මේ දිනවල කොරෝනාවත් සමඟම කතාවෙන අනෙක් මාතෘකාව වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිදුවූ පෙරළියය. ලංකාවේ බොහෝ අය අනාවැකි පළ කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවැත වරක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි කියාය. නමුත් සමහරු මත පළ කළේ කිසියම් පෙරළියක් කරමින් ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජය ගනීවි යැයි කියාය. ලංකාවේ බොහෝ දෙනෙකුත්, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වවලත් විශ්වාසය වී තිබුණේ ට්‍රම්ප් නැවැත වතාවක් ජය ගනු ඇති බවකි. ඒ අනුව ආණ්ඩුවේ සැලැසුම් සකස් වී තිබුණේද ඉදිරි අවුරුදු හතරද ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යෑමටය. තත්ත්වය එසේ වූ හෙයින් යම් හෙයකින් බයිඩන් ජයගතහොත් ඉදිරි අවුරුදු හතර ලංකාවට තරමක් අසීරු වසර හතරක් වනු ඇති බවට ඇතැමුන් ආණ්ඩුවට අනතුරු ඇඟවීම්ද කර තිබිණ.
ආණ්ඩුව ට්‍රම්ප්ට ඔට්ටු ඇල්ලුවාද
මේ සඳහා බලපෑ හේතුසාධක කිහිපයක්ද තිබේ. ඉන් ප්‍රධාන එකක් වූයේ ඩි්‍රමොක්‍රොටික් පාක්ෂික බයිඩන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින්ම මානව හිමිකම් මාතෘකාව පැවැතීමය. ඩි්‍රමොක්‍රොටික් පක්ෂය ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හිමි කරගත් සෑම අවස්ථාවකදීම මානව හිමිකම්, මිනිස් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණුවලට මුල්තැන දී කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙවර ආණ්ඩුවත්, ලංකාවේ ඇතැමුනුත් නොසිතූ පරිදි බයිඩන්ගේ ජයග්‍රහණයත් සමඟ පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවට ඇතැමුන් කලින් කළ අනතුරු ඇඟවීම් ඉදිරියේදී දැකගැනීමට සිදුවනු ඇති බවකි. ඒ අනුව ඉදිරියේදී මානව හිමිකම් පැත්තෙන්, පුද්ගල නිදහස පැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ආණ්ඩුවට බලපෑම් එල්ලවිය හැකි ආකාරයක් පෙනෙන්නට තිබේ.
රෝස්මරී ඩිකාලෝ හදිසියේම ලංකාවට
මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ සිදුවීමට යන එවැනි එක් බලපෑමකි. මෙය කලින් සැලැසුම් කළ එකක්ද, එසේත් නැත්නම් අහම්බෙන් සිදුවූවක්ද යන්න ගැන තොරතුරු නැතත් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියේදී යළිත් වරක් ලංකාව ජාත්‍යන්තරය තුළ මාතෘකාවක් බවට පත්වන සිදුවීම් පෙළක් මේ වන විට දේශපාලන කරළියේ දිග හැරෙමින් තිබේ. ඒ, ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල නියෝජ්‍ය ලේකම්වරියකගේ ශ්‍රී ලංකා සංචාරය හරහාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් විට එහි මහලේකම් ධුරයට පසුව ප්‍රබලම තනතුරු දෙක වන්නේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනාගේ ධුරයන්ය. එයිනුත් දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ධුරය ඉතා බලවත්ම තනතුරය. මේ වන විට එම ලේකම් ධුරය උසුලන්නේ රෝස්මරී ඒ. ඩිකාලෝ නම් කාන්තාවය. එක්සත් ජාතීන්ගේ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් රෝස්මරීව එම තනතුරට පත්කරනු ලැබුවේ 2018 මැයි 01 වැනි දිනය. ඇයගේ වගකීම වන්නේ ඇයට භාරදී ඇති අප්‍රිකාව, යුරෝපය, මධ්‍යම සහ දකුණු ආසියාව, මැදපෙරදිග සහ ඇමෙරිකානු කලාපවල දේශපාලන කටයුතු සහ සාමය ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් ලබාදීමය. ඒ අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට දැනුම්දීමක් සිදුකර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරිය වන රෝස්මරී මහත්මිය ලංකාවට පැමිණීමට නියමිත බවකි.
වෙනම ටීම් එකක් ලංකාවට ඇවිත්
එම සංචාරයේ පසුබිම සකස් කිරීම සඳහා පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණියහ. එසේ පැමිණි පිරිස රෝස්මරීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මුණගැසෙන ආණ්ඩුවේ පාර්ශ්වයන් මෙන්ම විපක්ෂයේ පාර්ශ්වයන්ද, සිවිල් සංවිධානවල සහ රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම් සමඟද සාකච්ඡා කරමින් මේ දිනවල ඇගේ ලංකා ගමනේ කාලසටහන සකස් කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
ෆෙල්ට්මන් කලින් ඇවිත් කරපු දේ
මේ ආකාරයටම 2018 වසරේදීද රෝස්මරීට කලින් සිටි නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන්ද ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත විය. එහිදී ජෙෆ්රි එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් මුණගැසී සාකච්ඡා පවත්වා එහි අවධානයට ලක්වූ කරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ලබාදීමට පියවර ගත්තේය. රටේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගද එහිදී ජෙෆ්රි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.
රෝස්මරී මානව හිමිකම් වාර්තාව යළි උඩට ගනීද?
කෙසේ වෙතත් රෝස්මරීගේ මෙවර ලංකා සංචාරයේ පසුබිම සකස් කිරීම සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හා ආණ්ඩුවේ පිරිස් අතර පැවැත්වී ඇති සාකච්ඡාවල යම් යම් තොරතුරුද මේ වන විට කනින් කොණින් අප වෙත ලැබී තිබේ. එහිදී දැනගන්නට ඇත්තේ මෙවර රෝස්මරී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දරන ස්ථාවරය දැන ගැනීමටත්, ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රැස්වීමේදී දැනට යටගොස් ඇති ලංකාවේ මානව හිමිකම් වාර්තාව උඩට ගැනීමටත්ය. ඉන් අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනෙකුත් ආයතන සමඟද ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව පැවසේ. ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම රෝස්මරීගේ මෙවර ලංකා ගමනේ අරමුණ බව ආරංචිය.
