ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ළං ළංවත්ම ප්‍රධාන පක්ෂ තුන ඇතුළේ ඇති අර්බුදද මේ වන විට ක්‍රම ක්‍රමයෙන් එළියට ඒමට පටන්ගෙන තිබේ. මුලින්ම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් බැලුවහොත් එක්සත් ජාතික පක්ෂය තවමත් සිටිනුයේ පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණයක් ගත නොහැකි තත්ත්වයකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිටින්නේ මැතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද, එසේත් නැත්නම් පොහොට්ටුව හෝ එජාපය සමඟ සන්ධානගත වනවාද යන්න සිතාගත නොහැකිව වැට උඩය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවද සිය අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළද මැතිවරණ ප්‍රචාරක කටයුතු සමබන්ධයෙන් ඔවුන්ද සිටින්නේ මේ වන විට විශාල අර්බුදයකට මැදිවය.
කෙසේ වෙතත් පසුගිය සතිඅන්තය වන විට සියලුම සතිඅන්ත සිංහල පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය අතර “සටන් විරාමයක්” ඇතිවී තිබෙන බවය. එම සටන් විරාමයට අනුව සජිත් පාර්ශ්වය රට වටා පවත්වන රැලි නතර කිරීමටත්, තැන් තැන්වල රෑට රෑට මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වල පවත්වන රහස් සාකච්ඡා අත්හිටුවීමට තීන්දු කර ඇති බවත්ය. මෙම පුවත පලවීමත් සමඟ සියලුදෙනාම බලාපොරොත්තු වූයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාපය ඇතුළේ පැවැති අර්බුදය සමතයකට පත්ව ඇතැයි කියාය. එය තවත් තහවරු වූයේ අදාළ පුවත ප්‍රතික්ෂේප කිරීමට එජාපය පාර්ශ්වයෙන් කිසිවකුත් ඉදිරිපත් නොවීම මුල්කරගෙනය. නමුත් එහි පිටුපස කතාව මීට වඩා තරමක් වෙනස් එකක්ය.
ඇඹිලිපිටි රැස්වීම නවතා සජිත් කොළඹ දුවන් එයි
එනම් මෙම සිරස්තලවලට පාදක වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සිදුවූ හදිසි හමුවකි. බ්‍රහස්පතින්දා (29දා) සජිත් ඇඹිලිපිටියේ රැස්වීමකට සහභාගිව සිටි අතර හදිසියේම අරලිගහ මන්දිරයෙන් ලැබුණු දුරකතන ඇමැතුමකින් කියැවුණේ ඔහු සමග සාකච්ඡා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවත්, ඒ අනුව වහාම අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසත්ය. එසේ ලැබුණු දැනුම්දීමට අනුව සජිත් ඇඹිලිපිටියේ රැස්වීම අතරමග නවතා වහාම කොළඹ ඒමට කටයුතු කළේය. දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ පැවැති මෙම සාකච්ඡාවේදී කෙළින්ම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට රනිල් කටයුතු කළේය. එහිදී රනිල් ඉල්ලීමක් කරමින් කියා සිටියේ දැනට සිදුවෙමින් පවතින කටයුතු නිසා පක්ෂය නියත වශයෙන්ම බෙදීමකට ලක්වන බවත්, එවැන්නක් සිදුවුවොත් ජනාධිපතිවරණයේදී ඉතාම අවාසිසහගත තත්ත්වයකට පක්ෂයට මුහුණදීමට සිදුවනු ඇති බවත්, ඒ නිසා පක්ෂයේ නිශ්චිත ක්‍රමවේදයකට අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරන තෙක් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්ය.ඊට සජිත්ගෙන්ද එකඟතාවය පළවූ අතර ඔහු කියා සිටියේ දැනට ගොඩනැඟෙමින් පවතින තත්ත්වය එක්වරම නවතාලිය නොහැකි නිසා නිශ්චිත කාලයකට දෙපාර්ශ්වය අතර මෙම ගැටුම් නවතාලීමට තමන් සූදානම් බවය. එමෙන්ම පක්ෂයේ ක්‍රමවේදයට අනුව යෑමට එහිදී සජිත් එකඟතාවය පළකිරීමද විශේෂ සිදුවීමක් විය.
පක්ෂෙ ජ්‍යෙෂ්ඨයන් වෙනමම රැස්වෙයි
මීට අමතරව සජිත් මෙම රැස්වීමේදී තවත් එක් කාරණයක් රනිල්ට දැනුම්දී සිටියේය. ඒ හර්ෂද සිල්වා මහතා විසින් සකස් කර ඇති මත විමසුම පිළිබඳවය. පක්ෂයේ අපේක්ෂකයා තේරීමේදී එම මත විමසුමද තීන්දුවේ කොටසක් ලෙස ගෙන සාකච්ඡා කරන ලෙසටද සජිත් එහිදී ඉල්ලා සිටියේය. ඒ අනුව රනිල් කියා සිටියේ අදාළ මත විමසුම පක්ෂ නායකයන්ට භාරදෙන ලෙසත්, ඉන් අනතුරුව ඒ සියලුදෙනාම සමග සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත හැකි බවත්ය. සිකුරාදා (30) දිනයේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීන්දු වූයේ ඒ අනුවය. නමුත් එහිදී සජිත් කියා සිටියේ තමන්ට ඊට සහභාගි විය නොහැකි බවත්, ඒ වෙනුවට තම පාර්ශ්වය නියෝජය කරමින් කබීර්, මලික්, මංගල ඊට සහභාගි වනු ඇති බවත්ය. සජිත්ගේ මේ පිළිතුර අනුව අදාළ රැස්වීමට සජිත් නොඑන බව කල්තියාම රනිල් දැනගෙන සිටියේය.
ඒ අනුව සිකුරාදා පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමට සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් මලික්, මංගල, කබීර්, රංජිත් මද්දුමබණ්ඩාර සහභාගිව සිටි අතර රවි, අකිල, චම්පික මෙන්ම සරත් ෆොන්සේකා සහ දයා ගමගේද ඊට සහභාගිව සිටීම විශේෂ සිදුවීමක් විය. එහිදී පක්ෂයේ සමගිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වාද විවාද සිදුවනු දැකගන්නට ලැබිණ. රනිල් මෙහිදී අවධාරණය කර කියා සිටියේ මෙතැන් සිට ඉදිරියට යෑමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම දෙපැත්තම ගැටලුවක් ඇති නොවන ආකාරයටක කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන් සජිත්ගේ පාර්ශ්වයෙන් පක්ෂය තුළ බෙදීම් ඇතිවන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය. වෙනදා මෙන් සැහැල්ලු ආකාරයෙන් නොව රනිල් මෙම සාකච්ඡාවේදී ඉතා දැඩි ස්ථාවරයක සිටිමින් එදින අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. එහිදී දෙපාර්ශ්වයෙන්ම ඊට විවිධ අදහස් එල්ලවීමට පටන්ගත් අතර එහිදීද රනිල් දැඩිව කියා සිටියේ කුරුණෑගල පැවැත්වීමට නියමිත රැස්වීම සහ විවිධ පුද්ගලයන්ගේ නිවෙස්වල පවත්වන සාකච්ඡා වහාම අත්හිටුවීමට කටයුතු කළ යුතු යැයි කියාය.
