ඒ අතර මෙම මරණය හා බැඳුණු සැකකටයුතු තොරතුරු ඔස්සේ පොලිස් නිල සුනඛයින් යොදා දූපත තුළත් ඒ අවට ප්‍රදේශයත් පුළුල් සෝදිසියකටද රත්ගම පොලීසිය ලක්කර තිබුණේ සියදිවි හානිකර ගැනීමේ කථාවට එහා ගිය යම් අභිරහසක් එම මරණය පිටුපස ඇතැයි වූ සැකය තීව්‍රකරමිනි. සුදු හාමුදුරුවන්ට සිය දිවි හානිකර ගැනීමට උවමනාවක් තිබුණේ නම් භාවනායෝගීව වැඩ විසූ ආරණ්‍ය සේනාසනයේ ඇති තරම් එල්ලෙන්නට ගස්වැල් තිබියදීත්, පිණ්ඩපාතයේ වඩින විට ඔසු හලකට ගොස් වසක් විසක් ලබා ගෙන පහසුවෙන් සියදිවි හානිකර ගැනීමට තිබියදීත් මේ ආකාරයෙන් ගලක් බැඳගෙන කලපුවට පැනීමම සැකඋපදවන්නක් බව මනෝ වෛද්‍ය විශේෂඥයාටද පෙනීගිය කරුණකි. එසේම උන් වහන්සේගේ මරණය සිදුවීමට පෙර පැවැති හැසිරීම් ගැන පවා පොලීසිය යම් විමර්ශනයක් සිදුකරන්නට අමතක කර නැත. එහිදී පවා පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ උන්වහන්සේගේ දෛනික ක්‍රියාවලියේ කිසිදු වෙනසක් අවසානය දක්වාම සිදුව නැති බවය. වචනයෙන් නැතත් හැසිරීමකින්වත් වෙනසක් දක්නට තිබී නැත. ඒ අනුව උන්වහන්සේගේ මරණය සිරුරේ පොරබැදීම් හෝ පහරදීම් වැනි සලකුණු නොමැතිකම නිසාම සියදිවි හානිකර ගැනීමක් යැයි කියන්නට තරම් තවමත් කල්වැඩිය. ඒ සියදිවි හානිකරගත් බවට අවසාන වාර්තා පවා ලියැවුණු ඇතැම් මරණ පසු කාලයේදී මිනිස් ඝාතන බව හෙළිවී ඇති බැවිනි.
එවැනි අපරාධ වාර්තා පොලීසියේ ඕනෑ තරම් ඇත්තේය. දුම්රියට පැන සියදිවි හානිකර ගත්තේ යැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් පවා සනාථ වූ මරණ හය හතක්ම ඒ අතරය. එසේම විදුලි සැර වැදී මිය ගියේ යැයි සඳහන් වූ මරණ ඝාතන බවට වසර ගණනාවකට පසුව පවා හෙළිවූ අවස්ථා බොහෝය. එසේම ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගැනීම් මෙන්ම ගංගා සහ මුහුදට පැන සියදිවි හානිකර ගැනීම්ද ඝාතන බවට පත්වූ අවස්ථාවලට උදාහරණ ඇති තරම් අපේ රටේ ඇත්තේය.
පරණ සිදුවීම්වල තවත් එකක්ද?
ගංගොඩවිල සෝම හිමියන්ගේත්, අබා කොස්තා පියතුමන්ගේ මරණ සම්බන්ධයෙන්ද අදටත් ඇත්තේ නොවිසඳුණු සැකයන්ය. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීම ගැන සමාජ කථිකාවත ගොඩ නැගුණේ ඝාතනයක් බවටය. හෘද රෝගයෙන් උන් වහන්සේ අපවත්වූ බව එම මරණය ගැන තවත් පාර්ශවයක් සදහන් කළේය. උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් මෙරටදී ඒ නිසාම පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසිනි. එහෙත් එම අපවත්වීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් අදටත් ජනතාවට ඉදිරිපත් වී නැත.
