මේ ගතවෙමින් යන්නේ ඔබේත් මගේත් ජීවිතවල සිහිනෙනිදු නොසිතූ කාලයකි. සියල්ල උඩු යටිකුරුව තිබේ. දහස් ගණන් මිනිස්සු ගැවසුණ තැන් පාලුවී ගොස්ය. ජීවිතේ හුරු බොහෝ තැන් ඉතිරිව ඇත්තේ මතක සටහන් පමණි. පාසල් වසා දමා දින ගණනකි. කර්මාන්ත ශාලා, කන්තෝරු ඇතුළු බොහෝ තැන් වැසූ විදියටමය. ප්‍රිය සාද නීතියෙන්ම තහනම්ය. යෑම් ඊම දඬුවම් ලැබිය හැකි වරදකි. පෙම්වතුන් මුණ ගැහුණ දිනක් නැත. උද්‍යාන දහස් ගණනක් ලෝකය පුරාම වසා දමා තිබේ. සිද්ධස්ථාන සියල්ලම හිස්ය. දෙවියන් වැඩ වසනා දේවලවලට ඉබි යතුරු ලූ ගමන්ය. ලෝකය පුරාම රාජ රාජ මහා මාත්‍යාදීන් ලෙඩ වී තිබේ. ලෝකයේ හොඳම ආර්ථිකය සහිත චීනය ලෙඩ වී අවසන්ය. ලෝකයේ මහ කෙරුමා වූ ඇමරිකාව වැඩිම රෝගීන් සඳහා වාර්තාව හිමි කරගෙන තිබේ. යුරෝපය මරණයෙන් පිරී ගොස්ය.
ඉතාලියේ මළසිරුරවලට කරන්නට දෙයක් නැති තැනට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ තත්ත්වයද ඊට දෙවැනි නැත. එංගලන්තයද වැඩ වරද්දා ගෙන තිබේ. ලෝකයේ සතුටින්ම සිටිනා රටවල්ද ලෝකයේ දියුණුම රටවල්ද, ලෝකයේ සංවර්ධිතම රටවල්ද සියල්ලම අද එක තැනක නතර වී තිබේ. කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් යුද්ධ කරන්නේ නැත. කිසිම දේශසීමාවක ගැටුමක් නැත. සියල්ලෝම ගල් ගැසී බලාසිටිති. ලෝකයේ කිසිම හමුදාවකට පරාජය කළ නොහැකි, ලෝකයේ කිසිම ආයුධයකින් මරා දැමිය නොහැකි, ලෝකයේ කිසිම බුද්ධි අංශයකට හඳුනාගත නොහැකි එක සතුරෙක් මුළු ලෝකයම බිලි ගෙන තිබේ. ඒ කිසිදිනෙක නොසිතූ මිලිමීටරයකිනුත් කොටස් ගණනාවකින් එකක් තරම් පුංචි වෛරසයකි.
එය අවසානයේ කොවිඞ් 19 ලෙස නම් ලැබීය.

මාර්තු 11 වැනිදා ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක් රෝගී වෙද්දීත් අපි මේ ලෙඬේ ඇඟට ගෙන තිබ්බේ නැත. චීන කාන්තාවක රෝගීව සිට සුවවූ බව කියමින් උදම් ඇනූ රාජ්‍යයකට මේක කජු කනවා වගේ යැයි හිතෙමින් තියෙන්නට ඇත. ලෝකයක් ඉදිරියේ කළ නාඩගමකින් පසු චීන කාන්තාව නික්ම ගියාය. ඇමතිනිය කාගේ හෝ උපදෙසක් මත ඈ ඉඹ ඉඹ උන්නා මිස ඊළඟට වෙනදෙයක් ගැන හිතුවේම නැත. මාර්තු හය වෙනිදා අරලියගහ මන්දිරයේදී ලියුම්කරු කළ ප්‍රශ්න කිරීම්වලදී අගමැති හෝ බන්ධුල ගුණවර්ධන මේ සඳහා සූදානමක් අවශ්‍ය බවක්වත් පිළිගත්තේ නැත. ඒ ප්‍රශ්නයට පිළිතුර හිනාවකින් කෙළවර විය. හැම විටම පමා වූ ප්‍රතික්‍රියාවල අප්‍රසන්න ඵල විපාක දැන් අපි විඳිමින් හිඳිමු. නමුත් මේ නුපුරුදු ප්‍රශ්නය හමුවේ ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දුන්නේ ය.
හැබැයි අපි බරපතළ ව්‍යසනය බොහෝ දේ සමග පටලවා ගත්තේය.
ඡන්දය.
අපි මුලින්ම මේ ප්‍රශ්නය පටලවා ගත්තේ මහමැතිවරණය සමගය. රෝගියෙක් හමු වූ පළමු සතියම රජය මැතිවරණයට මුල්තැන දෙමින් තීන්දු දෙමින් ගත කළේය. නාමයෝජනා ලබාදීමේ කලබලය නිසා සියලු නීති ලිහිල් කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය ඇමතිතුමිය රූපවාහිනී නාලිකාවට ඇවිත් කෙළින්ම කීවේ,
“ඡන්දෙ කල් දානවට නං මම විරුද්ධයි,
මොකද අපි ඡන්දෙ දිනන නිසා”
කියාය. මේ අල්ලපනල්ලේ මුළු රටේම නාම යෝජනා දුන්නේය. ඒ වෙනුවෙන් බැංකු නොවසා සිටි අතර ඇඳිරි නීතිය පනවා තිබුණ තැන් කීපයේ ඇඳිරි නීතිය ඉවත් කළේය. ඡන්දය අනිවාර්යයෙන්ම තියනා බව ආණ්ඩුවත්, විපක්ෂයත් තැන් තැන්වල කියවමින් ගියේය. අන්තිමට තීන්දුව ගන්නට වුණේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඔහු එක වරම වීරයා වෙමින් සියල්ල උඩු යටිකුරු කළේය.
“ඡන්දෙ තියෙන දවස තීරණය කරන්නෙ කොවිඞ් 19” බව ඔහු ඇත්තටම කීවේය. ඡන්ද වියරුව යට ගියේය.
විරෝධතා.
මේ වෙලාවෙත් වෙනදා වගේම විරෝධතා මතුව ආවේය. ඒවා ජනතාව විසින් ජනතාව උදෙසා කරන ලද ව්‍යාපාරද කියනා එක සැක සහිතය. මේ නාඩගම පටන් ගත්තේ හැඳලින්ය. නිමල් ලාන්සාගේ අනුග්‍රාහක දායකත්වයෙන් යුක්තවය.
රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් ලෙස මෙවැනි මොහොතක එසේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ දේශපාලකයන් සමග ප්‍රදේශයේ භික්ෂූන්ද පූජකයන්ද පාරට බැස්සේය. හැඳල නිරෝධායන මධ්‍යස්ථානය දේශපාලන අනුග්‍රහයෙන් නතර වුණේය. ඊළඟට මේ සෙල්ලම පටන් ගත්තේ මඩකළපුවෙනි. ඒ හිස්බුල්ලාගේ අනුග්‍රහයෙනි. විරෝධතාකාරයන් පොලීසියෙන් පන්නා දැම්මේය. ඔය අස්සේ ගුවන් තොටුපළේද වෙනමම විරෝධතා තිබුණේය. ඒ විදෙස් රටක සිට ලංකාවට ආ පිරිසකගෙනි. ඔවුන්ගෙන් නිරෝධායන කාලය තුළ රුපියල් හත්දහස් පන්සීයක මුදලක් අයකරන බවත්, ඊට තවත් වියදම් එකතු විය හැකි බවත් කී පණිවුඩයක් ඊට හේතුව විය. මේ විරෝධතා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තෙක්ම දුර ගියේය. කොරෝනා බරපතළ ලෙස පැතිරෙන්නට පටන් ගන්නවාත් සමග මුළු රටම ගැස්සුණේය. නමුත් අදත් විරෝධතා එහෙම්මය. මීගමුව රෝහලේදී මිය ගිය රෝගීව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙක්ගේ අවසන් කටයුතු ඔහුගේ ආගමට අනුව සිදු නොකළැයි යම් තර්ක විතර්ක ප්‍රමාණයක් මතුව ආවේය. අවසන් කටයුතු කරනා එක ගැන ඊ ළඟ විරෝධතාව ආවේ මහියංගනයෙනි. ඒ කොරෝනා බවට තහවුරු නොවුණ, නමුත් ශ්වසන අපහසුතාවකින් පෙළුණ රෝගියෙක්ගේ අවසන් කටයුතු සම්බන්ධවය. එහිදී භික්ෂූන් වහන්සේ කෙනෙක් මේ තමන්ගේ පුංචි අම්මාය කීවද කිසිවෙක් හිස නමන්නේ නැත.
මළසිරුර බාරගන්නට කිසිම ආදහනාගාරයක් ඉදිරිපත් නොවන්නේ ඒවයේ ගෑස් ප්‍රශ්නයක් ගැන කියමින්ය. අවසානයේ සිරුර රැගත් පිරිසට පිරිස හූ කියද්දී හැරී එන්නට සිදුවෙයි. කතාව එතැනින් අවසන්ය. නමුත් සිය ගණන් මිය යන ඉතාලියේ මරණයේ විනය ලංකාවේ නැත. අපට එක සිරුරකට අවසන නිදන්නට තැනක් නැත. එය හෙට මටද ඔබටද කියන්නට අපි නොදනිමු. නමුත් අපි මැරෙනා මිනිස්සු බවවත් අපට තවම මේ රටේ මිනිස්සුන්ට කියා දෙන්නට බැරි වී තිබේ. එයට බරපතළ වරදකරුවන් මේ ආගම්වල නියෝජිතයන්ය. ඔවුන් එය කාටවත්ම කියාදී නැත.
ඒ අතට ලංකාවේ මාධ්‍යයන්ද මේ වෙලාවෙ සිය පුද්ගලික න්‍යාය පත්‍රවල ප්‍රබල ලෙස එල්ලී සිටී. එය කොයි තරම් නරක අතට හැරෙමින් තිබේද කියනා එක පහුගිය දිනවල පෙනෙන්නට පටන් ගත්තේය. ඔවුන් තම තම මතය හිතුණ හිතුණ තරමින් කියනා තැනටම ආවේය. නිතරම තම අදහස හරිම යැයි හිතෙනා එක බරපතළ රෝගයකි. ඒ රෝගය අද වෙන කොට හුඟාක් නාලිකාවල අයට වැලඳී තිබේ. බොහෝ දෙනෙකු සිය අදහස කියන්නේම “ජනතාව” වැරැදි බව කියමිනි. ඒ නිසාම සමාජ ගත වෙන්නේ එහෙම අදහසකි. ඔවුන් මුලින්ම එසේ ඇඟිල්ල දික් කරන්නේ පිටරටක සිට පැමිණි අයටය.
“පැනලා ගිහිල්ලා හැංඟිලා ඉන්නවා”ය කියනා කතාව සමාජ ගත කළේම ලංකාවේ මාධ්‍ය දෙක තුනකි. නමුත් අපි නිරෝධායන කාර්ය පටන් ගන්නට පරක්කු වූ එක ඉන් යට ගියේය. පිටරට සිට ආ අය වැරැදිකාරයන් ලෙස හංවඩු ගැහුවේය. අදද ඒ තත්ත්වය පහව ගොස් නැත.
“අපේ ගමේ ඉන්නවා රට ඉඳලා ආපු එකෙක්, හැංඟිලා”
අපටද බොහෝ දෙනෙක් මේ කතාව කියයි. ඔවුන් හිතන්නේ මේ පණිවුඩය රටට දිය යුතුමය කියාය. මේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් කළේ ඒ ඒ රටවල කොරෝනා වසංගතය පැතිරෙන්නට පටන් ගද්දීම ගෙදර ආ එකය. ඒ වෙද්දී ලංකාවේ සූදානමක් තිබ්බේ නැත. ඒ වරද ලංකාවේ මාධ්‍ය වහාම මිනිස්සු පිට පැටෙව්වේය.
පහුගිය දිනක ඉන්දියාවේ සිට පැමිණි සීයාගෙන් කොරෝනා බෝ වුණ මාස කීපයක දරුවෙක් ගැන මාධ්‍ය වාර්තා කළේය. ඒ මේ රෝගී වීමට වරදකරුවෙක්ද යෝජනා කරමින්ය. නමුත් ඉන්දියාවේ සිට පැමිණි අය අතරින් පිරිසක් අතර මැදදී ගෙදර යැව්වේ බලධාරීන්ය. කරදරයකදී කාට හෝ ඇඟිල්ල දිගුකරන ලැජ්ජා නැති මාධ්‍ය භාවිතාව ගැන වහාම රට දැන ගත යුතුය. පහුගිය දිනක දෙරණ නාලිකාවේ වැඩ සටහනක් අතරතුර නිවේදකයා සිය රෙදි ඔක්කෝම ලෙහා දැම්මේය. ඒ මහින්දානන්දගේද රෙදි ලෙහා දමමින්ය.

නිවේදක – මට ගානක් දෙන්න ඕන, මේක කියා ගන්න දුන්නට.
මහින්දානන්ද – මම අර විස්සෙන් දහනවයක් ගැන කිව්වෙ හිතලමයි”
නිවේදක – “ගහන්ඩ ඕන ඔවුන්ට”
ලෝකයේ සියලු සංවිධාන සිය සටන් නවතා අවසන්ය. කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් යුද්ධ කරන්නේ නැත. දේශසීමා අරගල නැත. අපේ රටේ මාධ්‍ය ආයතන සිය න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරමින් සිටිති. ජාතිවාදය වපුරති. පැළ කරති. ලෝකයේ මිලියනකට අධික පිරිසක් රෝගීව සිටිනා මොහොතකත් සිය පටු අරමුණු ඉටුකරගන්නට මාධ්‍ය ආයතනයක් වැඩ කරන්නේ නම් එය අතිශය පහත්ය. මේ නිවේදකයා සිය කතාව කියන්නේ විරාමයකදීය. රටේ වාසනාවකට මේ විරාමය ලෝකයටම පෙනුණේය.
මනුෂ්‍යත්වය සමග මිස මේ කොවිඞ් සටන එක ජාතියක් ආගමක් හෝ තනතුරු තාන්න මාන්න සමග නොවන බව නොපෙනෙනා තෙක් අපිට මේ සටනින් ජයගත නොහැක. මරණය ගෙයි දොරකඩට ආ පසු ජාතිය කුලය ආගම විමසන්නේ නැත. කටමැත දොඩවනා මාධ්‍යකාරයෝ ඔබ අප බෙදා වෙන් කරන්නේ උන්ගේ ගෙදර දොරේ අඩුපාඩු පිරිමහා ගන්නටය. ජීවිත සුඛිත මුදිත කරගන්නට පඩියට රට බෙදනා අතට ඔබ අප නොබෙදී සිටිය යුතුය.
ඔවුන් වැඩසටහන ලෝකයට පෙනෙනා කොටසේදී අහන්නේ,
“ඇයි මේ එක එක වර්ගවලින් කියන්නෙ. කලින් එහෙම කිව්වෙ නෑනෙ” කියාය.
ඇමති කියන්නේ “නෑ මම මේ එහෙම එකක් නෙමේ, සාමාන්‍යයෙන් කියන්නෙ” කියාය. නමුත් ඊට තත්පරයකට පසු නිවේදකයා “ඔවුන්ට ගහන්ඩ ඕන” කියනා අතර ඇමති “මම හිතලමයි කිව්වෙ” කියයි. මේ ජාතිවාදය තමන් උදෙසා තම බඩ වියත, ඇමතිකම උදෙසා බව රටටම ඔප්පු කර අවසන්ය.
ජීවන පහන් තිළිණ