රැස්වීම් නවත්වන්න තීන්දුවක
ඒ ආකාරයට සජිත්ගේ පාර්ශ්වය පක්ෂය සමගි කොට තබාගැනීමට අවංක උත්සාහයක් ගන්නා බව ප්‍රදර්ශනය කළ යුතු බවද රනිල් මෙහිදී පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව තමන් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සූදානම් බවද රනිල් සඳහන් කර සිටියේය. එමෙන්ම සජිත් පමණක් නොව තවත් අපේක්ෂකයන් මෙතැන සිටින බව කියමින් රනිල් සරත් ෆොන්සේකාත්, දයා ගමගේත් පෙන්වද්දී රැස්ව සිටි සියල්ලන්ගේම මුහුණුවල සිනහ ලකුණක් පහළ වනු දැකගන්නට ලැබිණ. එවිට රවි “කෝ ඕගොල්ලන්ගෙ අපේක්ෂකයා. මේ සාකච්ඡාවට එයානෙ එන්න ඕනෙ” යනුවෙන් විමසද්දී රනිල් කියා සිටියේ “නෑ අපි දෙන්න ඊයෙ හම්බුණා. එතැනදි අපි ගොඩක් තීන්දු තීරණ ගත්තා. අද මීටිම ගැන කියද්දි සජිත් කිව්වා එයාට අද මේකට එන්න වෙන්න නෑ කියලා” යැයි කියාය. රනිල්ගේ මේ කතාවෙන් එතැන සිටි සියල්ලන්ටම වැටහී ගියේ සජිත් සමග සිදුකරනු ලැබූ සාකච්ඡාවේදී දෙදෙනා අතර කිසියම් එකඟතාවයක් ඇතිව ඇති බවකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී දකින්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ පසුගිය කාලය පුරා දැඩි ආවේගශීලීත්වයකින් යුතුව කතා කරනු ලැබූ කබීර්, මංගල, මලික්, රංජිත් මද්දුමබණ්ඩාර එම ආවේගශීලීත්වයෙන් තොරව ඉතා සුහදශීලීව අදහස් දැක්වීමය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ දවස් දහයක සටන් විරාමයකට දෙපාර්ශ්වයම එළැඹීමටය. ඒ අනුව එම දවස් දහය ඇතුළත කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්වීමටත්, තැන් තැන්වල සාකච්ඡා නොපැවැත්වීමටත් සජිත්ගේ පාර්ශ්වය එකඟතාවයකට එළැඹිණ.
අජිත්ට-සුජීවට විනය පරීක්ෂණ ස්ථිරයි
මේ අතර කබීර් ප්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේ මෙම එකඟතාවට සුජීවට සහ අජිත් පෙරේරාට එරෙහිව ප්‍රකාශයට පත්කර ඇති විනය පරීක්ෂණ බාධාවක් බවකි. එම නිසා එම විනය පරීක්ෂණ අත්හිටුවීමට යෝජනාවක්ද මෙහිදී කබීර් රනිල්ට කළේය. නමුත් රනිල් ඊට කිසිසේත්ම එකඟ නොවන ආකාරයක් දැකගන්නට තිබිණ. රනිල් පමණක් නොව රවිද, ෆොන්සේකාද කියා සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද පක්ෂයේ විනය නිසි අයුරින් පවත්වා ගත යුතු යැයි කියාය. එවිට මංගල සහ රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ එසේ නම් සුජීව සහ අජිත් පමණක් නොව පක්ෂයේ තවත් පිරිස් විවිධ කතා කියන බවත්, ඔවුන්ටද එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවත්ය. එහිදී රනිල් කතා කළේ ඊටද එකඟවය.
“කිසි ප්‍රශ්නයක් නෑ. තව අය පක්ෂයේ ප්‍රතිපත්ති හරි පක්ෂ නායකත්වය හරි විවේචනය කරනව නම් ඒ අයට විරුද්ධවත් විනය ක්‍රියාමාර්ග ගන්න මම සූදානම්. එහෙම විවේචනය කරන අය ඉන්නව නම් ඒ වීඩියෝ ක්ලිප්, පේපර් කටින්ග්ස් තියෙනව නම් ඒව ඔක්කොම අකිලට දෙන්න. එතකොට ඒ වැඬේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. නමුත් සුජීවගෙයි, අජිත්ගෙයි ප්‍රශ්නය මේකට අදාළ නෑ” යනුවෙන් කියමින් රනිල් තම ස්ථාවරය පැහැදිලි කළේය. ඉන් අනතුරුව සජිත් මුල්කරගෙන හර්ෂ සකසා තිබූ මත විමසුම සාකච්ඡාවට ඉදිරිපත් කළේ රංජිත් මද්දුමබණ්ඩාරය. එහිදී රංජිත් කියා සිටියේ ගම් මට්ටමේ, බිම් මට්ටමේ අය සජිත්ව ඉල්ලා සිටින බව මෙම මත විමසුමෙන් පැහැදිලි වනවා යැයි කියාය. ඒ සමගම ඊට විරෝධය පළ කරමින් රවිත්, ෆොන්සේකාත් අදහස් දක්වන්නට වූ අතර දෙදෙනාම විමසා සිටියේ “මොකක්ද ඔය කියන මත විමසුම? මොකක්ද ඔය කියන බිම් මට්ටම” යැයි කියාය.
බිම්මට්ටම ගැන රවි ෆොන්සේකා හොදට කියලා දෙයි
“මොකක්ද ඕගොල්ලන් කියන ඔය බිම් මට්ටම්? අපි බිම් මට්ටම ගැන කතා කරනව නම් ඔය කියන ලොකුම බිම් මට්ටම තියෙන්නෙ හම්බන්තොටයි, මොනරාගලයි. මොකද ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක දෙක ඔය දෙක. හැබැයි ඒ එක දිස්ත්‍රික්කයකවත් ඔය කියන අය 30%ක් අරන් නෑ. අඩුම තරමෙ ආසනයවත් දිනල නෑ. ඉතින් කොහෙද ඔය කියන බිම් මට්ටමක් තියෙන්නෙ. අනෙක අපි දන්නවනෙ ඔය මත විමසුම් හදන හැටි. පහුගිය කාලෙ හදපු මත විමසුම්වලට මොකද වුණේ කියලත් අපි දන්නවා” යනුවෙන් රවිත්, ෆොන්සේකාත් ප්‍රශ්න කරද්දී රංජිත්ට කේන්ති යන ආකාරයක් දැකගන්නට ලැබිණ. “එහෙම කියන්න එපා. මම කියන්නෙ මේ කරල තියෙන මත විමසුමේ ප්‍රතිඵල ගැන. නැතුව මගේ හිතේ තියෙන දෙයක් නෙමෙයි” යනුවෙන් රංජිත් තදින් කියද්දී රනිල් වාදය සමතයට පත්කරමින් කියා සිටියේ මුලින්ම එම මත විමසුම සාකච්ඡාවට ලක්කළ යුතු යැයි කියාය. ඒ අනුව එම මත විමසුම රාජිතට ලබාදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන ලෙස රනිල් එහි සිටි අයට දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් ඉන් අනතුරුව අදහස් දැක්වූ දයා ගමගේ සජිත් පාර්ශ්වය විසින් දිස්ත්‍රික්ක මට්ටමින් තබන රැලි පිළිබඳව ඉතා දැඩි විවේචනාත්මක අන්දමින් අදහස් පළකරනු දැකගත හැකි විය.