එසේම පුංචි රෝමය ලෙස සැලකෙන මීගමුවේදී ඝාතනය වූ මත්රකුසාට එරෙහිව සටන් කළ අබා කොස්තා පියතුමාගේ ඝාතන විමර්ශනයද එසේමය. එම ඝාතනය සිදුවූයේ පියතුමා රැඳී සිටි ලැගුම් ගෙය තුළදී පිහියකින් ඇනය. පියතුමාගේ ඝාතනයෙන් කිතුනුවන් කැළඹිමකට ලක්වනවාත් සමග මීගමුව පොලීසියේ නිලධාරීන් ඝාතනයෙන් පැය 24 ක් යන්නට මත්තෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තේය. ලේතැවුරුණු ඇඳුම්ද මීගමුව කලපුවට යාබද කැළෑබද ප්‍රදේශයකින් සොයා ගත්තේය. මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක් වූ පොලීසිය සදහන් කළ එම ඝාතකයා මාධ්‍ය හමුවේ තමන් අබා කොස්තා පියතුමන්ව ඝාතනය කළ බවට පාපොච්චාරණයක්ද කළේය. සොරකමේ පැමිණි තමාව පියතුමන්ට හසුවීම නිසා පියතුමන්ගේ ග්‍රහණයෙන් බේරී පළායාමට එල්ලකළ පිහිපහරකින් මරණය සිදුවූ බව ඔහු කීවේය. ඝාතනය කිරීමේ අරමුණක් නොවූ බවත් ඔහු කීවේය. අබා කොස්තා පියතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලිය සිදුවන විට එම මරණය තමා විසින් කළ බවට කී මත්කුඩු ලෝලියා අධිකරණය හමුවේ පවසන්නට වූයේ තමා එම ඝාතනය නොකළ බවය. නිවසේ සිටි තමාව පොලීසිය අල්ලාගෙන ඇවිත් අබා කොස්තා පියතුමන් ඝාතනය කළ බව පිළිගන්නා ලෙසට තර්ජනය කරමින් පහරදුන් බවත් පොලීසියේ කීමට තමන් එසේ සඳහන් කළ බවත් එම මත්කුඩු ලෝලියා කීවේය. අවසානයේදී ඔහු හැඳි බව කී ලේ තැවුරුණු ඇදුම්වල තැවරී තිබුණු ලේ වර්ගයද අබා කොස්තා පියතුමාගේ රුධිරය හා සැසඳී තිබුණේ නැත. ඒ තත්වය මත එකී මත්කුඩු ලෝලියාට හිමිවන්නේ නිදහසය. ඊට වසර කිහිපයකට පසු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අබා කොස්තා පියතුමන්ගේ විමර්ශන භාරගෙන ඔවුන්ද සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තේය. අබා කොස්තා පියතුමන්ගේ ඝාතනය කළේ යැයි කී එම සැකකරුවාද නිදහස උරුමකර ගත්තේය. අවසානයේදී මුල් විමර්ශනය පවත්වන ලද මීගමුව පොලීසයේ එවකට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියා සැකයටද ලක්විය. ඒ ඔහු එම ඝාතනය කළා යැයි කියා නොව ඔහු යමෙක් ආරක්ෂා කිරීමට උත්සහ දරන බවටය. අවසානයේදී ඒ සියල්ල සඟවාගෙන එම නිලධාරියා තමාගේ රාජකාරි ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගන්නේ හෝටල් කාමරයත් තුළදීය. ඒ දැඩි මානසික වියවුල් තත්වයකට පත්ව තිබීම නිසාය.
මේ අපේ රටේ ආන්දෝලනාත්මකව සිදුවුණු ආගමික නායකයින් දෙදෙනකුගේ මරණ සිදුවූ ආකාරයන් සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවූ අයුරුය. ඒ අනුව රත්ගම කලපුවෙන් හමුවූ සුදු හාමුදුරුවන්ගේ මරණය සම්බන්ධයෙන්ද අවසාන තීන්දුව ඉහත ආකාරයෙන්ම සිදුවේවි යැයිම සඳහන් කරන්නට බැරිය. ඒ එදාට වඩා අද පොලීසියේ විමර්ශන තාක්ෂණය දියුණු මට්ටමක පවතින බැවිනි. එය එසේ වූවත් සුදු හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්ද අවසාන තීන්දුව කාලය විසින්ම විසඳනු ඇත. එතෙක් කොයි කාටත් සිදුවන්නේ ඒ මොහොත එළඹෙන තුරු බලා සිටීමය.
