“පෙදෙන් බුදුසිරිත” යන්න අපේ පුරාණ සාහිත්‍යකරණයේ සිද්ධාන්තයකි. කාව්‍යයක් රචනා කිරීමේදී බුදුසිරිතක්ම පාදක කරගත යුතු බව ඉන් ඉගැන්වෙන්නකි.
කුස ජාතකය පදනම් කරගත් “කව් සිළුමිණ ”දඹදෙණි යුගයේදී කලිකාල සාහිත්‍ය පණ්ඩිත (නැම්බඹර) දෙවැනි පරාක්‍රමබාහු රජතුමාණන් සහ සත්ථුභත්ත ජාතකය පාදක කරගනිමින් කෝට්ටේ යුගයේදී ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල මාහිමියන් “කාව්‍යශේකරය” අපට තිළිණ කරනු ලැබ ඇත්තේ ඒ අනුව යැයි පෙන්නාදීම අනගි සාධක වේ.
එහෙත් ඒ මහා කාව්‍යයන්හි කාන්තාව ගරු (ගෞරවනීය) තණ්හි ලා සලකා ඇතිවා මිස කිසිදු ආකාරයක ගර්හාවට හෝ නිගාවට හෝ ලක්කිරීමට තරම් ඒ කිවිවරුන් දෙපළ මානසික රෝගීන්වී නැත්තේමය.
ස්ත්‍රී වර්ගයා පිළිකුලෙන් හෙළාදුටු නාරිද්වේශයෙන් පෙළුණු නෂ්ඨකාම රෝගීන් ඒ සමයේ විසුවේ බමුණු ගෝත්‍රයේය.
ගෙයි මුල්ලට කොටුකර සිටි කාන්තා පාර්ශ්වයේ විමුක්තිය වෙනුවෙන් පළමු සිංහ නාදය පැවැත්වූවෝ බුදුන්වහන්සේමය.
ඉතාම කනගාටුදනවන පුදුමය නම් මේ යුගයේ පවා ඒ බමුණු ගෝත්‍රිකයෝ සංස්කෘතික අවිය ලෙළවා මහා බ්‍රහ්මයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයට වධහිංසා (ප්රචණ්ඩත්ව) පැමිණවීමය.
උදාහරණ පාකිස්තානයේ එමටය. මේ දක්වාම පාකිස්තානයේ නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍යද විකාශය වෙන විනෝදාත්මක වැඩසටහන්ද නාරිද්වේශය සහ පීතෘමූලික සිද්ධාන්ත හුවාදැක්වෙන ඒවාය.
ලේකඛයන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයන්ගේ සිතුවිලි ධාරාව යොමුවිය යුත්තේ සමාජයේ (මහ පොළොවේ) ජීවත්වන පොදු මිනිහාගේ සමාජ තත්ත්වය විදාරණය කිරීම සඳහාය. එහෙත් යථෝක්තයන්ගේ ආකල්පය වනාහි සෑම දෙනාම ඔවුනගේ “එහෙයි ධර්මතාව” අනුව ශාන්ත දාන්ත තීන්ත කූඩු”වැ සිටිය යුත්තෝ බවය.
ගෙවීගිය දශක ගණනාවක අත්දැකීම් අනුව පාකිස්තාන සමාජ ඉදිරිගමන රේල් පීල්ල සහ රෝදය සේ කැරකීමක් මිස නව මගක් නැති බව එරට ප්‍රාඥයෝ අවබෝධ කරගෙන ඇත්තාහ යැයි කියති. පාකිස්තාන සමාජය පුරුෂාර්ථය ඉස්මතු කරමින් ස්ත්‍රී වර්ගයා ගෙයි මුල්ලටම දැක්කීම මිස සමාජ ව්‍යුහයේ වෙනසක් පෙනෙන තෙක් මානයක නොවන බව මතයයි. කාන්තා චරිතය දුබල චරිතයක් වශයෙන් එරට සෑම මාධ්‍යයකින්ම පාහේ සමාජගත කරන්නේ ඇය පුරුෂාධිපත්‍යයේ අතකොළුවක් බැව් කීමටය. පුරුෂයකුගේ ආරක්ෂාව යටතේ සිය දෛනික පැවැත්ම උදෙසා අරගලයක යෙදෙමින් ස්ත්‍රිය සමාජ අවශ්‍යතා රුචි අරුචිකම් තෘප්තිමත් කරමින් ජීවත්විය යුතු “අනුකම්පිත සත්වයකු” වශයෙන සැලකේ. ඇය (කාන්තාව) පාකිස්තානු ටෙලිනාට්‍යවල සූරාකෑම උදෙසා නටවන්නියකි. ඒ, චරිතය මවකගේ හෝ දියණියකගේ හෝ ලේලියකගේ හෝ යන සියල්ලෙන් එකකට පමණක් සීමිතය. ඉතිරිය වනාහි “දුර්වල සතෙකි” යන හැඟුම පුරුෂ සන්තානයට කාවද්දන්නකි.