අම්පාරට සජිත් ආවොත් ගහලා එලවනවලු
“පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕනෙ. මටත් සමහරු කියනවා ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. පක්ෂය සූදානම් මට අපේක්ෂකත්වය දෙන්න මම ඉල්ලන්න සූදානම්. ඒ වගේම ඒක දිනන්නත් මට පුළුවන්. හැබැයි මට විනයක් තියෙන හින්දා මම ඒක තැන් තැන්වල එළියෙ ගිහිල්ල කියවන්න යන්නෙ නෑ. දිස්ත්‍රික්ක ගානෙ රැස්වීම් තියෙන්නෙත් නෑ. හැබැයි මම මෙතැනදි එකක් කියන්න ඕනෙ. ඔය කවුරුහරි මගේ දිස්ත්‍රික්කෙ රැස්වීමක් තියන්න ආවොත් මම ඒ අයව කොහු මිටෙන් ගහල එළවන්නෙ. ඒක කරන්නත් මට හයිය තියෙනවා.” යනුවෙන් දයා කියද්දී කිසිවකුත් ඊට පිළිතුරු ලබාදෙන ආකාරයක් දැනගන්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වය එකඟතාවයන් කිහිපයකට එළැඹිණ. ඉන් පළමුවැන්න වූයේ පස්වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීම අත්හිටුවීමය. දෙවැන්න තැන් තැන්වල සාකච්ඡා පැවැත්වීම නැවැත්වීමය. රනිල් කියා සිටියේ මෙම කාර්යයන් සිදුකිරීමට සූදානම් නම් තමන් 06 වැනිදා පක්ෂයේ නිල සාකච්ඡාවක් කැඳවා එතැනදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න පක්ෂ ක්‍රමවේදයට අනුව ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බවය. ඒ අනුව එම සාකච්ඡා අවසන් වූයේ ඇත්ත වශයෙන්ම දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇතිකරලමින්ය.
සජිත්ලා එකගතාවය කඩා දමයි
නමුත් සිකුරාදා පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රායෝගික තලයේදී සිදුවූයේ කුමක්ද? ප්‍රයෝගික තලයේදී ඇත්තටම සිදුවූයේ මෙම එකඟතාවයන් පිළිබදව සජිත්ගේ පාර්ශ්වය අතර විශාල මතභේද, වාද විවාද හටගැනීමය. විශේෂයෙන්ම එම පාර්ශ්වයේ සිටින රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙම තීන්දුවට දැඩිව විරෝධය පලකරමින් කියා සිටියේ සුළුතරයක් පමණක් ගොස් අගමැතිවරයා සමග සාකච්ඡා කොට මේ ආකාරයේ තීන්දු තීරණ ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මුලින් සැලැසුම් කළ ආකාරයටම සජිත්ව ඉල්ලා දිස්ත්‍රික් මට්ටමින් සූදානම් කර ඇති රැස්වීම් ඒ අයුරින්ම පැවැත්විය යුතු බවත්ය. ඒ අනුව අවසානයේදී පිරිස් තීන්දු කළේ රනිල් සමඟ ඇතිකරගත් මෙම එකඟතාවය කඩා කලින් තීන්දු කළ ආකාරයටම කුරුණෑගල රැස්වීම පැවැත්වීමටය.
මේ අතරවාරයේ පසුගිය ඉරිදා දිනයේදී (01දා) කිසිවකුත් නොදන්නා තවත් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. එම සාකච්ඡාවට රනිල්, රාජිත එක්ව සිටි අතර සජිත්ගේ පාර්ශ්වයෙන් සජිත් සහ හර්ෂද සිල්වා එක්ව සිටියහ. මෙහිදී සිවුදෙනා අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූයේ හර්ෂ විසින් සකස් කර තිබූ මත විමසුමය. හර්ෂ එය සකස් කළ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමෙන් අනතුරුව රනිල් එය රැගෙන රාජිතට භාරදුන්නේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙන ලෙසය. රනිල් සිය තෙදින මාලදිවයින් සංචාරය බලා පිටත්ව ගියේ මෙම සාකච්ඡාව අවසන් කිරීමෙන් පසුවය. ඒ මාලදිවයිනේ පැවැති සිවුවැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහාය. මෙම සංචාරයේදී රනිල් මාලදිවයින් නායකයන් මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ එස්. ජයශංකර් මහතාද, සිංගප්පූරුවේ විදේශ කටයුතු ඇමැතිවරයා වූ විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද පළමුවරට මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය.
රනිලුයි කරුයි දෙන්නම මාලදිවයිනේ
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල් මෙසේ මාලදිවයිනේ සංචාරය කරද්දී මේ දිනවල එජාප අපේක්ෂකයා ලෙස නම් කියැවෙන කතානායක කරු ජයසූරිය මහතාද මාලදිවයිනේ සංචාරයක නිරතවෙමින් සිටීමය. කරු එසේ මාලදිවයිනේ සංචාරය කළේ සහශ්‍රයේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ දකුණු ආසියානු පාර්ලිමේන්තු සහයෝගිතාව වෙනුවෙන් වූ සාක් කතානායක සම්මේලනයට සහභාගි වීම සඳහාය. කරු ඊට සහභාගි වූයේ එම සම්මේලනයේ සභාපතිවරයා ලෙසටය. ඒ අනුව බොහෝ දෙනා කරු සහ රනිල් අතර රහස් හමුවක් මාලදිවයිනේදී සිදුවන්නට ඇති බව සැක පළ කර තිබුණද එවැනි කිසිදු හමුවක් එහිදී සිදුවූයේ නැත. ඒ, දෙදෙනා මාලදිවයිනේ පැය හතරක, පහක පමණ කාලපරාසයක් පමණක් රැඳීසිටීම නිසාය.
සජිත්-කබීර් හොරෙන්ම මෛත්‍රී හමුවෙන්න ගිහින්
මේ අතරවාරයේ පසුගිය සතියේ තවත් විශේෂ සිදුවීමක් වූයේ කබීර්ට අයත්ව ඇති ඛනිජ තෙල් අමාත්‍යාංශය කබීර්ගෙන් ගලවා කිරිඇල්ලට පවරන ලෙසට රනිල් ජනාධිපතිවරයාට යවා තිබූ ලිපියය. මුල් අවස්ථාවේදී යැවූ ලිපියට ජනාධිතිවරයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා නැවැත සිහිකැඳවීමක් ලෙස තවත් ලියුමක් මෛත්‍රිට යැවීමටද රනිල් පියවර ගෙන තිබිණ. නමුත් ඊටද මෛත්‍රිගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේදී රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබුණේ මෛත්‍රි මෙසේ කබීර්ගේ තටු කැපීමට කටයුතු නොකළේ සජිත් තිරය පිටුපස දියත් කර තිබූ මෙහෙයුමක් නිසා බවය. ඒ අනුව සජිත් පසුගිය සතිඅන්තයේදී කාටත් හොරා කබීර් සමග ගොස් මෛත්‍රි හමුවීමට පියවර ගෙන තිබිණ. එහිදී සජිතුත්, කබීරුත් දෙදෙනාම මෛත්‍රිට කියා සිටියේ පක්ෂය ඇතුළේ මේ වන විට රනිල්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් පවතින පසුබිමක යම් හෙයකින් කබීර්ගේ අමාත්‍යාංශය ඉවත් කළහොත් එය රනිල්ට එරෙහිව ගෙනයන සටනට බාධාවක් යැයි කියාය. ඒ නිසා මේ මොහොතේ එවැන්නක් කිසිසේත්ම නොකරන ලෙසට කබීරුත්, සජිතුත් මෛත්‍රිට අවධාරණය කර සිටියහ. ඒ අනුව අවසානයේදී මෛත්‍රිද සිය වචනය කබීර්ට දෙමින් කියා සිටියේ තමන් කිසිසේත්ම එවැන්නක් මේ මොහොතේ නොකරන බවත්, හැකිතාක් ඉක්මණින් රනිල්ට බලපෑම් කොට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගන්නා ලෙසත්ය.
කෙසේ වෙතත් කාටත් හොරා පැවැති මෙම සාකච්ඡාව මෛත්‍රිගේ කටින් එළියට පැන්නේ පසුගිය අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුවය. මෙහිදී මෛත්‍රි කිරිඇල්ලට තමන් මුණගැසීමට පැමිණෙන ලෙස දැනුම් දී සජිත්, කබීර් පැමිණ තමන් සමග පැවැත්වූ රහස් සාකච්ඡා පිළිබඳව කිරිඇල්ලගේ කනේ තැබීමට කටයුතු කළේය.