උසාවි ගින්නේ තොරතුරු
උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නද ගෙවී ගිය සතියේ රටේ ජනතාවගේ අවධානයට වඩාත් ලක්වූවකි. උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලෙහි බිම් මහලේ හටගත් එම ගින්නෙහි දුම් වලාව මුළු ගොඩනැගිලි සංකීර්ණයම වැසී ගොස් තිබුණේ උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලම ගින්නෙන් විනාශ වනු ඇති බවට පෙර නිමිති පාමිනි. එහෙත් කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ අංශය එය එසේ වන්නට ඉඩ තැබුවේ නැත. සිය ජීවිතය දෙවැනි කොට සලකා උපරිමාධිකරණය රැක ගත්තේ ගින්න බිමි මහලට පමණක් සීමා කරමිනි. එම ගිනි ගැනීම සම්බන්ධයෙන් නිකුත් වූ නිල නිවේදනයන්ට අනුව සිදුවූ හානිය අවමය. බිම් මහලේ තිබී ඇත්තේ අබලි ද්‍රව්‍ය ගොඩ ගසාය. ගිනි ගැනීමට ලක්ව ඇත්තේ එම අබලි ද්‍රව්‍යයන්ය. ඒ අතර කිසිදු නඩු ගොනුවක් හෝ වෙනත් වටිනා කියන කිසිවක් තිබී නැත. පවිත්‍රතා අංශයේ සේවකයින් ආරක්ෂක අංශය හැරුණු කොට එම බිම් මහලට වෙන කිසිවෙකුත් ඇතුළු නොවන ගානය.
මෙසේ ගිනි ගැනීමට ලක්වුණු උපරිමාධිකරණ සංකීර්ණය අපේ රටේ නීතියේ දෙවඟන සිටින ස්ථානය බදුය. ඒ නිසාම මෙම ගින්නට හේතු සෙවීමේ වගකීම පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ මෙම ගිනි ගැනීම ගිනි තැබීමක්ද නැතිනම් විදුලි කාන්දුවකින් සිදුවූවක්ද එසේත් නැතිනම් යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ නොසැලකිළිමත්කම නිසා සිදුවූවක්දැයි සැකහැර දැන ගන්නටය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී වික්‍රමසේකරව එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා විසින් පත්කරන්නේ ඔහු යටතට විශේෂ පොලිස් කණ්ඩායමක්ම අනුයුක්ත කරමිනි. එම පොලිස් කණ්ඩායම මේ වන විටත් සිය මූලික විමර්ශන පවත්වා අවසන් කර ඇති අතර ඉදිරි විමර්ශන සදහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ එම ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි ගැනීම් සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂඥයාගේ සාක්ෂිය පමණි. මෙම ගිනි ගැනීම සිදුවූ’ආකාරය ගැන මෙන්ම ගිනි ගැනීමක්ද ගිනි තැබීමක්ද යන්න පිළිබද පැහැදිලි චිත්‍රයක් ගොඩ නැගෙන්නේ එවිටය.
අපේ රටේ අධිකරණ ගිනි ගැනීම්වලට ලක්වුණු පළමු අවස්ථාව වන්නේ මෙය නොව. මතුගම, අවිස්සාවේල්ල, වත්තල, කැකිරාව, රත්නපුර , ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි මහේස්ත්‍රාත් සහ මහාධිකරණ කිහිපයක්ම මෑත ඉතිහාසයේ ගිනි ගැනීම්වලට ලක්ව ඇත. එසේ ගිනි ගැනීම්වලට ලක්ව ඇත්තේද අධිකරණයේ ඇති නඩු භාණ්ඩ ගබඩා සහ ලේඛනාගාරයන්ය. ඒ ගිනි ගැනීම්වලින් බොහොමයක්ම ගිනි තැබීම්ය. විදුලි කාන්දුවීම් හෝ නඩු භාණ්ඩ ගබඩාවේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා මගින් සිදුවූ ගිනි ගැනීම් එකක් දෙකක් හැරුණු කොට ඒ ගිනි තැබීම් පිටුපස සිටියේද එකී අධිකරණවල නඩු කටයුතුවලට සම්බන්ධ අපරාධකරුවන්ය. නිදහස සොයා අධිකරණ ගිනි තබා තමන්ට එරෙහිව ඇති සාක්ෂි සහ ලේඛන විනාශ කිරීමට බොළඳ උත්සහයන්වල නිරතවූ එකී අපරාධකරුවන්ගෙන් වැඩි දෙනෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය සමත්කම් දක්වා ඇතත් වසර ගණනාවක් තිස්සේ අල්ලන්නට බැරිවුණු අධිකරණ ගිනි තැබූ අපරාධකරුවන්ද නැත්තේම නොවේ.
රුවන් වෙඩිවර්ධන