ආපු ගමන් බයිඩන් වැඩ පටන් ගනී
අප කලින් කී ආකාරයටම බයිඩන්ගේ ජයග්‍රහණය හා රෝස්මරීගේ මෙම හදිසි ලංකා සංචාරය ගැන සම්බන්ධයන් ඇද්ද, නැද්ද යන්න තවම දැනගැනීමට නැතත් මෙතැන් සිට අපට ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ගැනීමට නියමිත තීන්දු සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවනු ඇත. ජයග්‍රහණයෙන් පසු බයිඩන්ද ප්‍රකාශ කොට ඇත්තේ තමන් නැවැතත් ඇමෙරිකාව පෙර පැවැති තත්ත්වයට රැගෙන යනවා යැයි කියාය. ඒ හරහා බයිඩන් කියා සිටියේ ට්‍රම්ප් අනුගමනය කළ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තමන් සූදානම් යැයි කියාය. ඒ බව සනාථ කරමින්දෝ ජයග්‍රහණයෙන් පසුව බයිඩන් හා උප ජනාධිපතිනිය වූ කමලා හැරිස් සිය පළමු කාර්ය ලෙස කළේ ‘සූම්’ තාක්ෂණය භාවිතා කරමින් ලෝක නායකයන් සමඟ සාකච්ඡා වටයක් පැවැත්වීමය. එම සාකච්ඡාවේදී අංක එකේ මාතෘකාව බවට පත්ව තිබුණේ ලෝකය පුරා යළි ප්‍රජාතන්ත්‍රවාදය බිහි කිරීමය.
ආණ්ඩුවත් කල්තියාම සූදානම් වෙයි
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන්ටද රෝස්මරීගේ මේ සංචාරයේ තොරතුරු වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව ඇතුළේ පැවැත්වීමට පියවර ගෙන තිබිණ. ඊට ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන නීතීඥවරුන් කිහිපදෙනෙක්ද, මානව හිමිකම් විෂය පිළිබඳව දැනුමක් සහ ඇත්දැකීම් ඇති කිහිපදෙනෙක්ද සහභාගිව සිටි බව ආරංචිය.
සාමසාධක හමුදාවෙන් ලංකාව අයින් කරයිද?
මීට අමතරව ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් ප්‍රබල තීන්දුවක් ගැනීමට මේ දිනවල සැලැසුම් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරය වෙත නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව හා ලංකාව අතර තිබෙන සබඳතා සම්බන්ධයෙන්ය. පසුගිය කාල වකවානුව පුරා ලංකාවේ ආරක්ෂක හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ ඉතා සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. ඒ හරහා ලංකාවේ ආරක්ෂක අංශ වෙත විශාල ගෞරවයක් හා පිළිගැනීමක්ද ජාත්‍යන්තරය තුළ හිමිව තිබිණ. කෙසේ වෙතත් ලැබී ඇති නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව දරනා ස්ථාවරය මත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ලංකාවේ ආරක්ෂක හමුදා සම්බන්ධ කිරීම පිළිබඳව දැඩි තීන්දුවක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමකින් සිටින බවකි. රෝස්මරීගේ මෙවර සිදුවන ලංකා සංචාරයේදී ආණ්ඩුව ඊට දක්වන ප්‍රතිචාර අනුව එම තීන්දුව ගැනීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කර ඇත.
රෝස්මරීගේ සංචාරය හරහා මතුවීමට නියමිත මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ලංකා ආණ්ඩුවද නොදන්නවා නොවේ. ඒ අනුව ආණ්ඩුව තීන්දු කර ඇත්තේ ඉතා උපක්‍රමශීලීව රෝස්මරීගේ ලංකා සංචාරය කළමනාකරණය කිරීමටය. මන්දයත් 2015 දී රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවූයේ මානව හිමිකම් සමබන්ධ ප්‍රශ්න නිසා බවත්, ඉන්දියාව සහ ඇමෙරිකාව ලංකාවට එරෙහිව අවි අමෝරා ගැනීම නිසා බවත් ආණ්ඩුවට මතක ඇතුවාට සැක නැත. එම නිසා ආණ්ඩුව මෙවර සැලැසුම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඇමෙරිකාවත් තරහ කර නොගෙන මෙම ප්‍රශ්නය සාමකාමීව ගොඩින් විසඳා ගැනීමටය.
මහින්දට කල්තියාම ඉගියක් දෙයි
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වන රෝස්මරීගේ ලංකා ගමනට දින කිහිපයක් තබා ඒ සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ලබා දෙන ආකාරයේ සිදුවීමක් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින සිදුවිය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් එවීමය. එම ලිපිය මගින් ඇය අවධානයට යොමු කර තිබුණේ මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ අයිතිවාසිකමක් පිළිබඳවය. එනම් කොරෝනා රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය කිරීමට ඔවුන්ට ඇති අයිතිය ආණ්ඩුව විසින් වළකා තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්ය. මුස්ලිම් සිරුරු භූමිදානය කිරීමේ අයිතිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිගෙන ඇති බව එහිදී අගමැතිවරයාට පෙන්වා දී ඇති සිංගර් මහත්මිය ඒ අයිතිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
ආණ්ඩුව ඇතුළේ භූමදාන යුද්ධය
මේ ආකාරයට ආණ්ඩුව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නයකට මුහුණදීමේ පෙරමඟ ලකුණු පහළ වී ඇති පසුබිමක කොරෝනා රෝගය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම මුල් කරගෙන රට ඇතුළේ ප්‍රශ්නයකටද මුහුණ දී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. මීට මාස කිහිපයකට පෙර සිටම මෙම ප්‍රශ්නය මුස්ලිම් සමාජයෙන් වරින්වර මතුව ආ අතර ඔවුන් කියා සිටියේ මුස්ලිම් ආගමට අනුව මළ සිරුරු භූමිදානය කරන බවත්, ඒ අනුව කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ද භූමිදානය කිරීමට ආණ්ඩුව අවසර ලබා දිය යුතු බවත්ය. ලෝකයේ අනෙකුත් සියලුම රටවල් ඒ සඳහා අවසර ලබා දී ඇති බව පෙන්වා දී තිබූ ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඊට අවසර ලබාදී ඇති බව කියමින් ආණ්ඩුවට විශාල බලපෑමක් කිරීමටද පියවර ගෙන තිබිණ. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා වන අලි සබි්‍ර මහතා මුස්ලිම් ජාතිකයකු වන බැවින් මුස්ලිම් සමාජයෙන් ඔහුටද දැඩිව බලපෑම් එල්ලවීමට පටන් ගත්තේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස දැනුම් දෙමින්ය. පසුගිය සතියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ද සබි්‍ර කියා සිටියේ තමන්ට ලැබෙන දුරකතන ඇමැතුම් සියයකින් අනූවක්ම මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් ලැබෙන ඇමැතුම් යැයි කියාය.