රහස මෛත්‍රි කිරිඇල්ලගේ කනේ තියයි
“අනේ ඇමැතිතුමා… අගමැතිතුමා කබීර්ගේ ඛනිජ තෙල් අමාත්‍යාංශය ගලවලා ඔබතුමාට දෙන්න කියලා මට ලියුමක් එවල තිබුණා. ඒ හින්ද මම ඒ ලියුමට අස්සන් කරන්න තමයි බලන් හිටියෙ. හැබැයි පසුගිය දවසක සජිතුයි, කබීරුයි ඇවිල්ල මට කිව්ව මේ වෙලාවෙ මේක කරන්න එපා කියල. එහෙම කළොත් ඒ අයට පක්ෂය ඇතුළෙ ප්‍රශ්නයක් ඇතිවෙනව කියල. ඒ හින්ද අන්තිමේදී මමත් ලියුමට අස්සන් කරන එක නැවැත්තුව. නැත්නම් මගේ කිසිම අකමැත්තක් නෑ ඔබතුමාට ඛනිජ තෙල් අමාත්‍යාංශය දෙන්න” යනුවෙන් මෛත්‍රි කියද්දී කිරිඅල්ලටද සිදුව ඇති දෙය තේරුම් ගියේය.
කෙසේ වෙතත් මොහොතක් යෑමට මත්තෙන් එම රහස කිරිඇල්ලට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බව සජිත්ටත්, කබීර්ටත් දැනගන්නට ලැබිණ. ඒ අනුව සජිතුයි, කබීරුයි කළේ ලැජ්ජාව වසා ගැනීම සඳහා කිසිවක් නොදන්නා ගානට කිරිඇල්ලගේ කාමරයට ගොස් ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමය. දෙදෙනාම කිරිඇල්ලට කියා සිටියේ මෛත්‍රි කිරිඇල්ලට බොරුවක් කියා ඇති බවත්, තමන් කිසිදු අවස්ථාවක මෛත්‍රි මුණගැසී එවැන්නක් දැනුම්දීමට කටයුතු නොකළ බවත්ය. කබීර් සහ සජිත් කිරිඇල්ලට එසේ කියා සිටියද දෙදෙනාම එම කතාව කියද්දී ඔවුන්ගේ ශරීර ඉරියව් දෙස බලා සිටි කිරිඇල්ලට සිද්ධ වී ඇති දේ වටහා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත.
සජිත්ගේ නියෝජිතයෙක් රනිල්ව හමුවෙයි
මේ අතර එජාපය ඇතුළේ කුරුණෑගල රැස්වීම නොතියන බවට මුලින් එකඟතාවයක සිටියද පසුව එල්ලවූ දැඩි බලපෑම නිසා අවසානයේදී සජිත්ටද එය නොතියා සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණ. ඒ නිසාම කුරුණෑගල රැස්වීම පැවැත්වීමට පැය කිහිපයක් තියා බ්‍රහස්පතින්දා දහවල් වරුවේ සජිත්ගේ පණිවුඩයක් රැගෙන එක්තරා විශේෂ නියෝජිතයකු අරලියගහ මන්දිරයේදී රනිල් මුණගැසීමට පියවර ගත්තේය. මෙහිදී සජිත්ගේ පාර්ශ්වයෙන් මතුවී ඇති තත්ත්වය පිළිබඳව එම නියෝජිතයා පැහැදිලි කරද්දී රනිල් කියා සිටියේ මුලින්ම සජිත් පක්ෂය තුළ විශ්වාසය ගොඩනැඟෙන ආකාරයට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් මෙම රැස්වීම හරහා එම විශ්වාසය තවදුරටත් කඩවන බව කියා සිටි රනිල් එය ගොඩනැඟීම සජිත්ගේම කටයුත්තක් බවට දැනුම්දී සිටියේය.
ඒ අනුව වහාම මෙම නියෝජිතයා රනිල්ගේ මෙම ස්ථාවරය රනිල්ට දැනුම්දීමට කටයුතු කළේය. ඒ අනුව නැවතත් එම විශේෂ නියෝජිතයා සජිත්ගේ පණිවුඩයක් රැගෙන රනිල්ව මුණගැසුණේය. එහිදී ඔහු රනිල්ට කියා සිටියේ එම රැස්වීමේදී කිසිසේත්ම පක්ෂ නායකත්වයට පහරදීමක් සිදුනොකරන බවත්, තමන් ජනපති අපේක්ෂකයා වී අගමැති ධුරය රනිල්ට ලබාදෙන බවත්, අවශ්‍ය නම් ඊට සහතික විය හැකි බවත්, එය ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක් කුරුණෑගලදී සිදුකිරීමට සජිත් සූදානමින් සිටින බවත්ය. එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයද රනිල් සමග එක්ව පක්ෂයට දිනවා දීමට සජිත් සූදානමින් සිටින බවද මෙහිදී වැඩිදුරටත් කියැවිණ.
බලපෑම් හමුවේ සජිත් පාට මාරු කරයි
ඒ අනුව කුරුණෑගල රැස්වීමට ප්‍රථම දෙදෙනා අතර මෙසේ කිසියම් එකඟතාවක් තෙවන පාර්ශ්වයක් හරහා ඇතිවී තිබූ ආකාරයක් කිසිවකුත් දැන සිටියේ නැත. නමුත් රැස්වීමට පැය කිහිපයක් තියා මෙවැනි එකඟතාවක් දෙදෙනා අතර ඇතිවී ඇති බවක් වෙනත් මාර්ගයකින් සජිත්ගේ පාර්ශ්වයට දැනගන්නට ලැබිණ. ඒ අනුව වහාම සජිත්ට කතාකළ බොහෝදෙනකු දැඩිව ඔහුට කියා සිටියේ එවැනි කිසිදු ආකාරයේ සහතිකයක් කුරුණෑගල කතාවේදී දීමට කටයුතු නොකරන්න යැයි කියාය. රනිල් පිළිබඳව සහතික දීමට ගියහොත් එය විශාල වශයෙන් අවාසිදායක ලෙස බලපෑ හැකි බවද ඔවුහු සජිත්ට දැනුම්දී සිටියහ. ඒ අනුව රනිල් බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රකාශයක් සජිත්ගෙන් කුරුණෑගලදී එළියට නොආ නමුදු සජිත් එහිදී රනිල්, කරු දෙදෙනාම සිහි කරමින් දෙදෙනාගේම ආශීර්වාදයෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියා සිටියේය.
කෙසේ වෙතත් සජිත්ව ඉල්ලා පැවැති කුරුණෑගල රැස්වීමටද, බදුල්ල, මාතර රැස්වීම්වලදී මෙන්ම විශාල ජනතාවක් සහභාගිව සිටිනු දැකගත හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල් පිලේ ජ්‍යෙෂ්ඨයකු ලෙස කියැවෙන ජේ.සී. අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයාද සජිත්ගේ වේදිකාවට පළමුවරට ගොඩවීමය. ජේ.සී.ට අමතරව කුරුණෑගල ප්‍රබලයන් වූ අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, ඉන්දික බණ්ඩාරනායකද, ඊට අමතරව හර්ෂ, අජිත්, එරාන්, සුජීව, චන්ද්‍රානි, දිලිප් වෙදආරච්චි, වසන්ත අලුවිහාරේ යන මැති ඇමැතිවරුද ඊට එක්ව සිටියහ.