අනාදිමත් කාලයක (ඈත අතීතයේ) සිටම ඕ ගෘහිණියකි. ගේ දොර රැකීම, දරුවන් වැදීම හැදීම පුරුෂ සන්තර්පණය ඇගේ රාජකාරිය වශයෙන් ගලේ කෙටුවා සේ සඳහනි. ඇය ජන්මය ලද්දී ඒ කාර්යය උදෙසාමය. ඒ කාර්යභාරය වර්තමානයේ පවා ස්ත්‍රී වර්ගයාගෙන් ඈත්ව නොවන්නක් යන්න ටෙලිනාට්‍යවල තේමාව බව විශේෂඥ මතය වී ඇත. කාන්තාව පත්ව ඇති මේ සංස්කෘතික වින්දිතභාවය නිසා ඇයට ස්වතන්ත්‍ර ස්වාධීනත්වය යන්න කිසි දිනෙක නොලබන ගණයටද පත්ව තිබේ.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය, වෛවාහක අතවරය (සැමියාගෙන් සිදුවන ලිංගික හිරිහැරය) ගෞරවනීය ඝාතනය, ඇසිඩ් ප්‍රහාර සහ ලිංගික කොන් කිරීම යන සිද්ධීන් පාකිස්තාන නාට්‍යවල ඉතා වැදගත් සේ සැලකෙන බව විචාරක මතයයි.
ලිංගික හැසිරීමකට පුරුෂයකු දරන උස්සාහය හෝ එවන් බලහත්කාර ක්‍රියාකාරකම් නිරූපණය කෙරෙන ටෙලිනාට්‍ය දර්ශන නිසා රටේ ලිංගික හිංසනාත්මක සිද්ධීන්වල සංඛ්‍යාත්මක වර්ධනය ඉහළ අගයකට ගොස් ඇති බව නිරීක්ෂණයවී තිබේ. ඒ දර්ශන හුවාදැක්වීමේ ප්‍රතිඵලය ඒවා සමාජයේ (රටේ) සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.
බරුවා (සැමියා) බිරියට තිරිසන් අන්දමින් කෙරෙන පහරදීම් සහ විවිධ අන්දමින් කෙරෙන හිංසා නිතර නිතර රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කිරීමෙන් එවැනි දේ විවාහක ජීවිතයක එක කොටසක් ලෙසට පත්ව ඇතිබව පරීක්ෂණවලින් සනාථවී ඇත.
පාකිස්තානු කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනීසිටින “තස්නිම් අහවර්” කාන්තා මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ ගවේෂණාත්මක ආයතනයක් පවත්වාගෙන යන්නියකි. පාකිස්තානයේ රූපවාහිනී නාලිකාවලින් විකාශය කෙරෙන වැඩසටහන් අතරින් 99.99%ක්ම පුරුෂාධිපත්‍ය පතුරුවමින් නාරිද්වේෂය කුළුගන්වන වැඩසටහන් බව කියයි.
එරට සෑම රූපවාහිනී ආයතනයකින්ම පාහේ ප්‍රදර්ශනය කෙරෙන වැඩසටහන් නාට්‍ය රටේ සෑම මට්ටමකම, සෑම ප්‍රජා ස්ථරයකම හිත දිනාගත් ජනප්‍රිය ඒවා බව අවිවාදයෙන්ම පිළිගැනෙන්නකි. එහෙත් ඒ වැඩසටහන් හෝ නාට්‍ය මාලාවෙන් හෝ කෙරෙන අපගමනය වෙනුවට ප්රගමනයක් සැලසෙන්නේ නම් මහජනතාවට ඉමහත් ප්‍රතිඵලදායක වන බවක් නම් කිව හැකි යැයි ඕ කීවාය.
