චීනයේ හුබෙයි ප්‍රාන්තයේ කොවිඞ්-19 (Covid-19) වෛරස් රෝගය ආරම්භ වීමේ සිද්ධිය, චීන ඉතිහාසයට එක්වන ප්‍රබල හැරවුම් ලක්ෂයකි. 1989 වසරේ ජුනි මාසයේදී චීනයේ ‘ටියනාන්මෙන්’ චතුරශ්‍රයේදී සිදුවූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමෙන් පසුව, මෙම කොවිඞ්-19 ශෝකාන්තයද චීන ඉතිහාසය තුළ ලියැවෙනු ඇතිය. එදා ‘ටියනාන්මෙන්’ චතුරස්රයේදී උත්ඝෝෂණය කළ සිසුන් සහ තරුණ පිරිස් දහසකට ආසන්න පිරිසකට චීන හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළේය. මේ ආකාරයේ ප්‍රබල සිදුවීම් සිදුවන විටදී චීනයේ අධිරාජ්‍යයන් මෙන් සිටින පාලකයන්ට, තමන්ට ස්වර්ගයෙන් ලැබුණු වරමින් රට පාලනය කිරීමටද අපහසු වෙයි.
මෙවැනි තත්ත්වයක් යටතේ චීනයේ වත්මන් බලගතු අධිරාජයා ලෙස සැලකෙන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ බිඳ වැටීමද මෙම කොවිඞ්-19 ව්‍යසනය නිසා සිදුවේද? එහෙත් වත්මන් අර්බුදය හමුවේ ඔහු සිදුකරනු ඇත්තේ, බිලි දෙන්නට ‘බිලි’ යොදවා ගනිමින් තම ජයග්‍රහණය ඉතාමත් අලංකාරවත් ලෙස තමන්ටම ළඟාකර ගැනීමය. ඉදිරියේදී චීනයේ බුද්ධිමතුන් තම රටෙහි නූතන ඉතිහාසය ලේඛනය කරන විටදී අසනු ලබන ප්‍රධාන පැනයක් වන්නේ, මෙම කොරෝනා වසංගතයේදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිදුකරන ලද කාර්යභාරය කුමක්ද යන්නය. එහිදී අනිවාර්යයෙන්ම ලියැවෙනු ඇත්තේ, චීන රජය සහ පක්ෂය විසින් වූහාන් නගරයේ සිටින මිලියන 11ක ජනතාව සිරකර තබා ගැනීම සහ හුබෙයි ප්‍රාන්තයේ පක්ෂ නායකත්වය බිල්ලට දීමේ වගතුග පමණක් වනු ඇතිය. එනම් මෙම වසංගතය ඇරැඹි විටදී චීන ජනාධිපතිවරයා විසින් එම ප්‍රාන්තයේ පාලන බලයේ සිටි තම පක්ෂයේ නායකයන් සියලුම දෙනා වෙනස් කිරීමට වහා පියවර ගත්තේය.
2020 ජනවාරි මාසයේ සිටම ජනාධිපති ෂී ජින්පින් එරට ජනමාධ්‍යවලින් සැඟව සිටීමට කටයුතු කළේය. රූපවාහිනී නාලිකාවල හෝ පුවත්පත්වල ඔහු දක්නට නොවීය. මෙසේ මාසයකට අධික කාලයක් ගතවූ අතර, 2020 පෙබරවාරි මාසයේදී ප්‍රථම වතාවට බෙයිජින් නගරයේ සිට සජීවී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වන අයුරු දක්නට හැකි විය. ඔහු එහිදී මුඛ ආවරණයක් පලඳා ගනිමින්, වූහාන් නගරයේ රෝහල්වල කාර්ය මණ්ඩලය සමඟ කතා කරන අයුරු දක්නටද හැකි විය. මෙම රූපවාහිනී සංවාදයේදී ඔහු ප්‍රකාශ කර සිටියේ හුබෙයි සහ වූහාන්වල සිටින ජනතාව ප්රශ්නවලදී කිසිදු ආකාරයකින් නොසැලෙන ජනතාවක් බවත්, අනතුරකදී පවා ඔවුන් තම වීරත්වය හෙළිකළ ජනතාවක් බවත්ය. එම රූපවාහිනී සංවාදයේදී ෂී ජින්පින් ජනාධිපතිවරයා ජනතාව වෙත හඳුන්වා දී තිබුණේ මෙම මාරක කොරෝනා වසංගතයට එරෙහිව සිදුකරනු ලබන සංග්‍රාමයේ අණදෙන නායකයා ලෙසටය. කෙසේ හෝ මෙම නව අණදෙන නායකයා සමඟ ඔහුගේම හමුදාව වන චීන මහජන විමුක්ති හමුදාවද යම් අසතුටක්ද පළ කරන්නට විය.
මෙසේ අසතුට ප්‍රකාශ කිරීමේ සාක්ෂියක් පසුගිය 2020 පෙබරවාරි 10 වැනිදා පැහැදිලිවම දක්නට හැකි විය. එනම් මධ්‍යම යුද හමුදා කොමිසම ඉතා තදබල, ස්ථාවර නීති සංග්‍රහයක් ප්‍රකාශයට පත්කරමින් මහජන විමුක්ති හමුදාවත්, ප්‍රාදේශීය ආණ්ඩු අතරේත් සිදුවිය යුතු ක්‍රියාවලිය පැහැදිලි කර සිටියේය. මෙහි අරමුණ වූයේ මහජන විමුක්ති හමුදාව විසින් වෛරස් වසංගතයට එරෙහිව සිදුකරනු ලබන සටන ශක්තිමත් කිරීමය. එසේම මෙම සංග්‍රාමය සඳහා අනුබද්ධ විය යුතු චීනයේ අනෙකුත් රාජ්‍ය අංශ ගැනද අවධාරණය කර තිබිණි. එසේම මෙම කටයුතු සිදු කිරීමේදී විවිධ මූල්‍යමය වංචාවන්ද සිදුවිය හැකි හෙයින් එම තත්ත්වයන් ගැනද දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවට නියෝග ලබාදී තිබිණි.
මේ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ මෙහෙයවීම යටතේ වෛරස් වසංගතය මැඬලීමේ සංග්‍රාමය ආරම්භ කෙරිණි. එයට අදාළව මහජන විමුක්ති හමුදාවේ වෛද්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන් 4000ක බල ඇණියක් වූහාන් නගරය වෙත වහාම යවන ලදී. එසේම වෛද්‍ය උපකරණ හා අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණද විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මඟින් වූහාන් නගරය වෙත යවන ලදී. මෙසේ ටොන් 250කට අධික අත්‍යාවශ්‍ය උපකරණ වූහාන් වෙත යවන ලදී.
තත්ත්වය මෙසේ තිබියදී වෛරස් වසංගතයේ හේතුවෙන් හමුදාමය ක්‍රියාන්විතයක කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාළවී ඇත. එනම් චීනය තුළ ගුවන් යානා සහ නාවික යාත්‍රා නිපදවීමේ කටයුතු සියල්ල ඇනහිට ඇති අතර, එම කර්මාන්ත ශාලා සියල්ලම වසා දමා ඇත. එසේම අවි ආයුධ නිෂ්පාදනය සිදුකිරීමද අඩාළව ඇත. මේ වන විට මෙවැනි කර්මාන්ත ශාලාවල සේවකයන් ලක්ෂ 5ක් පමණ සේවය කරනු ලබන අතර, ඔවුන්ට සේවය සඳහා වාර්තා කිරීමට හැකියාවක් නැත. කෙසේ හෝ දැන් චීනය තුළ යම් යහපත් වාතාවරණයක් උද්ගතව ඇති හෙයින් මෙම කර්මාන්ත ශාලාවල කටයුතු නැවැත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාස කෙරෙයි.
තත්ත්වය මෙසේ තිබියදී නැවැත අප අවධානය යොමු කළ යුත්තේ කොවිඞ් 19 වසංගතය ආරම්භයේදී තිබුනු කනගාටුදායක තත්ත්වයටය. එනම් මෙම ප්‍රථම කොරෝනා රෝගියා සොයාගත් වෛද්‍ය ලී වැන්ග්ලින්ග් එම සිදුවීමෙන් පසුව එකී තොරතුරු මාධ්‍යයට සහ සමාජ මාධ්‍යවලින් හෙළිකිරීමෙන් පසුව, ඔහුට එරෙහිව චීන බලධාරීන් දැඩි ලෙස තර්ජනය කරන්නට විය. වෛද්‍යවරයාගේ තොරතුරු මාධ්‍යයට හෙළික කළ වූහාන් නගරයේ සිට එක් චීන මාධ්‍යවේදියකුද මේ වනතෙක් අතුරුදන්ව සිටියි. වෛද්‍ය ලී වැන්ග්ලින්ග්ගේ කතා කිරීමේ නිදහස සම්පූර්ණයෙන් චීන බලධාරීන් විසින් මර්දනයට ලක්කළ අතර, අවසානයේදී ඔහුට කොරෝනා රෝගය වැලඳී අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නටද විය. චීන බලධාරීන් ප්‍රථමව ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා මියගිය බවත්, ඉන්පසුව නැවැත වරක් ප්‍රකාශ කරමින් කියා සිටියේ ඔහු මියගිය නොමැති බැව්ය. නැවැත තෙවැනි වතාවට ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරයා මියගිය බැව්ය. මේ නිසා මෙම මරණය ගැන සැක සහිත තත්ත්වයක්ද ඇති විය. එම අවස්ථාවේදී චීනයේ විද්වතුන් සිය ගණනක් චීන බලධාරීන්ට එරෙහිව පෙත්සමක් සකස් කර එය අත්සන් තබා ඉදිරිපත් කළේය. මෙය චීන බලධාරීන්ට ප්‍රබල ප්‍රහාරයක්ද වූයේය.
එම චීන විද්වතුන්ගේ ලිපිය මඟින් ඔවුන් චීන බලධාරීන්ගෙන් ඉල්ලීම් කිහිපයක්ද සිදුකර තිබිණි. එහි ප්‍රධාන ඉල්ලීම වූයේ වෛද්‍ය ලී වැන්ග්ලින්ග් මියගිය 2020 පෙබරවාරි 6 වැනිදා ‘ජාතික කතා කිරීමේ නිදහස් දිනය’ ලෙස නිල වශයෙන් නම් කරන ලෙසය. තවත් ප්‍රබල ඉල්ලීමක් වූයේ චීන ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය සංශෝධනය කරමින් ජනතාව සඳහා කතා කිරීමේ නිදහස නිසි ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කිරීමය. මෙසේ චීනයේ සිටින බුද්ධිමතුන් එකට එක්වී උද්ඝෝෂණය කිරීම ජනාධිපති ෂී ජින්පින්ග්ගේ රජයට සහ චීන කොමියුනිස්ට් පක්ෂයට ප්රබලතම ප්රහාරයකි.
ප්‍රියන්ත හෙට්ටිගේ