අරලියගහ මැදුරෙන් ජ්‍යෙෂ්ඨයන්ට කැදවීමක්
මේ සියල්ල අතරවාරයේ සජිත් පිලට කලින් දැනුම්දී තිබූ ආකාරයටම රනිල් සිකුරාදා (06දා) පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වූ තීරණාත්මක නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සඳහා පියවර ගත්තේය. ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේම සජිත්ගේ කුරුණෑගල රැලිය නිමවීමත් සමඟ එජාපයේ සියලුම ජ්‍යෙෂ්ඨයන්ට අරලියගහ මන්දිරයෙන් පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියැවුණේ උදෑසන 10.00 වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවීමට රනිල් සූදානමින් සිටිනවා යැයි කියාය. ලැබුණු පණිවුඩයට අනුව සජිත් පාර්ශ්වය නියෝජනය කළ මලික්, කබීර්, රංජිත් මද්දුමබණ්ඩාර ඊට සහභාගි වූ අතර මංගල යාපනයේ ගොස් සිටි නිසා ඊට එක්ව නොසිටියේය. එමෙන්ම සජිත්ද රැස්වීමට පැමිණ සිටියේ නැත. ඊට අමතරව ජෝන්, ගාමිණී, ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා, දයා ගමගේ වැනි පිරිස්ද ඊට එක්ව සිටියහ.
රනිල් එන්න තීන්දු කරයි
මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් රනිල් කියා සිටියේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට තීන්දු කර ඇතැයි කියාය. ඒ සඳහා දැනටමත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද, සියලුදෙනාම එකමුතුව ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කටයුතු කළයුතු බවද රනිල් එහිදී කියා සිටියේය.
දයා සෙනග ගෙන්නන්න බාරගනී
කෙසේ වෙතත් රනිල්ගේ මේ තීන්දුවට එරෙහිව අදහස් පළ කළේ මලිකුත්, කබීරුත්ය. දෙදෙනාම පෙන්වා දුන්නේ ගම් මට්ටමේ ජනප්‍රියම නායකයා ලෙස සජිත් ප්‍රේමදාස සිටින බැවින් ඔහුට පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාදීම සුදුසු යැයි කියාය. නමුත් කබීර්ගේත්, මලික්ගේත් මේ කතාවට එරෙහිව අදහස් දක්වන්නට කටයුතු කළේ දයා ගමගේත්, සරත් ෆොන්සේකාත්ය. දයා කියා සිටියේ සෙනඟ ගෙනැවිත් ජනප්‍රියත්වය පෙන්වනවා නම් තමන්ද රනිල් වෙනුවෙන් සෙනඟ ගෙනැවිත් පෙන්වන්නම් යැයි කියාය. “සෙනඟ ගෙනල්ල කොහොමද ඕගොල්ලන් සජිත් ජනප්‍රියයි කියන්නෙ. මෙච්චර කල් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරල තිබ්බෙ නෑ. ඉතින් අපිටත් කරන්න දෙයක් තිබ්බෙ නෑ. දැන් නායකතුමා කියනවා නම් එතුමා ජනාධිපතිවරණයට එනවා කියලා අපි සූදානම් එතුම වෙනුවෙන් ජනතාව ගෙනල්ල පෙන්නන්න. ඉස්සෙල්ලම රැස්වීම මම අම්පාරෙ තියල සෙනඟ ගෙනල්ල පෙන්නන්නම්” යනුවෙන් කියමින් දයා පළමුව කියද්දී ෆොන්සේකාද කියා සිටියේ තමන්ද නායකයා වෙනුවෙන් කැලණියේ දැවැන්ත රැස්වීමක් තියා සෙනඟ ගෙනැවිත් පෙන්වීමට සූදානම් යැයි කියාය.
කිරිඇල්ල කබීර්ගේ රෙදි ගලවයි
ඉන් අනතුරුව රංජිත් මද්දුමබණ්ඩාර සජිත්ට පක්ෂව නමුත් සමබරව අදහස් දැක්වීමක නිරත වූ අතර ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් රනිල්ට පක්ෂව අදහස් දක්වනු දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල කබීර් හෂීම්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමය. මීට ඉහත කිසිදු දිනෙක පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමකදී මේ ආකාරයට අදහස් දක්වා නොමැති කිරිඇල්ල එදින කබීර්ට විරුද්ධව “ඩීල්කාරයා, තමුසෙ, අයිසෙ, ජරා මිනිහා, පාවාදෙන්නා” යනුවෙන් හඳුන්වමින් බැනවැදුණේ පසුගිය දින කිහිපය පුරා කබීර් මෛත්‍රිව මුණගැසී සිදුකරනු ලැබ තිබූ රහස් ගනුදෙනුව පිළිබඳව සියලු තොරතුරු වාර්තා වී තිබීම නිසාය.
“තමුසෙ මහ ජරා මනුස්සයෙක්. මම හිතුවෙ නෑ තමුසෙ මේ වගේ වැඩ කරන කෙනෙක් කියලා. මම දන්නවා තමුසෙ ජනාධිපතිතුමා හම්බුවෙලා දාපු ඩීල් මොනවද කියලා. මෙහෙම ඩීල්කාරයෙක් කවදාවත් පක්ෂයේ සභාපති කෙනෙක් විදිහට ඉඳල නෑ. තමුසෙ මේ පක්ෂයේ හිටපු වැදගත් මුස්ලිම් නායකයන්ටත් නින්දාවක්. මෙච්චර අගමැතිතුමා මට අමාත්‍යාංශය දෙන්න කියල ලිඛිතවම ජනාධිපතිතුමාට කියද්දි තමුසෙ ලැජ්ජ නැතුව ගිහිල්ල ජනාධිපතිතුමත් එක්ක ඩීල් දැම්ම. තමුසෙ විතරක් නෙවෙයි මෙතැන ඉන්න තව පස්දෙනෙක් ගිහිල්ල තියෙනව” යනුවෙන් දැඩි කෝපයට පත්ව කියද්දී කබීර් හෂීම් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා මුණගැසීමට නොගිය බවත්, දුරකතන ඇමැතුමක් පමණක් ජනාධිපතිවරයාට ලබාදුන් බවත්ය. මේ කතාවෙන් කිරිඇල්ලගේ කෝපය තවත් දෙගුණ තෙගුණ විය.
අයිසෙ-තමුසෙ-සෙවලයා-ඩීල්කාරයා
“බොරු කියන්න එපා හලෝ. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පස්සෙ මම ගිහිල්ල ජනාධිපතිතුමා හම්බවුණා. එතුමගෙ වචනයෙන්ම කියනව නම් මට කිව්ව මේ පස්දෙනා ඇවිත් ඔබතුමාට මේ අමාත්‍යාංශය ලබාදෙන්න එපා කියලා මගේ ඔළුව කෑව කියලා. ඒක කියද්ද රවි කරුණායක ඇමැතිතුමත් එතැන හිටිය. ඕනනම් එතුමගෙන් ඒ ගැන අහන්න. පක්ෂයේ සමගිය, විනය, ජයග්‍රහණය ගැන කතා කරන මේ මිනිස්සු අපේ දේශපාලන විරුද්ධවාදීන් එක්ක අපිටත්, අපේ පක්ෂයටත් විරුද්ධව වැඩ කරන්නෙ මෙහෙමයි.
අයිසෙ තමුසෙ කොහොමද අපේ පක්ෂයේ නායකයා හැටියට අගමැතිතුමා ගත්ත තීන්දුවට විරුද්ධව ගිහින් ජනාධිපතිතුමත් එක්ක ඩීල් දාන්නෙ. අගමැතිතුමාටයි, පක්ෂයටයි විරුද්ධව තමුසෙට වැඩ කරන්න ඕනෙ නම් පක්ෂ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙලා ගිහිල්ල ඒක කරනවා. තමුසෙ පක්ෂ සභාපතිකමෙත් ඉඳගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳල පක්ෂෙටයි, නායකටයි විරුද්ධව වැඩ කරනවා. පක්ෂයයි, නායකතුමයි හැමදාම දුර්වල වුණේ තමුසෙල හැමදාම කරපු මේ විදියෙ පාවාදීම්, ජඩකම් හින්දයි.
පාස්කු බෝම්බය ගහපු වෙලාවෙ ආණ්ඩුවෙ ඔක්කොම මුස්ලිම් ඇමැතිවරු තීන්දුවක් අරන් ඇමැතිකම්වලින් ඉල්ලා අස්වුණා. හැබැයි ඒ වෙලාවෙ තමුසෙ මොකක්ද කළේ. අගමැතිතුමාටයි පක්ෂයටයි හොරෙන් සජිත් එක්ක ගිහිල්ල ජනාධිපතිතුමා හම්බුවෙලා ඇමැතිකම ගත්ත. තමුසෙ දිවුරුම් දෙනව පක්ෂෙ නායකතුමාවත් දන්නෑ. තමුසෙට ලැජ්ජ නැද්ද අයිසෙ. ඊට පස්සෙ තමුසෙ හොරෙන්ම ගෝඨාභයගෙ ගෙදර ගිහිල්ල ගෝඨාභයව හම්බුවුණා. එහෙම ගිහිල්ල පක්ෂයෙ ඔක්කොම රහස් ගෝඨාභයට දුන්න. ගෲප් එකේදි නවීන් ඇමැතිතුමා මේ ගැන ප්‍රශ්න කරද්දි තමුසෙ පිළිගත්ත ගෝඨාභයව හම්බවුණා කියලා. මට කියනව තමුසෙ ඉන්නෙ යූ.ඇන්.පී. එකේද, එහෙම නැත්නම් පොහොට්ටුවෙද, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා එකේද කියලා.
තමුසෙගෙ වැඩ බැලුවම අයිසෙ තමුසෙ පක්ෂෙට ලැජ්ජාවක්. තමුන්ගෙ ජාතියටත් ලැජ්ජාවක්. අපි හොඳ සිංහල බෞද්ධයො. පසුගිය ජනාධිපතිවරණයෙ මම නුවර තිස්දහකින් දිනල දුන්නා. තමුසෙ කෑගල්ල පරාදයි. හැබැයි තමුසෙ කියන්නෙ කෑගල්ල දින්නා කියල. ඒ දින්නෙ මහ ඡන්දෙදි ජනාධිපතිවරණය දින්නට පස්සෙ. මම මීට පස්සෙ කෑගල්ලටත් ඇවිල්ල තමුසෙගෙ මේ වැඩ ගැන කියනවා. තමුසෙ කිසිම ප්‍රතිපත්තියක් නැති, පිටකොන්දන් නැති වසලයෙක්. කොටින්ම කියනව නම් සෙවලයෙක්.” යනුවෙන් කියමින් කිරිඇල්ල දිගට හරහට කබීර්ගේ රෙදි ගලවද්දී කිසිවකුත් කබීර්ගේ සහායට නොපැමිණීම විශේෂ සිදුවීමක් විය. අවසානයේ බැරිම තැන කබීර් රැස්වීම අවසන් වීමටත් ප්‍රථම සාකච්ඡා මේසයෙන් නැඟිට පිටතට ගියේ තවත් එතැන හිටියා නම් කිරිඇල්ල තවත් කුමකින් කුමක් කියනුදැයි සිතාගැනීමටවත් නොහැකිවය.
රනිල්-සජිත් හමුවක් ඉරිදා
මේ අතර ඉරිදා දිනයේදී සජිත් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රනිල් මේ වන විට තීන්දු කොට ඇත. එම හමුව ඉරිදා උදේ 9.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. එම හමුවෙන් පසු කතානායක කරු ජයසූරිය මහතාද මුණගැසී ඔහු සමගද සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් සතුව ඇති කාර්යභාරයන් පිළිබඳවද සාකච්ඡා කිරීමට රනිල් මේ වනවිටත් තීන්දුකොට ඇත.
ශ්‍රීලනිප සම්මේලනයත් අවුල්
මේ අතර පසුගිය සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය කොළඹ සුගතදාස ග්‍රහස්ථ පිටියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ශ්‍රීලනිපය කටයුතු කර තිබිණ. එය සාර්ථක කර ගැනීම සඳහා පසුගිය සතිඅන්තය පුරාම දයාසිරි, දුමින්ද, ලසන්ත අලගියවන්න මෙන්ම අමරවීර බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරන ආකාරයක් පෙණින. රට පුරා විසිරී සිටි පාක්ෂිකයන් බස් 269ක් යොදාගෙන කොළඹට කැඳවා පැවැති මෙම රැස්වීමේදී විශේෂ සංඥා දෙකක් දැකගන්නට ලැබිණ. ඉන් පළමුවැන්න වූයේ කලකට පසු කුමාර වෙල්ගම සම්මේලනයට එක්වද්දී පාක්ෂිකයන්ගෙන් ඔහුට ලැබුණු උණුසුම් ප්‍රතිචාරයය. දෙවැන්න වූයේ වසර හතරකට පමණ පසුව හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා මැතිනිය සම්මේලනයට පැමිණෙද්දී පාක්ෂිකයන්ගෙන් ලැබුණු විශාල අත්පොලසන් නාදයය.
කෙසේ වෙතත් “තීන්දුව හරි අතට” යන මැයෙන් යුතුව පැවැත්වූ මෙම සම්මේලනයේදී ශ්‍රීලනිපය තුළ පැවැති මතභේදය ප්‍රසිද්ධියේම එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබුණේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා කළ කතාවෙන්ය. නිමල් එහිදී කෙළින්ම කියා සිටියේ ඉදිරියේදී පොහොට්ටුව සමඟ එක්ව ගමන් කළ යුතු බවත්, එජාපය සමඟ ශ්‍රීලනිපයට ඉදිරි ගමනක් නැති බවත්ය. එමෙන්ම ශ්‍රීලනිපය ඇතුළේ එළියට පැමිණි මතභේදය තවත් මතුව පෙනුණේ වේදිකාව පසුතලයේ පෙන්වූ කෙටි වාර්තා වැඩසටහනෙන්ය. එහිදී විශාල වශයෙන් මෛත්‍රි කළ සංවර්ධනය පිළිබඳව පෙන්වද්දී චන්ද්‍රිකා වරින්වර නිමල්ගේ කනට ළංවෙමින් විවේචනාත්මකව අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී චන්ද්‍රිකා කියා සිටියේ පක්ෂ සම්මේලයකදී මෙවැනි කරුණු ඉදිරිපත් කළ යුතු නැතැයි කියාය.
මීට අමතරව අදාළ වාර්තා වැඩසටහනේ තිබූ තවත් කාරණයක්ද සියල්ලන්ගේම නිරීක්ෂණයට ලක්විය. ඒ, බැඳුම්කරය සම්බන්ධයෙන් කියද්දී අවස්ථාවන් තුනකදී පමණ රනිල් අත්අඩංගුවට ගෙන යන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයක් විකාශය වීමත්, තවත් අවස්ථාවක රවි කඳුළු සලන ආකාරයේ රූපරාමු විකාශය වීමත්ය.
මෛත්‍රිගෙන් දෙපැත්තටම නැති කතාවක්
මේ අතර ‘තීන්දුව හරි අතට’ යනුවෙන් කියමින් රැස්වීම් පැවැත්වුවත් ජනාධිපතිවරයා එහිදී කළේ කිසිම පැත්තට නැති දෙකට දෙවාරේ කතාවක්ය. බොහෝ දෙනා මෛත්‍රි සිය කතාවේදී පොහොට්ටුව සමඟ එකතු වන බවට ප්‍රකාශයක් කරනු ඇතැයි සිතා සිටියත්, මෛත්‍රිගේ කතාවෙන් එවැනි කිසිවක් ප්‍රකාශ වූයේ නැත. ඒ වෙනුවට මෛත්‍රි කීවේ 2020 පිහිටුවන අලුත් ආණ්ඩුවේ අගමැති ධුරය ගැනීම පිළිබඳව ශ්‍රීලනිපය කල්පනා කළ යුතු යැයි කියාය.
මේ ආකාරයට ශ්‍රීලනිප සම්මේලනය පැවැත්වෙද්දී එය සජීවීව වෙනත් ස්ථානයක සිට නැරැඹූ පිරිසක්ද විය. ඒ වෙන කවුරුවත් නොව රාජපක්ෂවරුන්ය. එහිදී රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සියලුදෙනාම පාහේ මෛත්‍රිගේ කතාව ඇසීමෙන් පසුව වහාම සාකච්ඡාවක් කැඳවීමට පියවර ගත්තේය. ඊට හේතුවී තිබුණේ පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර පැවැති සාකච්ඡා සාර්ථක බවට මහින්ද මෙන්ම බැසිල්ද ප්‍රසිද්ධියේම මාධ්‍යයට ප්‍රකාශ කර තිබියදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එවැන්නක් ප්‍රකාශ නොවීම බරපතළ අර්බුදයක් වීම නිසාය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී මෛත්‍රිගේ කතාව සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුර තුළ පැවැතියේ විශාල කලකිරීමක් මෙන්ම සාකච්ඡා තවදුරටත් පලක් නොවන ස්ථාවරයකි.
මීට අමතරව මෛත්‍රිගේ පාර්ශ්වයද මෛත්‍රිගේ කතාව සමබන්ධයෙන් සිටියේ විශාල අර්බුදයකය. ඒ, ඔවුන්ටද ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් මෛත්‍රිගේ කතාවෙන් පැහැදිලි ඉඟියක් නොලැබීම නිසාය. ඔවුන්ට හැඟී ගියේ මෛත්‍රි මුළු කතාව තුළින්ම සජිත්ට සහාය දැක්වෙන ආකාරයේ ස්ථාවරයක සිට අදහස් පළකළ බවකි.
දයාසිරිගේ ගෙදර රෑ කෑමට මෛත්‍රිත් එයි
ඒ කොයිහැටි වෙතත් එදින රාත්‍රියේ දයාසිරිගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ සම්මේලනය සාර්ථකව පවත්වා අවසන් කිරීම සම්බන්ධයෙන් සතුට සැමරීම සඳහාය. ඊට ශ්‍රීලනිපයේ සියලුම සාමාජිකයන් එක්ව සිටි අතර සාදය අතරමැදදී දයාසිරිට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයාද තව සුළු මොහොතකින් සාදයට එක්වීමට පැමිණෙමින් සිටිනවා යැයි කියාය. සාමාන්‍යයෙන් පසුගිය කාලසීමාව පුරා දයාසිරිගේ, දුමින්දගේ, අමරවීරගේ, ලසන්ත අලගියවන්නගේ නිවසේ මෙවැනි රාත්‍රි භෝජන සංග්‍රහයන් පැවතියද ඒ කිසිවකට මෛත්‍රි සහභාගි වී නොසිටි අතර දයාසිරිගේ නිවසේ පැවැති මෙම සංග්‍රහයට සහභාගි වීම එක්තරා අතකින් විශේෂයක් විය. එසේ පැමිණි මෛත්‍රි ඉතා සිනාමුසු මුහුණින් සිටින ආකාරයක් සියල්ලන්ටම දැකගන්නට ලැබුණු අතර එක් අවස්ථාවකදී අමරවීර මෛත්‍රි ළඟට ගොස් විමසා සිටියේ “සර්ගෙ කතාවෙ හැටියට අපි දැන් කොයි පැත්තටද හැරෙන්න ඕනෙ” යැයි කියාය. එහිදී සුපුරුදු සිනහවෙන් අමරවීරගේ පිටට තට්ටුවක් දැමූ මෛත්‍රි කියා සිටියේ “ඔයා දන්නවනෙ මගේ වැඩ. අපි ඔය විදිහට තව ටිකක් යමු” යැයි කියාය.
මහින්ද මෛත්‍රිට වැරදි පෙන්වා දෙයි
කෙසේ වෙතත් මෙම සම්මේලනයේ අලගිය, මුල ගිය තැන් පිළිබඳව සමාලෝචනයක් සිදුවූයේ පසුගිය බදාදා රාත්‍රියේය. ඊට මෛත්‍රි, අමරවීර, ලසන්ත ඇතුළු ශ්‍රීලනිපයේ බොහෝදෙනකු සහභාගිවී සිටි අතර සාකච්ඡාව අතරමැදදී මහින්ද සමරසිංහ එහි දක්නට ලැබුණු එක් අඩුපාඩුවක් පිළිබදව මෛත්‍රිගේ අවධානය යොමුකළේය. ඒ ඉදිරිපත් කළ වාර්තා වැඩසටහන පිළිබඳවය.
“ඔබතුමා සම්මේලනයෙදි කරපු කතාව හොඳයි. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එතැනදි එක වැරැද්දක් වුණා. ඒක ඔබතුමා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වුණාද කියල දන්නෙ නෑ. එතැනදි පෙන්නපු වීඩියෝ එකේදි බැඳුම්කරය ගැන කියද්දි තැන් තුන හතරකදිම රනිල්ව ඇරස්ට් කරනවා වගේ රූප දාල තිබ්බ. ඒ වගේම රවි අඬන පින්තූර දාල තිබ්බ. ඒ වගේ දෙයක් ස්ක්‍රීන් එකේ පෙන්නද්දි ඔබතුමා ආණ්ඩුවෙ නායකය හින්ද ඔබතුමාගෙ නමට හරි නෑ. අනෙක් එක ඔබතුමා රාජ්‍ය නායකයා. එහෙම පෙන්නද්දි ඒක ඔබතුමාට නෙගටිව් විදිහටයි යන්නෙ” යනුවෙන් මහින්ද සමරසිංහ කියද්දී මෛත්‍රිද එය පිළිගනිමින් කියා සිටියේ තමන් එම වීඩියෝව ඊට කළින් නොදුටු බවත්, මහින්ද කියන කතාවේ ඇත්තක් ඇති බවත්ය. ඒ අනුව වහාම දයාසිරිට දුරකතන ඇමැතුමක් ගත් මෛත්‍රි ඔහුගෙන් විමසා සිටියේ තමන්ට නොපෙන්වා එම වීඩියෝව ප්‍රචාරය කළේ ඇයිද යන්නත්, මේ නිසා ජනතාව තමන්ට දොස් පවරන බවත්ය. නමුත් දයාසිරි කියා සිටියේ එම වීඩියෝව තමන් කළ එකක් නොවන බවත්, එය ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින නිෂාද් උපේන්ද්‍ර විසින් සිදුකළ එකක් බවත්ය. එමෙන්ම තමන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසද්දී ඔහු එය ජනාධිපතිවරයාට පෙන්වන බව තමාට දැනුම්දුන් බවත් දයාසිරි මෛත්‍රිට කියා සිටියේය.
නිෂාද්ට හොද එකෙන් දෙසයි
දයාසිරිගේ මේ පිළිතුරෙන් යක්ෂාරූඪ වූ මෛත්‍රි අනෙක් පැත්තට වහාම ගත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු වූ නිශාද් උපේන්ද්‍රටය. ඇමැතුමට සම්බන්ධ වූ වහා දිගට හරහට නිෂාද්ට බැනගෙන බැනගෙන ගිය මෛත්‍රි තමාට කලින් නොපෙන්වා මෙවැනි වීඩියෝවක් විකාශය කළේ මන්ද යනුවෙන් ඔහුගෙන් විමසා සිටීමට කටයුතු කළේය. ඊට එහා පැත්තෙන් ලබාදුන් පිළිතුරු මොනවාද යන්න දැනගන්නට නැතත් මෛත්‍රි ඇමැතුම අවසන් කළේ “තමුසෙල ඔතැන ඉඳන් කරන්නෙ මාධ්‍ය කරන එක නෙමෙයි. මාව විනාශ කරන එක” යැයි කියමිනි.
බැසිල් කැම්පේන් එක අතට ගනී
එජාපයේත්, ශ්‍රීලනිපයේත් ඇතුළේ මෙවැනි අර්බුද මතුවෙද්දී පොහොට්ටුව ඇතුළේද පසුගිය සතියේ අර්බුදයක් මතුවූයේ එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන්ය. මුලින් පොහොට්ටුව නිර්මාණය කොට රට වටා යමින් බැසිල් එය ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීම සඳහා දිවා, රෑ වෙහෙසී වේදිකාව සකසා දුන්නත් ගෝඨාභය පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ වෙනත් පිරිසක් ඔහුව පොහොට්ටුවෙන් වෙන්කොට තනි අපේක්ෂකයකු ලෙස ඉදිරියට ගෙන යෑමට සැලැසුම් සකස් කිරීම මෙම අර්බුදයට මුල්වී තිබිණ. පසුගිය දිනවල ගෝඨාභය වට කරගෙන සිටි මේ පිරිස එහිදී ගණන් බලා තිබුණේ බැසිල්ගෙන් සහ මහින්දගෙන් ගෝඨාව වෙන්කරගෙන ඔහුව හුදෙකලා කොට සමස්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයම ඔවුන්ගේ අතට ගැනීමය.
නමුත් ඔවුන්ගේ මේ වෑයම මුල සිටම හොඳින් හඳුනාගෙන සිටි බැසිල් ඉතා සූක්ෂමව මුල් වටයේදී ඔවුන්ට එම ගමන යෑමට ඉඩ ලබාදුන්නේය. ඊට හේතුවූයේ මුල් අදියරේ ප්‍රචාරක ව්‍යාපාරය ඔවුන් ලවා කරවා ගැනීමට බැසිල්ට අවශ්‍ය වූ නිසාය. නමුත් එම පිරිස අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලද සිටින බව වාර්තා වීමත් සමඟ බැසිල් ඉතා සූක්ෂමව එම සන්ධානය කඩාදමා මැතිවරණ ව්‍යාපාරය තමන් අතට ගැනීමට සැලැසුම් සකස් කළේය. ඊට හේතුවූයේ පසුගිය කාලය පුරාම විමල්ලා, ගම්මන්පිලලා සහ බැසිල් අතර කිසියම් දේශපාලන ආරෝවක් පැවැතීමය. මුල් වටයේදී පොහොට්ටුව සුළු පක්ෂ සමඟ අස්සන් තැබීම විමල් සහ ගම්මන්පිල වර්ජනය කිරීම ඊට එක් හේතුවක් වී තිබූ අතර, පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝඨාභය ප්‍රකාශයට පත්කළදා විමල් “ඩිස්කො ඩාන්සර්” ආකාරයේ ඇඳුමක් ඇඳ පැමිණ ඊට විරෝධය පළ කර තිබීම තවත් හේතුවක් වී තිබිණ.
මහින්දගෙන් කුණු බැනුම්
කෙසේ වෙතත් පසුගිය සතියේදී ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ඡාවක් රාජපක්ෂවරුන් අතර පැවැති අතර, එහිදී ඊට කලින් ගෝඨා වටා සිටි පිරිස කළ සැලැසුමක්ද එළියට දැමීමට එක් අයකු කටයුතු කර තිබිණ. එනම් ඔවුන් සැලැසුම් කර තිබුණේ මහින්දගේ සහෝදරයා ලෙස හෝ රාජපක්ෂ පවුලේ නියෝජිතයකු ලෙස හෝ ගෝඨා එළියට පැමිණියහොත් එය ඔහුට අවාසියක් වන නිසා මහින්දගෙන් ගෝඨා කඩා එළියට ගෙන වෙනම අපේක්ෂකයකු ලෙස තනිව ඉදිරියට රැගෙන යාමටය. මෙය මහින්දට දැනගන්නට ලැබීමත් සමග මහින්ද වහාම තීන්දු කළේ ගෝඨා වටා සිටින එම පිරිසෙන් ගෝඨාව ගලවා ගැනීමටය.
එසේ නොවුණහොත් එය රාජපක්ෂ පවුල ඇතුළේ බරපතළ අර්බුදයක් බවට පත්වනු ඇති බවද මහින්දට වැටහිණ. ඒ අනුව ඒ මොහොතේදීම ගෝඨාගේ ඡන්ද ව්‍යාපාරය අතට ගෙන සිටි එක්තරා ව්‍යාපාරික ප්‍රබලයකුට කතා කළ මහින්ද “දැන් තමුසෙල හදන්නෙ ගෝඨා මගේ මල්ලිකමෙන් අයින් කරලා එයාව වෙනම එක්කගෙන යන්නද” යනුවෙන් කියමින් පුවත්පතකට ලිවිය නොහැකි හොඳම භාෂාවෙන් ඔහුට බැන වැදීමට කටයුතු කර සිටියේය. ඒ අනුව මහින්ද අවසානයේදී තීන්දු කළේ මෙම පිරිසෙන් ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරය ඉවත් කොට වහාම එය බැසිල් යටතට පත්කිරීමටය.
කෙසේ වෙතත් ඒ වන විටත් ගෝඨා වටා සිටි මෙම කණ්ඩායම තීන්දු කර තිබුණේ ගෝඨා වෙනුවෙන් වෙනම ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමටත්, එසේ කොට ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස විමල් සහ උදය ගම්මන්පිල පත්කොට ඒ හරහා බැසිල්ට පාඩමක් ඉගැන්වීමටත්ය. එමෙන්ම ගෝඨා වෙනුවෙන් වෙනම වීඩියෝ පට සහ ප්‍රචාරක දැන්වීම් පවා සකස් කර තිබූ මොවුන් ඒවා ගෝඨාට පෙන්වා ඊට ගෝඨාගේ අනුමැතිය පවා ලබාගැනීමට පියවර ගෙන තිබිණ.
විමල් වෙනම ගේමක් ගහයි
නමුත් අවසානයේදී මහින්ද තීන්දු කළේ ඒ සියල්ල නැවැත්වීමටය. ඒ අනුව වහාම ගෝඨාගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයම බැසිල්ට භාර දුන් මහින්ද සෑම රැස්වීමකදීම ගෝඨාභය කතා කිරීමෙන් අනතුරුව අවසන් කතාව ලෙස සිය කතාව කිරීමටද තීන්දු කළේය. එපමණක් නොව රාජපක්ෂවරුන් අතර පැවැති මෙම සාකච්ඡාවෙන් පැය කීපයක් ඉක්ම යෑමට මත්තෙන් තවත් නිවේදනයක්ද මහින්දගේ පාර්ශ්වයෙන් නිකුත් විය. ඒ, ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් සම්බන්ධයෙන්ය. එම නිවේදනයෙන් කියැවුණේ ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශකවරන් ලෙස ඩලස් අලහප්පෙරුමත්, කෙහෙළිය රඹුක්වැල්ලත් පත්කොට ඇතැයි කියාය.
මේ ආකාරයට ගෝඨාගේ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය උදයලාගෙන්, ගම්මන්පිලලාගෙන් සහ ඔහු වටා සිටි පිරිසගෙන් ඉවත් කිරීමට රාජපක්ෂලා කටයුතු කරද්දී විමල්ලාද නිකන් සිටියේ නැත. ඒ අනුව විමල් කළේ ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන තවත් සුපිරි කාර්යාලයක් පාගොඩ පාරේ විවෘත කිරීමය. ඩිජිටල් ආකාරයට ප්‍රචාරක ව්‍යාපාරය පැවැත්වීමේ සියලු පහසුකම් මෙම කාර්යාලයේ සවිකළ විමල් ඉදිරියේදී සිය බත්තරමුල්ලේ කාර්යාලයට අමතරව පාගොඩ පාරේ පිහිටි මෙම කාර්යාලයේ සිට සියලු කටයුතු මෙහෙයවීමටත් සැලැසුම් කර ඇත.