ටෙලි නාට්‍යවල එන බලවත් සහ ස්වාධීන කාන්තා චරිත සියල්ලම පාහේ කිසිදු වගකීමක් ඉටු නොකර පැහැරහරින සැමියාට අවනත නොවන මුරණ්ඩු චරිත වශයෙන් නිරූපණය කෙරෙන බව ටෙලිනාට්‍ය විචාරක මතයයි. එපමණක් නොව ඔවුන් (විචාරකයන්) පෙන්වා දෙන පරිදි ඒ කාන්තාවෝ නූගතියෝය. එහෙයින් ඔවුනට සැමියාගේ අණට යටත්ව නිවෙසේ වැඩ රාජකාරි කරමින් ජීවත්වීම දෙවියන් වහන්සේගේ කැමැත්තය. තරුණියන් නිවෙසට බරකි. ඔවුන් විවාහයට පොළඹවන්නේ එහෙයිනි.
අපේ (පාකිස්තානයේ) නාට්‍ය මාලාව අවම වශයෙන් මිනිසුන් ධනාත්මක චින්තනයටවත් හුරු කරන්නක් වියයුතු යැයි “කහවර් මුමුටාස්” කියන්නීය. “එහෙත් අපේ රටේ තියෙන්නෙ ඔළුවෙන් හිටගත් නාට්‍ය කලාවක් යැයි කී ඕ “මිනිසුන් පොදි ගැහී බලන “ඩන්ක්”කියන ටෙලි නාට්‍යයේ තේමාව “වින්ඳිතයන් යථාර්ථයට පත්විය යුතුයි” යන පණිවුඩය දීමේ එකක් වුවත් ඒ කාර්යය ඉටු නොවන බවද” කියයි.
රූපවාහිනිය සමාජයේම වැදගත් අංගයකි. එහෙත් කනගාටුවට සහ විස්මයට කරුණු නම් ඒ පිළිබඳ අංශුමාත්‍රයක තරම් අවබෝධයක් හෝ හැඟීමක් හෝ ඒ ක්ෂේත්රයේ සිටින නිෂ්පාදකයන්ට, තිර රචකයන්ට නොතිබීමයි. ඔවුන්ගේ චින්තන රටාව උතුරට යාමේ අරමුණින් දකුණ බලා ධාවනය කෙරෙන බස් රථයකට ගොඩවී සිටින මගීන් සේ කටයුතු කිරීමයි.
“අප වෙනස් වන ලෝකවාසීන් සමග එකට අත්වැල් බැඳගත යුතුය” යන ආකල්පයේ සිටින සුළුතරයක්ද රටේ සිටීම භාග්‍යයක්. රූපවාහිනීවලින් මොනයම් දේ කීවත් පෙන්නුවත් ඔවුන් යථාර්ථවාදී යමක් එමගින් හෝ උකහා ගන්නවා”
පවුල් අවුල් කරවන ප්රචණ්ඩත්වය වපුරන දහජරා වැඩසටහන්වලට පිටුපා ඉතා යහපත් ජීවිත ගෙවන පිරිස්ද නැතුවා නොවේ. ඔවුන් අතර ස්වාමි භාර්යා සම්බන්ධය, දූදරු සම්බන්ධය අතිඋත්කෘෂ්ටයි. එවන් පවුල්වලින්, ඒ පවුල්වල කාන්තාවන්ගෙන් කෙරෙන සේවය අනූපමේයයි. රූපවාහිනියේ මාධ්‍යවල වගකීම ඒ අන්දමේ ආදර්ශවත් ජීවිත පිළිබඳ නාට්‍ය වැඩසටහන් ඉදිරිපත් කර යහපත් සමාජයක් ගොඩනැගීමට දායක වීමයි” කහවර් මුමුටාස් වැඩිදුරටත් පැවැසුවාය.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ











