හදිස්සියේම පැමිණි විශ්වාස කටයුතු දුරකථන ඇමතුමකි.
“මල්ලි මේ දැං කොරෝනා හැදිලා එක්කෙනෙක් නැති වුණා”
මේ ආරංචියත් සමග යළි අපි තිගැස්සුනෙමු. ඒ මරණය අපි කිසිසේත්ම හිතූවත් එකක් නොවේ. හැමෝටම මේ කතාව ඇහෙද්දීම ප්‍රශ්නයක් හිතට ආවේය.
“ඇයි එයාව සාය අරගෙන ගිහිල්ලා නැත්තෙ?”
සාමාන්‍යයෙන් ඔහු රෝගීව උන්නේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ කළ යුතුය. ඉන් පසු පරීක්ෂණ වාර්තා පිට වීමත් සමග ඔහු හෝ ඇය ඒ පිළිබඳ වැඩිදුර ප්‍රථිකාර සඳහා සාය රෝහලට යැවීම සාමාන්‍ය ක්‍රමයයි. නමුත් මිය යනවිට ඔහු රෝහලට පැමිණ ඒ තරම් කාලයක් ගතව තිබුණේ නැත. ඒ කාලය පැය ගණනින් කියනා එක දින ගණනින් කියනවාට වඩා පහසුය. සියල්ලම ටික වෙලාවක් ඇතුළත විසඳී අවසාන විය. ඔහු මියගියේය. කතාව එතැනින් අවසාන විය.
මේ පුද්ගලයා මුලින්ම ඇතුළත් කරන්නේ පුද්ගලික රෝහලකටය. එය පුද්ගලික රෝහල් ජාලයක ශාඛාවක් වන අතර මීගමුව ආරෝග්‍යශාලාව පිහිටා ඇත්තේ මීගමුව රජයේ රෝහලට යාබදවමය. නමුත් දැන ගන්නට ලැබෙනා පරිදි මේ පුද්ගලික රෝහල වහාම රෝගියාගේ රෝග තත්ත්වය පිළිබඳ මීගමුව රෝහලට දැනුම් දුන් බව දැනගන්නට තිබේ.
එහෙමනම් ඒ ඇමතුමට උත්තර දුන්නේ කවුද?
ප්‍රශ්නයක් එතැන තිබේ. රෝගියෙක් කෙළින්ම යොමු කරන්නෙ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් ඔහුට මූලික ප්‍රතිකාර කර තිබේ.
මූලික ප්‍රතිකාර අවස්ථාවේ රෝගය පිළිබඳ ඇතිවූ සැකයක් නැද්ද?
ඉන් පසුව රෝගියා විස්ස වාට්ටුවට යොමු කර තිබේ. විස්ස වාට්ටුවේදී ඔහුට යම් තරමක ප්‍රතිකාර කර තිබේ.
ඔහු සාමාන්‍ය අයි.සී.යූ. එකට යොමු කර තිබේ. සියල්ල උඩු යටිකුරු වෙන්නේ ඊළඟටය. අයි.සී.යූ. එක ඇතුළු බොහෝ තැන් වසා දමන තැනට පත්කරමින් ඔහු කොරෝනා රෝගියෙක් බව කහවුරු වෙයි. රෝහලේ කිසිවෙක් බලෙන් තම ජීවිත අමාරුවේ දාගන්නේ නැත. මේ රෝහලේ වෙන්නේත් ඒකය. මේ තත්ත්වය යටතේ මීට වඩා සූදානමක් තිබ්බා නම් හොඳය. නමුත් මේ තත්ත්වය මීට පෙර අපි කිසිම දිනෙක මුහුණ දුන් තත්ත්වයක් නොවේ.
“මම තානිස්, මීගමුව රෝහලේදී කොරෝනා රෝගියකු බවට පත්ව මියගියේ මගේ තාත්තා. මේ වෙනකොට තාත්තා අපෙන් ඈතට යන්න ගිහින්. අන්තිම වතාවට මූණ බලන්නවත් අපිට ඉඩක් ලැබුණෙ නෑ. පරිස්සම් වෙන්න. ඒත් මේ වෙනකොට නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්. මගේ තාත්තාවත් අපේ පවුලෙ ලංකාවේ ඉන්න සහෝදරයො කවුරුවත් මෑතකදී ඉන්දියාවට හෝ ජර්මනියට ගිහින් ආවෙ නෑ. ඒක බොරුවක්.
ඩුබායි ඉඳලා සහෝදරයෙක් ගෙදර ඇවිල්ල ගියා. ඒක ඇත්ත. ඒත් පෙබරවාරි 28 එයා ගියෙ. ඒක අපෙන් අහපු හැමවෙලාවකම අපි දන්න අයට කිව්වා. මේ ලෙඬේ කොහෙන් ආවද කියන්න තේරෙන්නෙ නෑ. ඒත් අපි මේ මාසෙ 8 වැනිදා යාපනේ ගිහින් ආවා. ඒක ඇත්ත. එතකොට තාත්තාට කියන්න තරම් ලොකු අසනීපයක් තිබුණෙ නෑ.