සබ්‍රි මාතෘකාව ඇදගනී
කෙසේ වෙතත් පසුගිය සඳුදා (09දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මුලින්ම ඒ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට රැගෙන ආවේද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිමය. එහිදී සබ්‍රි මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් එන ඉල්ලීම දීර්ඝ වශයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ පෙන්වා දීමට පියවර ගත්තේය. එහිදී ඒ සම්බන්ධයෙන් විවිධ ඇමැතිවරුන් විවිධ අදහස් පළකරද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී සිටියේ මේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයෙන් තීන්දු කර විසඳුම් ලබාදිය යුතු නොවන එකක් බවත්, එය සෞඛ්‍ය අංශ මඟින් සාකච්ඡා කොට තීන්දුවක් ගත යුතු එකක් බවත්ය.
මහින්දගේ මතය මෙන්න
“මගේ අදහස නම් මේක අපි මෙතැන සාකච්ඡා කරල තීන්දු කරන්න ඕනෙ එකක් නෙමෙයි. ඒක තීන්දු කරන්න ඕන සෞඛ්‍ය අංශවලින්. මොකද ඒ අය තමයි දන්නෙ කොරෝනා මළ සිරුරු භූමිදානය කළොත් ඒකෙන් ඇතිවෙන්න පුළුවන් තත්ත්වය හරි ඒ සම්බන්ධවෙන් වෙන අනෙකුත් කාරණා ගැන. මෙතැන ඉන්න අපිට ඒ සම්බන්ධයෙන් විශාල දැනුමක් නෑ. ඒ හින්ද මම නම් කියන්නෙ සෞඛ්‍ය අංශවල අදාළ නිලධාරීන් ඒ තීන්දුව ගැනීමේ අයිතිය භාරදෙමු කියලයි…” යනුවෙන් මහින්ද එහිදී කියා සිටියද පවතින තත්ත්වය පිළිබඳව සබ්‍රි දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරවීමට පියවර ගත්තේය. එහිදී අනෙකුත් රටවල කොරෝනා මළ සිරුරු භූමිදානය කරන ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක්ද කැබිනට් මණ්ඩලය හමුවේ තැබීමට සබි්‍ර පියවර ගෙන තිබිණ. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයාද කැබිනට් මණ්ඩලයට දැනුම්දී සිටියේ ඒ සඳහා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත යුතු බවත්, එම අංශවලින් අනුමැතිය ලැබෙන්නේ නම් එසේ කිරීමට සුදුසු පරිසර තත්ත්වයන් ඇති ස්ථාන සොයා බැලීමට කටයුතු කළ යුතු බවත්ය. මේ බව ඬේලිමිරර් වෙබ් අඩවිය එදිනම සිය වෙබ් අඩවියේ එම පුවත පළ කළ අතර ඔවුන් කියා සිටියේ කැබිනට් මණ්ඩලය කොරෝනා මළසිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දුන් බවකි. නමුත් ආණ්ඩුවේ කිසිම පාර්ශ්වයක් එම පුවත අසත්‍යයක් කියා ප්‍රතික්ෂේප නොකිරීම විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව මන්නාරම් ප්‍රදේශයේ හිස් ඉඩම් ඊට සුදුසු බවත්, අදාළ මළ සිරුරු එම ප්‍රදේශයට රැගෙන යෑම සඳහා විශේෂ ගිලන්රථ සේවයක් සූදානම් කිරීමටත් කැබිනට් මණ්ඩලයේදී තීන්දු විය.
තව්හිද් ජමාත් ලියුම වැඩේ පත්තු කරයි
කෙසේ වෙතත් මේ ආකාරයට කොරෝනා මළ සිරුරු භූමිදානය කිරීම සඳහා අනුමැතිය දුන් බවක් අනෙකුත් සිංහල මාධ්‍ය මඟින් වාර්තා නොවිණ. නමුත් රටම ගිනිගත්තේ සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව රටට අනාවරණය කිරීමත් සමඟය. එහිදී තවුහිද් ජමාද් සංවිධානය ඉකුත් සඳුදා දින කියා සිටියේ ‘මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මුස්ලිම් මෘත දේහ භූමිදානය කිරීමට අවසර ලබාදුන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට තවුහිද් ජමාද් සංවිධානයේ අනන්ත අප්‍රමාණ ස්තුතිය පුදනවා’ යැයි කියාය.
සංඝයා වහන්සේලාත් සටනට බසිති
එම සංවිධානය නිකුත් කළ මෙම ලිපියත් සමඟ එක සැණෙන් දේශපාලන ක්ෂේත්‍රයම කැලඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් කළ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්, අක්මීමන දයාරතන හිමියන් මෙන්ම මැඩිල්ලේ පඤ්ඥාලෝක හිමියන්ද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවේ මෙම තීන්දුව දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගත්තේය. එහිදී ඥාණසාර හිමියන් කියා සිටියේ වත්මන් ආණ්ඩුවත්, 2010-2015 කාලයේ ආණ්ඩු කළ මහින්ද රාජපක්ෂගේ පාරේම යන්නට පටන්ගෙන ඇති බවකි.
චමල්-අමරවීර ඇත්ත කියති
එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලද දැඩි විරෝධයක් ඒ සම්බන්ධයෙන් එල්ල වීමත් සමඟ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කියා සිටියේ එවැනි තීන්දුවක් ආණ්ඩුව විසින් ගෙන නැති බවකි. නමුත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු පැහැදිලිවම කියා සිටියේ කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, කොරෝනා වැළඳුනු මුස්ලිම් මළ සිරුරු භූමිදානය කිරීම සඳහා ඉඩමක් සොයන ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී සිටි බවත්ය. එමෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ චමල් රාජපක්ෂ මහතාද හම්බන්තොටදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව සාකච්ජා වූ බවත්, ආණ්ඩුව ඊට අවසරය ලබා දුන් බවත්ය.
ආණ්ඩුවත් තීන්දුවක් ගනී
මේ අතරවාරයේ මුස්ලිම් සමාජය තුළ මෙය ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ හේතුව මත මෙම සිදුවීම මුල්කරගෙන සමාජ මාධ්‍ය ජාලාවල මතුවෙමින් පැවැති ආණ්ඩු විරෝධයද විශාල ලෙස ඉහළ යන ආකාරයක් දැකගන්නට තිබිණ. මේ තත්ත්වය ආණ්ඩුවටද නොදැනුණා නොවේ. ඒ අනුව ඉකුත් අඟහරුවාදා අලි සබි්‍රගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී ඊට සහභාගිව සිටි ඇතැමුන් පෙන්වා දුන්නේ කොරෝනා මළ සිරුරු භූමිදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයන්ට පමණක් ලබාදුනහොත් ඒ හරහා බරපතළ විරෝධයක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් විය හැකි බැවින් ඕනෑම ආගමක හෝ ඕනෑම ජාතියක පුද්ගලයකුගේ ඉල්ලීම මත භූමිදානය කිරීමේ අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බවය. ඊට එකඟතාව පළවිය.