එයාට ටිකක් ඇදුම තියෙනවා කලින් ඉඳලම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි හිතුවෙ මේ ආවෙත් ඒක කියල. ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගත්තා. අපි හිතුවෙ නැහැ මෙහෙම දෙයක්. තාත්තට හුස්ම ගන්න අමාරු වුණා. ඒ වෙලාවෙ ඇදුම වැඩිවෙලා කියල හිතුවා, ඒත් ඒ වෙද්දි උණ ගතිය වැඩිවෙලා වගෙ දැනුණා. පෙරේදා නවලෝකෙට අරන් ගියා, ඒක ඇත්ත. එතනින් බලලා මීගමුවේ මහ රෝහලට යැව්වා. සාමාන්‍ය විදිහට පිරිමි වාට්ටුවට දැම්මා, මම දන්න තරමින් තාත්තා මුකුත් හැංගුවේ නෑ. අපි දන්න දේවල් කිව්ව. තාත්තා ළඟ හිටියෙ මමයි. පස්සෙ තාත්තා ෂක්‍ඹ දාන්න ඕනෙ කිව්වා. කොරෝනා සැකයක් තියෙනවා කියලා ඒ වෙලාවෙ තමා අපිත් දැනගත්තෙ. අපිට ගෙදරට යන්න කිව්වා. තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිසුන්ගෙන්. මේ වගෙ දුකක් කාටවත් වෙන්න එපා.
අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ, අපි අපේ කනත්තෙන් අඩි 8ක වළක් කපලා සූදානම් කරල තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිවුණා. කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ..
මොනවා කියන්නද තේරෙන්නෙ නෑ.අසරණයි. දෙරණ නිව්ස්වලට යනවා දැක්කා අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල. මට කෑ ගහල කියන්න හිතුණා තාත්තාව අපි තනිකළේ නෑ ආදාහනය කළා අපි දන්නෙත් නෑ.
අපිත් අසරණයි .බයවෙලා ඉන්නෙ දැන් ගෙදර ඉන්න ඔක්කොම. අපි රට ගිහින් ඇවිත් කියල කියන කතා බොරු, පාස්පෝට් පෙන්නන්න පුළුවන්. මට තේරෙන්නෑ කොහෙන් මේ ලෙඬේ තාත්තට ආවද කියල. ඒත් යාපනේ ගිහින් ආවා, එතනදිද දන්නෙ නෑ. අපි හිතුවෙම ඇදුම කියල. කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා අපි ගැනත් බයයි. ඒත් හිතේ විශ්වාසයෙන් ඉන්නවා….”
ඔහු අපට කී කතාවේ මේ කොටස අද වෙනකොට බොහෝ දෙනා කියවා තිබේ. නමුත් ඔහු අපිට තවත් දේ කීවේය.
“අපේ තාත්තා යාපනේ ගියේ බස් එකේ. ඒ එන කොට එයා එක්ක ආවෙ කවුද කියන්න දන්නෙ නෑ. හැබැයි තාත්තට තිබුණ හුස්ම ගැනීමේ අපහසුතාව අපි කලින් ඉඳලම දන්නවා. ඒ නිසා ආපු කලබල වුණේ නැත්තෙ. තාත්ත පුද්ගලික රෝහලෙන් එක්ක යන්න කිව්වෙ එයාලා කිසිම පරීක්ෂණයක් කරලා නෙමෙයි. ඒක මම හොඳටම දන්නවා. මොකද එයාලා ලේවත් වෙන දෙයක්වත් ගත්තේ නෑ. ඒත් එයාලා කලබල වුණාය කියලා මට පෙනුණා. දොස්තර කවුරුවත් හරියට බැලුවෙ. නර්සලත් කීප දෙනෙක් ඈත ඉඳලා බලලා ගියා. එහෙම බලලා මෙයාට අමාරුයි කියලා අරගෙන යන්න කිව්වෙ මීගමුවෙ ඉස්පිරිතාලෙට. එතනදි පී.සී.යූ. එකෙන් බැලුවා. බලලා අරගෙන යන්න කිව්වා විස්සෙ වාට්ටුවට. එතැනදි කිසිම ගැටලුවක් තිබ්බෙ නෑ.ඉස්පිරිතාලෙ සාමාන්‍ය විදියට සැලකුවා. ගැටලුවක් නෑ. මීගමුව ඉස්පිරිතාලෙ ඇතුළෙ කිසිම ජාතිවාදයක් නෑ. එයාලා අපිට වෙනසක් කළේ නෑ.
හැබැයි මේ වෙනකොට මම හිතන්නෙ රෑ අට හමාරට විතර තාත්තව අයි.සී.යූ. එකට දාමු කිව්වා.
එයාට අමාරුයි කිව්වා. ඒත් එහෙම එකක් පේන්න තිබ්බෙ නෑ. අපිට යන්න කියලා කිව්වා.
“විස්සෙ වාට්ටුවෙදි තාත්තට ඔක්සිජන් දුන්නා. මම හිතුවෙ ඒ අර වීස් එක ප්‍රශ්නෙ නිසා කියලා. ඉස්පිරිතාලෙ කාර්යමණ්ඩලේ ප්‍රයිවට් එකේ වගේ නෙමේ හැසිරුණේ. එයාලා බය වෙලා වගේ අයින් වුණා. ඒත් විස්සෙ වාට්ටුවෙදි තාත්තට සැලකුවා. හැබැයි එයාලා පස්සෙ මොකක් හරිදේකට බය වුණා.
එයාලා කිව්වා අර ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඕ.පී.ඩී. එක හෝදනවලු කියලා. කොරෝනාවලට සැකයි වගේ එකක් පෙන්නුවා. මම කිව්වා කොරෝනා සැකයි නං කියන්න කියලා. ඒත් එහෙම හරියට කිව්වෙ නෑ. අරහෙන් බැලුවද ඇහුවා. එයාලා බලන්නෙ කොහොමද මොනවවත් ගන්නෙ නැතිව. මම නෑ කිව්වා.
ඊට පස්සෙ අපිට යන්න කිව්වා. තාත්තව නෝමල් අයි.සී.යූ.එකට එක්ක ගියා. මමද ගෙදර ගියා. පස්සෙ අර ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් නිතරම ඇහුවා රිපෝට් එක ආවද කියලා. මම තවම දන්නෙ නෑ එහෙම එකක් ගැන. රිපෝට් එකක් ගැන දන්නෙ නෑ. තාත්තා මැරුණා කියලා ආරංචි වුණා. අවසන් කටයුතු ගැන කතා කළා. එයාලා පුච්චන්න ඕනත් කිව්වා.
අපි කිව්වා අපේ ආගමෙ එහෙම කරන්නෙ නෑ කියලා. එයාලා එකඟ වුණා අඩි අටක් යටට වළක් කපන්න කියලා. අපි අපේ ආගමේ ප්‍රධානීන්ට මේ ගැන කිව්වා. එයාලා මාලිගාවත්තෙ තැනක් ලෑස්ති කරන්නම් කිව්වා. ඒත් ඒ දෙකම ලෑස්ති කරන කොට අපි ආරංචි වුණා තාත්තව පුච්චලා කියලා.
අපි දන්නෙවත් නෑ. ඒත් රටේ නීතියට හැමදේටම අපි ගරු කරනවා. අපි හැමෝම එකයි. ඒත් ඉතිං අපේ තාත්තා නිසා අපිට දුකයි.
කොහොම හරි අපි මේ ලෙඬේ පතුරවන්නෙ නෑ. පැතිරෙන්න දෙන්නෙත් නෑ. මේක අපේ රට. අපේ මිනිස්සු. ඒ නිසා අපි මේ වෙලාවෙ රජය කියන විදියට නිරෝධායනය වෙනවා.”
මේ ඔහුගේ කතාවයි. මීගමුව රෝහලේ කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් මේ වනවිටත් නිරෝධායනය කර තිබේ. ඒ අයත් සිය ගේ දොර වලට යා ගන්නට නොහැකි තැනට පත්ව අවසන්ය.
නිරෝධායනයට තැනක් හොයා දෙන තුරු කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් පාන්දර තුන වෙන තුරු දැඩි සත්කාර ඒකකයේ හිරවී සිටියේය. මේ අයට ගැළපෙන නිරෝධායන මධ්‍යස්ථානයක් ලැබෙන්නේ එවිටය.
නමුත් නොවියයුතු බොහෝ දේ සිදුව තිබේ. මතක තබා ගතයුතුය, කොවිඞ් 19 කිසිම විටක ඔබට දෙවරක් වැරදි කරන්නට ඉඩ දෙන්නේ නැත.
මරණ හතරක් වාර්තා වී අවසන්ය. එකක් හලාවතින්ය. අනික පෝරුතොටින්ය. අනික මරදානෙනි. හතර කොළඹිනි. පළමු මරණයේ දී සියලු ආරක්ෂක විධික්‍රම යොදාගනිමිනි. සියලුදෙනාම ජාති කුල ආගම් බේද රහිතව මේ ව්‍යසනයට මුහුණ දිය යුතුය. නැත්නම් විනාශ වෙන්නේ ඔබේත් මගේත් රට පමණක් නොව ඔබත් මමත්ය.
ජීවන පහන් තිළිණ