20ට අත් උස්සපු මුස්ලිම් අය සද්ද නෑ
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගියදා සම්මත කෙරුණු විසිවැනි සංශෝධනයේදී ඊට පක්ෂව අත් එසවූ රවුෆ් හකීම්ගේ මන්ත්‍රිවරුනුත්, රිෂාඞ් බදුර්දීන්ගේ මන්ත්‍රිවරුනුත් මේ සම්බන්ධයෙන් කිසිදු වචනයක් හෝ ප්‍රකාශ නොකර නිහඬව සිටීමය. මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් ලෙස පෙන්වා දීමට ඔවුන් කටයුතු නොකළේ ආණ්ඩුවට එරෙහි විරෝධය උත්සන්න වෙමින් තිබීම නිසාය.
පළමු ප්‍රහාරය විමල්ගෙන්
කෙසේවෙතත් ආණ්ඩුව ඇතුළෙන්ම ඊට එරෙහිව පළමු ප්‍රහාරය නිකුත් වූයේ වෙන කාගෙන්වත් නොව අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන්ය. කඩුවෙල පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විමල් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ සාකච්ජා වූ නමුත් සිරුරු වළදැමීම සම්බන්ධයෙන් තීන්දුවක් නොගත් බවකි. එය සෞඛ්‍ය අංශවලින් ගතයුතු එකක් බවට තීන්දු වූ බවද විමල් කියා සිටියේය. මේ අතර තවුහිද් ජමාද් සංවිධානය නිකුත් කර තිබූ නිවේදනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වූ ප්‍රේමනාත් දොලේවත්ත මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. දොලේවත්ත කියා සිටියේ එහි ස
ඳහන් කරුණු අසත්‍ය බව ජනාධිපතිවරයා තමන්ට කී බවත්, ඒ හේතුවෙන් තමන් ඒ පිළිබ`ඳ පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කටයුතු කළ බවත්ය.
මහින්දගෙන් ෆවුසිට කෝල් එකක්
මේ සියල්ල අතරවාරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සිටියේ නැඟෙනහිර වැඩි මුස්ලිම් ජනතාවක් වෙසෙන දීඝවාපිය, මුහුදු මහා විහාරය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරයක නිරත වෙමින්ය. නැඟෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් සිටින අතරතුරදී මහින්දට බැසිල්ගෙන් විශේෂ පණිවුඩයක් ලැබිණ. ඉන් කියැවුණේ කලක් මහින්ද සමඟ ඉතාම සමීපව දේශපාලනය කළ ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ බිරිය අසනීප තත්ත්වයෙන් පසුවනවා යැයි කියාය. පසුකලෙක ෆවුසි සමඟි ජන බලවේගය හා සම්බන්ධ වුවද රාජපක්ෂ පවුල හා ෆවුසි පවුල අතර තිබුණේ කෙදිනකවත් බිඳිය නොහැකි සමීප සම්බන්ධතාවයකි. ඒ අනුව ෆවුසිගේ බිරියට අසනීප බවට වූ පුවත ලැබීමෙන් පසු බැසිල් ඒ පිළිබඳව සොයා බලා තහවුරු කරගෙන පසුව වහාම එම පණිවුඩය මහින්දට දුන්නේය. මහින්ද කළේ අනෙක් පැත්තට වහාම ෆවුසිගේ පුතා වූ නවුසර් ෆවුසිට ඇමැතුමක් ලබාගැනීමය. එහිදී මවගේ තත්ත්වය විමසා දැනගත් මහින්ද ඉන් අනතුරුව ෆවුසිට කතා කිරීමටද අමතක නොකළේය.
ඒ අනුව ෆවුසි සමඟ සුළු මොහොතක් බිරියගේ තත්ත්වය හා ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුර එක්වරම ෆවුසි මහින්දගෙන් විමසා සිටියේ ඒ වන විට මුස්ලිම් සිරුරු භූමිදානය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය පිළිබඳවය.
“මොකක්ද අගමැතිතුමා මේ මුස්ලිම් සිරුරු භූමිදානය කරන්න දුන්න කියන කතාවේ ඇත්ත නැත්ත. කට්ටියක් කියනව කැබිනට් එකේදි මේකට අනුමැතිය දුන්න කියලා. තවත් කට්ටියක් කියනවා එහෙම එකක් වුණේ නෑ කියලා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔබතුමාල ගත්ත තීන්දුව මොකක්ද කියල හරියටම අපිට කියන්න..” යනුවෙන් ෆවුසි මහින්දගෙන් ප්‍රශ්න කරද්දී මහින්ද කියා සිටියේ අදාළ සාකච්ඡාව කැබිනට් මණ්ඩලයේ මතුවෙද්දී තමන්ගේ ස්ථාවරය කැබිනට් මණ්ඩලයට දැනුම්.දුන් බවකි.
“ඒ ගැන මම නම් කියන්න දන්නෙ නෑ. එක එක්කෙනා ඒ ගැන එක එක කතා කියනව මටත් ඇහුණා. හැබැයි මගේ මතය නම් ඒ ගැන තීන්දු කරන්න ඕනෙ කැබිනට් මණ්ලයෙදි නෙමෙයි. ඒ තීන්දුව ගන්න ඕනෙ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ඉහළ නිලධාරීන් විසින්. ඒක මම කැබිනට් එකටත් කිව්වා…” යනුවෙන් මහින්ද කියද්දී ෆවුසි කියා සිටියේ මෙය සියලුම මුස්ලිම් ජනතාවට බලපාන බරපතළ ප්‍රශ්නයක් බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන් ඒ පිළිබඳව විමසා සිටිද්දී ඔවුන් ඊට විරෝධය පළ කළ බවත්ය. මහින්ද එහිදී කියා සිටියේ තමන්ද කීවේ එයම යැයි කියාය.
පක්ෂ නායක රැස්වීම උණුසුම්
ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී 2020 වසරේ අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එදින මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒ අවස්ථාව දක්වා පෙළගැසුණු සිදුවීම් පෙළෙහි ඉතා රසවත් සිදුවීම් කිහිපයක්ම ගැබ්ව තිබිණ. ඒ, බ්‍රහස්පතින්දා දිනයේ අය වැය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සඳහා ඉතා උණුසුම්කාරී පක්ෂ රැස්වීම් දෙකක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුව තිබුණු බැවිනි. ඉන් පළමු රැස්වීම පැවැත්වුණේ පසුගිය සඳුදා දිනයේදීය. මෙහිදී සමඟි ජන බලවේගය නියෝජනය කරමින් රැස්වීමට සහභාගිව සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදය සඳහා දින දෙකක්වත් විපක්ෂයට අවශ්‍ය බව දැනුම් දී සිටියේය. නමුත් ඊට මුල් අදියරේදීම දැඩි විරෝධය පළ කළ දිනේෂ් කියා සිටියේ මේ වන විට 2020 අය වැයෙන් සියයට 80ක පමණ ප්‍රමාණයක් අවසන් වී ඇති බවත්, ඉතිරි සියයට 20 සඳහා දින දෙකක විවාදයක් ලබාදීම තේරුමක් නැති කටයුත්තක් බවත්ය. එම සංවාදයට මැදිහත් වෙමින් ජී.එල්. පෙන්වා දුන්නේ රට තුළ මතුව ඇති කොරෝනා වසංගතය හේතුකොටගෙන අදාළ විවාදය සඳහා දින දෙකක් ලබාදිය නොහැකි බවත්, ඊට බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ සිට සවස්වරුව දක්වාම කාලය ලබාදිය හැකි බවත්ය.
ඉන් අනතුරුව සාකච්ඡාවට මැදිහත් වූයේ ජවිපෙ නායක අනුරය. අනුර පක්ෂ නායකයන්ට පෙන්වා දුන්නේ මේ මොහොතේ රටේ ඇති බරපතළම ප්‍රශ්නය 2020 අයවැය නොවන බවත්, කොරෝනා වසංගතය බරපතළ තත්ත්වයට පත්ව ඇති බැවින් ඒ පිළිබඳව කතා කිරීම සඳහා කාලය වෙන්කළ යුතු බවත්ය. ඒ අනුව අවසානයේදී ආණ්ඩුව තීන්දු කළේ පෙරවරු 10.00 සිට සවස 4.30 දක්වා කාලය අයවැය සම්බන්ධව විවාද කිරීමට වෙන් කිරීමටත්, 4.30 සිට 7.30 දක්වා කාලය කොරෝනා සම්බන්ධ විවාදයට ලබාදීමටත්ය.
අයවැයට ආණ්ඩුවෙන් දින 12යි
ඉන් අනතුරුව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වූයේ 2021 වසර සඳහා ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය වැය සම්බන්ධයෙනි. මෙහිදීද ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම පෙන්වා දුන්නේ රට තුළ කොරෝනා වසංගතය බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇති බැවින් වැඩි කාල වේලාවක් අය වැය විවාදය සඳහා ලබා දිය නොහැකි බවත්, දින 12ක කාලයක් පමණක් ඒ සදහා වෙන් කළ හැකි බවත්ය. නමුත් විපක්ෂය ආණ්ඩුවේ මෙම ස්ථාවරයට එකඟතාවය පළ කළේ නැත. විශේෂයෙන් කිරිඇල්ල පෙන්වා දුන්නේ එය කිසිසේත්ම සිදු කළ නොහැකි බවත්, අමාත්‍යාංශ 26ක් පවතින බැවින් ඒ සෑම අමාත්‍යාංශයටකටම දිනක් බැගින් දින 26ක් අය වැය විවාදය සඳහා ලබාදිය යුතු බවත්ය. නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු එකඟතාවක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එහෙත් විපක්ෂය ඊට දැඩිව විරෝධය පළකිරීමත් සමඟ ආණ්ඩුව කියා සිටියේ එසේ නම් එය පසුව තීන්දු කරමු යැයි කියාය.
මාධ්‍යට විවාදය තහනම්
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ රිෂාඞ් ඇතුළු සිරගතව සිටින මන්ත්‍රිවරුන් සහ මාධ්‍ය අය වැය විවාදයට කැඳවන්නේද යන්න සම්බන්ධයෙන්ය. මේ වන විට පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීමත්, බන්ධනාගාර ඇතුළේ කොරෝනාව ශීඝ්‍රයෙන් පැතිර යෑමත් ඊට හේතුවී තිබිණ. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම්දී සිටියේ අවදානමක් ගත නොහැකි නිසා අය වැය විවාදය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ඉඩලබා නොදෙන බවකි. සියලු විස්තර පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් ලබාගත හැකි බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
එහිදී දෙමළ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් ඊට විරෝධය පළ කරමින් පෙන්වා දුන්නේ සජීවී විකාශය සිංහල භාෂාවෙන් පමණක් සිදුකෙරන නිසා දෙමළ සහ මුස්ලිම් මාධ්‍යවේදීන්ට එහිදී කිසියම් අසාධාරණයක් සිදුවනවා යැයි කියාය. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ අය වැය විවාදය දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන්ද විකාශය කිරීමට කටයුතු සූදානම් කළ හැකි යැයි කියාය.
හිරේ ඉන්න මන්ත්‍රීවරු ගෙන්වයි
රිෂාඞ් ඇතුළු සිරගතව සිටින මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී විපක්ෂය කියා සිටියේ එය ඔවුන්ගේ අයිතියක් බැවින් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට ඔවුන්ට ඉඩ ලබාදිය යුතු යැයි කියාය. විපක්ෂයේ අදහස් දැක්වීමෙන් පසු අවසානයේදී පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ එසේ නම් ඉතාම ආරක්ෂිතව රිෂාඞ් ඇතුළු සිරගතව සිටින මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට රැගෙන විත් සභාගර්භයෙන් පිටත ස්ථානයක තබා ඡන්ද විමසීමක් වැනි වැදගත් කටයුත්තක් සිදුවුවහොත් පමණක් සභා ගර්භයට පැමිණීමට ඔවුන්ට අවසර ලබාදිය හැකි යැයි කියාය.
ටී පාටිය නෑ: තානාපතිවරුන්ට විතරක් තේ
එමෙන්ම මන්ත්‍රිවරුන් එක්රැස් වීම සීමාසහිත කළ යුතු බැවින් අය වැය ඡන්ද විමසීම අවසානයේදී පැවැත්වීමට නියමිත තේපැන් සංග්‍රහය අවලංගු කිරීමටද එහිදී තීන්දු විය. කෙසේ වෙතත් විවාදය නැරඹීම සඳහා පැමිණෙන විදෙස් තානාපතිවරුන්ට පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී තේපැන් සංග්‍රහයක් පමණක් ලබාදීමටද අවසානයේදී තීන්දු විය. ඒ අනුව පළමු පක්ෂ නායක රැස්වීම අවසන් වූයේ අය වැය විවාදයේ දින ගණන පිළිබඳව අවසන් තීන්දුවක් නොගෙනය.
ආණ්ඩුවේ 12 විපක්ෂය 21 කරගනී
මේ ආකාරයට අය වැය විවාදයේ දින ගණන සම්බන්ධයෙන් පළමු පක්ෂ නායක රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් මතුවූ බැවින් දෙවැනි පක්ෂ නායක රැස්වීමට සහභාගි වීම සඳහා පක්ෂ නායකයන් අතර වෙනදා දැකගන්නට නොලැබුණු කිසියම් උනන්දුවක් පැවැති ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පසුගිය බදාදා දහවල් 11.00ට ආරම්භ වූ දෙවැනි පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම අය වැය විවාදය සඳහා අමාත්‍යාංශ ප්‍රමාණයට සරිලන ආකාරයට දින 26ක් දැඩිව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවට ඒ වන විට ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධාන නායකයන්ද කිසියම් එකඟත්වයකට පැමිණ තිබිණ. ඒ අනුව පක්ෂ නායක රැස්වීම ආරම්භ වීමත් සමඟ සජිත්, කිරිඇල්ල, අනුර දැඩිව ආණ්ඩුවට දැනුම් දී සිටියේ කොරෝනා තත්ත්වය පැවැතියද ඒ පිට දමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩාබිඳ දැමීමට ආණ්ඩුවට ඉඩ ලබාදිය නොහැකි බවය. එම නිසා දින 12කට කිසිසේත්ම එකඟ විය නොහැකි බව එහිදී පෙන්වා දුන් විපක්ෂයේ පක්ෂ නායකයෝ ඒ සඳහා දින 26ක් අවශ්‍ය බව දැඩිව ආණ්ඩුව වෙත දැනුම්දී සිටීමටද කටයුතු කළහ. මේ අයුරින් විපක්ෂයෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුකොටගෙන අවසානයේදී ආණ්ඩුවටද සිදුවූයේ අඩියක් පසුපසට ගන්නටය. ඒ අනුව අය වැය විවාදය සඳහා දින 12 වෙනුවට දින 21ක් විපක්ෂයට ලබාදීමට ආණ්ඩුවට සිදුවිය.
ආණ්ඩුවේ තීන්දුවට බැසිලුත් විරුද්ධයි
මීට අමතරව පසුගිය බදාදා සවස බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීද අය වැය සඳහා ලබාදුන් මේ දින ගණන පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ම ප්‍රශ්න කරන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ආණ්ඩුවේ නවක මන්ත්‍රිවරුන් මෙහිදී බැසිල්ට පෙන්වා දුන්නේ තමන් පාර්ලිමේන්තුවට පැමිණි පසු පවත්වන පළමු අය වැය විවාදය මෙය බවත්, එහිදී තමන්ට කතා කිරීමට ලැබී ඇත්තේ විනාඩි 2ක, 3ක කාලයක් බවත්, එම නිසා අය වැය විවාදයට තවත් වැඩිපුර දින කිහිපයක් ලබාදෙන්නේ නම් එය ඉතා හොඳ බවත්ය.
නවක මන්ත්‍රිවරුන්ගේ පැමිණිල්ල එහිදී බැසිල් විසින්ද අනුමත කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
“ඒකනෙ… ඇයි ආණ්ඩුව දවස් 26ක් ඒකට දුන්නෙ නැත්තෙ. මොකද ඒ ගාන දුන්න කියල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වුණේ අපේ මන්ත්‍රිවරුන්ට කතා කරන්න ලැබෙන කාලය අඩුවෙච්ච එක විතරයි. මම මේ ගැන ආණ්ඩුවේ අපේ අයගෙන් අහලා බලන්නම්…” යන්න එහිදී බැසිල් ලබා දුන් පිළිතුර විය. බැසිල් මෙම රැස්වීම කැඳවා තිබුණේ දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා සභාපතිවරුන් පත්කිරීම සඳහාය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙන් වෙන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් කැඳවා තිබුණත් ඔවුන්ට ලබාදුන් වේලාවන්ටම රැස්වීම් ආරම්භ කිරීමට බැසිල් පියවර ගෙන තිබීමය. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්වලින් යම් යම් ගැටලු ඉදිරිපත් කරද්දී ඒ මොහොතේදීම ඒවා විසඳාලීමට බැසිල් පියවර ගැනීමද විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී නවක මන්ත්‍රිවරු බැසිල්ගෙන් එක්තරා විශේෂ ඉල්ලීමක්ද කළේය. ඒ මේ අයුරින් එළියේ සිට කටයුතු කරනවාට වඩා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව ඇතුළට පැමිණ වැඩ ආරම්භ කරන්න යැයි කියාය.
බැසිල්ට එන්න ලියුමක් අස්සන් කරයි
“ඇයි සර් මෙහෙම එළියට වෙලා වැඩ කරන්නෙ. දැන් ඔබතුමා පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්න ඕනෙ වෙලාව. මොකද පාර්ලිමේන්තුව ඇතුළෙ අපේ මන්ත්‍රි කණ්ඩායම සම්බන්ධීකරණය කරන්න, ඒ අයට නායකත්වය දෙන්න මේ වෙලාවෙ හරි කෙනෙක් නෑ. ඒ හින්ද ඔබතුමා දැන්වත් පාර්ලිමේන්තුවට ආවොත් මේ තියෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන්..” යනුවෙන් නවක මන්ත්‍රිවරු කියද්දී බැසිල් සිනාසෙමින් කියා සිටියේ “එහෙම වෙයිද, එහෙම නැත්නම් මං ආවොත් තියෙන ප්‍රශ්න ටිකත් වැඩිවෙයිද දන්නෙ නෑ..” යැයි කියාය. “නෑ සර් එහෙම වෙන්නෙ නෑ. එහෙම කතා කියන්නෙ අපෙත් එක්ක ඉන්න දෙතුන් දෙනෙක් විතරයි. අනෙක් හැමෝම කියන්නෙ ඔබතුමා දැන් පාර්ලිමේන්තු එන්න ඕනෙ කියලයි. මොකද අපේ කණ්ඩායමට නායකත්වය දෙන්න දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ කවුරුත් නෑ…” යනුවෙන් මන්ත්‍රිවරු නැවැත කියක්දී බැසිල් සිනාසුනා මිස ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත..
කෙසේවෙතත් නවක මන්ත්‍රිවරුන් බැසිල්ගෙන් මෙම ඉල්ලීම කර නිකම් සිටියේ නැත. බ්‍රහස්පතින්දා දිනයේදීම පාර්ලිමේන්තුවේදී බැසිල්ට බාරදීම සදහා ඔව්හු විශේෂ ලිපියකට අස්සන් තැබූහ. ඒ ලිපිය හරහා ඔවුන් බැසිල්ගෙන් ඉල්ලා ඇත්තේ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී රටට සේවය කිරීම ආරම්භ කරන ලෙසය. බ්‍රහස්පතින්දා සවස වනවිට ඊට සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.
බැසිල් පාර්ලිමේන්තු ආවෙ නැත්තෙ ඇයි?
කෙසේ වෙතත් මීට සති දෙකකට ඉහතදී මාධ්‍ය වාර්තා කර තිබුණේ බැසිල් පසුගිය 3 වැනිදා හෝ 12 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටිනවා යැයි කියාය. අප වෙබ් අඩවිය ඔස්සේ අපද එම පුවත පළකළ අතර, පසුව මුද්‍රිත මාධ්‍යද එය පුවතක් ලෙස පළ කරමින් බැසිල් පාර්ලිමේන්තු ඒමට සූදානමින් සිටින බවත්, ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින ජයන්ත කැටගොඩ හෝ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් වෙනුවෙන් මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත් වාර්තා කර සිටියේය. ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ 20 වැනි සංශෝධනය හරහා බැසිල්ට ද්විත්ව පුරවැසිභාවය තබාගෙනම පාර්ලිමේන්තු පැමිණීමේ ගැටලුවක් නොමැති නිසා මාධ්‍ය මඟින් අනාවරණය කළ පරිදි බැසිල් 3 වැනිදා හෝ 12 වැනිදා මන්ත්‍රි ධුරයේ දිවුරුම් නොදුන්නේ කුමන හේතුවක් නිසාද යන්න සියල්ලන්ටම ප්‍රහේලිකාවක් වී තිබිණ. ඒ අනුව අපිද, පිටිය සූදානම් වී තිබියදී බැසිල් පාර්ලිමේන්තු නොඒමට බලපෑ ඇති කාරණය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට එක් විශේෂ තොරතුරක් ලැබිණ. ඒ, බැසිල් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඒමට නියමිත නමුත් මේ වන විට ජාතික ලැයිස්තුවේ මතුව ඇති නීතිමය ගැටලුවක් මුල්කරගෙන දින කිහිපයකින් එම ගමන පමාකිරීමට සිදුව ඇති බවකි.
නීති ප්‍රශ්නයක් ඇවිත්
සාමාන්‍යයෙන් පවතින නීතියට අනුව මැතිවරණයට පෙර ජාතික ලැයිස්තුවට ඒ ඒ පක්ෂවලින් නම් කළ නියෝජිතයන් 29 දෙනාට අමතරව පිටස්තර පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් දැනට පාර්ලිමේන්තුවේ සිටින එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් හැරුණු විට ඉතිරි නියෝජිතයන් සියලු දෙනාම දිවුරුම් ප්‍රකාශ මඟින් ඊට තමන්ගේ අකැමැත්තන් නොමැති බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දිය යුතුය. මෙම නීති තර්කය බැසිල් සම්බන්ධයෙන් මතුවූයේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ජාතික ලැයිස්තුවට පිටින් සිටි රත්නසිරි වික්‍රමනායක පාර්ලිමේන්තුවට ගැනීම සඳහා සිදුකළ ක්‍රියාදාමය සාකච්ඡා මේසයට පැමිණීමත් සමඟය. එහිදී මුලින්ම හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ බිරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට පියවර ගත් අතර ඊට එරෙහිව වෙනත් පාර්ශ්වයක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබිණ. නමුත් එම නඩු තීන්දුව පැමිණීමට පෙර අදාළ ප්‍රශ්නය විසඳුන බැවින් අදටද එම නඩුව උසාවිය හමුවේ විභාගයට නොගෙන පවතින්නකි.
මහින්ද යනකම් හිටියාද?
ඒ අනුව යම් හෙයකින් බැසිල් පාර්ලිමේන්තු පැමිණීමේදී පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඉතිරිව සිටින ශ්‍රීලනිප නියෝජිතයන් හෝ විමල්ගේ හෝ උදයගේ පක්ෂ නියෝජිතයන් හෝ දිවුරුම් ප්‍රකාශ ලබානොදී ඊට විරෝධය පළකළහොත් ආණ්ඩුව කිසියම් අපහසුතාවකට මුහුණදීමට සිදුවන බව එහිදී සාකච්ජා වී තිබේ. ඒ අනුව එහි අවසන් තීන්දුව ගැනීමට සිදුවන්නේ මැතිවරණ කොමිසමටය. 19 වැනි සංශෝධනය අනුව පිහිටුවනු ලැබූ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ මහින්ද දේශප්‍රිය ඇතුළු නියෝජිතයන් තිදෙනා එහිදී බැසිල්ගේ නම ප්‍රතික්ෂේප කළහොත් අවුල තවත් දිග්ගැස්සෙනු ඇත. ඒ අනුව ආණ්ඩුව සිටියේ මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් වන තෙක්ය. එය ඉකුත් බදාදා දිනයෙන් අවසන් වූ අතර, 20 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසමක් පත්කිරීමේ හැකියාව මේ වන විට ආණ්ඩුව වෙත ලැබී තිබේ. ඒ අනුව ආණ්ඩුව සූදානමින් සිටින්නේ 20 වැනි සංශෝධනය යටතේ නව මැතිවරණ කොමිසමක් පත්කොට බැසිල්ව පාර්ලිමේන්තුව ඇතුළට ගන්නටය.
මහින්ද වෙනුවට නිමල්
එසේ නම් මහින්ද දේශප්‍රිය වෙනුවට මැතිවරණ කොමිසමට පත්වන අලුත් කොමසාරිස්වරයා කවුද? මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අප එයද හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ අනුව ආණ්ඩුව සූදානමින් සිටින්නේ නව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පත්කිරීමටය.
නිමල් පුංචිහේවා යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ සිටම රාජපක්ෂවරුන් සමඟ ඉතාම හිතවත්ව කටයුතු කළ නීතිඥවරයෙකි. විශේෂයෙන් ඉකුත් භීෂණ සමයේදී මහින්ද රාජපක්ෂ සමඟ මානව හිමිකම් නඩු රැසකට පෙනී සිටියේ මේ නිමල් පුංචිහේවාය. මේ හේතුව නිසාම නිමල් පුංචිහේවා සහ රාජපක්ෂවරුන් අතර ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩනැඟී තිබුණු අතර, මහින්ද ජනාධිපති වීමෙන් අනතුරුව ආණ්ඩුවේ විවිධ නිලතල කිහිපයක්ම දැරීමට නිමල් කටයුතු කර තිබිණ. එමෙන්ම ඉකුත් යහපාලන රජය සමයේද මැතිවරණ කොමිසමේ නීති ලේකම්වරයා ලෙස නිමල් පුංචිහේවා කටයුතු කර තිබූ බැවින් ඔහුට එහි සභාපති ධුරය භාරදීමට මේ වන විටත් ආණ්ඩුව තීන්දු කර තිබේ. එම පත්වීම සිදුකළාට පසු පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් විසින් බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට යැවීමට නියමිත බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. මේ දිනවල ඊට අවශ්‍ය පසුබිම සැකසෙමින් පවතින අතර බොහෝ දුරට අය වැය විවාදය අතරතුරදී බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සිදුවනු ඇති බවට රාජ්‍ය රහස් තීරයට දැනගන්නට තිබේ.
මහින්ද වෙනුවට කබ්රාල්?
මේ අතර 2021 වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ආණ්ඩුව ඇතුළේ යම් සාකච්ජාවක් මතුව තිබේ. අපට දැනගන්නට ලැබී ඇත්තේ මෙවර අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් නොකරන බවකි. ඒ වෙනුවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අයවැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද ආරංචිය.
සජිත්ලාගෙන් පවිත්‍රාට මුට්ටියක්
මේ අතරවාරයේ සජිත්ගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂය කිසිවකුත් නොසිතූ දේශපාලන තීන්දුවක් ගැනීමට මේ වන විට සියලු සැලැසුම් සකස් කර අවසානය. ඒ සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටය. කොරෝනා ආරම්භ වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරිය රට හමුවේ තැබූ ප්‍රකාශත්, ඉන් අනතුරුව සජිත් ඇතුළු විපක්ෂයේ ප්‍රශ්න කිරීම් හමුවේ පවිත්‍රා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශත් මෙම විශ්වාසභංගය සඳහා හේතුපාදක වී ඇති බව දැනගන්නට ඇත. එමෙන්ම වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට සැපයීම, නිසි ආරක්ෂිත උපකරණ ලබා නොදී සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ජීවත අවදානමකට ලක්කිරීම, මුව ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බව විටින් විට ප්‍රකාශ කිරීම, වසංගතය අවසන්ව නොතිබියදීත් එය අවසන් බවට දින වකාවානු සහිත ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීම යනාදී කරුණුද සමඟි ජන බලවේගය පවිත්‍රාට එරෙහිව මෙම විශ්වාසභාංගයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණත් විපක්ෂය සිය කාර්යභාරය නිසි අයුරින් සිදුකරන බව රටට පෙන්වීම මෙම විශ්වාසභංගයේ එක් අරමුණක් වී තිබේ. ඒ අනුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමටත්, ඊට සුබ මොහොතින් මන්ත්‍රිවරුන්ගේ අස්සන් ගැනීමටත් තීන්දු විය.
කිරිඇල්ලට අලුත් වැඩක්
කෙසේ වෙතත් මුලදී යෝජනාව පැමිණ තිබුණේ සමඟි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් එම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමටය. නමුත් පසුගිය බදාදා සමඟි ජන බලවේගයේ පැවැති රැස්වීමකදී තීන්දු වූයේ සමඟි ජන බලවේගය වශයෙන් පමණක් නොව සමස්ත විපක්ෂය ලෙස මෙම විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ යුතු යැයි කියාය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවරීමට සජිත් පියවර ගත්තේය.
කලුතරම සජිත්ට
මේ අතර දිනෙන් දින සමගි ජනබලවේගය සමග විවිධ පාර්ශව එක්වෙමින් සිටින අතර කලුතර නගරාධිපති ආමීර් නසීර් මහතා ඇතුලු නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11 දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළහ.
සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඇතුලු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. ඊට පසුදාද විශේෂ පුද්ගලයෙක් සජිත් සමග එක්ව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූයේ එකට එක්වී ඉදිරි දේශපාලන කටයුතු කරන ආකාරය පිළිබඳවය. ඒ, ජනාධිපති නීතීඥ, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරාය. මේ අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.
රුවන් සිරිකොත වළපල්ලටම යවයි
මේ ආකාරයට සමඟි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් කරමින් සහ සිය බලය තහවුරු කරගැනීමේ මෙහෙයුමක යෙදී සිටියත් එහි මුල් පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය නම් සිටින්නේ තවත් පහළට ඇදවැටෙමින්ය. යම්කිසි වෙනසක් බලාපොරොත්තුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි නියෝජ්‍ය නායකයා ලෙස තරුණ රුවන් විජේවර්ධන මහතා පත්කළද රුවන් විසින් එජාපය එක දශමයකින් හෝ වෙනස් කොට ඇති ආකාරයක් දැකගන්නට නැත. මේ වන විට එජාප පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට අත්ව ඇති ඉරණම ඊට හොඳම උදාහරණයය. මන්දයත් පසුගිය කාලයේ එජාපය අසීරුවෙන් හෝ සිරිකොත සේවකයන්ගේ පඩිනඩි ගෙවාගෙන එහි නඩත්තු කටයුතු සිදුකළත් මේ වන විට සිරිකොත සිය සේවකයන්ගේ පඩිනඩි ගෙවීමට පමණක් නොව විදුලි, ජල, දුරකතන බිල් පවා ගෙවාගත නොහැකි තත්ත්වයට ඇදවැටී ඇති බවක් දැකගන්නට තිබේ. ඒ හේතුවෙන් මේ දිනවල විදුලිය කපා ගොස් සිරිකොත ඇත්තේ අඳුරේය. සේවකයන්ට පඩිනඩි නොගෙවීම හේතුවෙන් ඔවුන් සිටින්නේ ගෙවල්වලය. රුවන් නියෝජ්‍ය නායකයා වශයෙන් පත්වීම් ලැබ සිරිකොත ක්‍රියාකාරී ස්ථානයක් බවට පත්කරනු ඇතැයි රනිල් සිතා සිටියත්, මේ වන විට සිදුව ඇත්තේ රුවන්ගේ පත්වීමෙන් පසු සිරිකොත තවදුරටත් වළපල්ලට ගොස් තිබීමය.
කපිල පුංචිමාන්නගේ