මේ තියෙන්නෙ පොළොන්නරුවෙ තියන මගේ සුදු අරලිය හෝටලය. අදටත් හැම තැනකටම වඩා මම නිදහසේ ගතකරන්න කැමති මෙතන තමයි.
මේක මම ඉදිකිරීම් කරගෙන යනකොට ගොඩක් දෙනෙක් මට සෑහෙන්න මඩ ගැහුවා. මම පරිසර සක්‍යතා වාර්තාවලට පිටින් යමින් මේ හෝටල් පරිශ්‍රය ඉදිකළා කියන චෝදනාවත්, 1998දී වෙන්දේසියකින් මම මේක ලබාගන්නකොට අනෙක් ගැණුම්කරුවන්ට තර්ජනය කළා කියා චෝදනාවත් බොහෝ අය මට ඉදිරිපත් කළා.
දැන් මම ඔයාලට මේකෙ නිධාන කතාව කියන්නම්. එවකට මම මේක මිලට ගන්නකොට මේකෙ බහුතර හිමිකාරිත්වය තිබුණෙ සිලෝන් ටුවර්ස් කියන ආයතනයට. එතකොට මේ හෝටලයට තිබුණෙ කාමර 30යි. 1983 කලබල කාලෙන් පස්සෙ මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලයි තිබුණෙ. එවකට මේ හෝටලය ඉදිකිරීම සඳහා මහජන බැංකුවෙන් ඒ අය ලබාගත් ණය මුදලක් ඇරියස් වෙලා, හෝටලය කරගන්න බැරි අඩියක තිබියදී තමයි මේ පරිශ්‍රය එයාලා වෙන්දේසියට දැම්මෙ.
ඉතින් එදා මේ හෝටලය කුණු කොල්ලයට ගන්න හිතාගෙන ගොඩාක් අතරමැදියො වගේම විදෙස් ගැණුම්කරුවන් පවා ඇවිල්ල හිටියා. එදා මට කිසිම හෝටලයක් තිබුණෙ නැති කාල වකවානුවක්. මේ හෝටලය වෙන්දේසි කරන්න යනව කියන ආරංචිය මගේ කනට වැටුණ මොහොතේ ඉඳන් මම කල්පනා කළේ මේ අවධානම මගේ ජීවිතයට ගන්නවද නැද්ද කියන එක ගැන විතරයි. මොකද ඒ වෙනකොට මට හෝටල් සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් තිබුණෙ නැති නිසා.
ඒ දවස්වල පොළොන්නරුවෙ ඉන්න තරුණ යුවළකට එයාලගෙ විවාහ මංගල්‍යය සහන මිලකට ගන්න හොඳ හෝටලයක් තිබුණෙ නැති කාලයක්. මොකද, එවකට පොළොන්නරුවෙ තිබුණ බහුතරයක් හෝටල්වලත් හිමිකාරීත්වය දැරුවෙ කොළඹ සහ වෙනත් රටවල වාසය කරපු ව්‍යාපාරිකයන් විසින් නිසාවෙන්. ඉතින් ඒ වෙලාවෙ හෝටල් ක්ශේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් නැති වුණත්, මට ඒ අවදානම ගන්න වුණා. ඒ නිසා අවසානයේ වෙන්දේසිය වෙලාවෙ මම ඒ ගැණුම්කරුවන් ළඟට ගිහින් මෙහෙම කිව්වා.
“මම පොළොන්නරුවෙ ඉපදිලා, පොළොන්නරුවෙ හැදුණ වැඩුණ මිනිහෙක් හැටියට මේ හෝටලය ගරාවැටෙන දිහා සෑහෙන කාලයක් බොහොම කනගාටුවෙන් බලාගෙන ඉඳල තියනවා. මේ වෙන්දේසියට ඇවිල්ල ඉන්න ඔයාල මේ හෝටලය මිලට ගන්නෙ මේ පරිශ්‍රය විකිණීමේ බලාපොරොත්තුවෙන් මිසක, මේක දියුණු කරලා ආයෙ පටන් ගන්නත් නෙමෙයි කියල මම දන්නවා.
ඒත් මම මෙතනට ඇවිල්ල ඉන්නෙ අවංකවම මේ හෝටලය මිලට අරගෙන, නැවතත් පොළොන්නරුවෙ මිනිස්සුන්ට රැකියා සපයලා මේක හොඳ දේශීය ව්‍යපාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා ඔය මහත්වරු මාත් එක්ක තරහ වෙන්න එපා. මේ හෝටලය මම අරගන්නවා. මොකද මේක මට වගේම පොළොන්නරුවටත් සම්පතක් වන නිසා. ඒ නිසා මගෙන් පිට මේක කවුරුත් ඉල්ලන්නෙ නැත්නම් මම බොහොම කැමතියි.”
එදා මම ඒ අයට කියපු වචන අකුරක් නෑරම ඔතන තියනවා. සමහර අයට හිතෙන්න පුලුවන් ඒක තර්ජනාත්මක කතාවක් කියලා. ඒත් මට ඒ වෙලාවෙ මගේ ගමේ තිබුණ ලොකු සම්පතක් රැක ගන්න ඒ ටික කළ යුතුව තිබුණා. එහෙමයි මම මේ හෝටලය මිලට අරගෙන, පොළොන්නරුවෙ මිනිස්සු වෙනුවෙන් මේක රැකගත්තෙ. එදා මම මේ හෝටලය මිලට ගත්තෙ නැත්නම් අද වෙනකොට මේක විදේශීය රටක කෙනෙක්ට අයිති වෙන්නටත් තිබුණා. ඒත් එදා මම මේ හෝටලය ගත්තු නිසා අද වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න අන්ත අසරණ දුප්පත් පවුල් 3000කට සෘජු සහ වක්‍ර රැකියා උත්පාදනය වෙලා තියනවා.
එදා මම මේක මිලට අරගන්නකොට මේකෙ තිබුණෙ ගරාවැටුණ කාමර 30ක් එක්ක අඩි දෙකක් උසට පිරුණු වවුල් බෙටි තට්ටුවක් විතරයි. ඒත්, අද වෙනකොට සුදුඅරලිය කියන්නෙ කාමර 104ක සුඛෝපභෝගී හෝටලයක්. මම එදා ආධුනිකයෙක් විදියට හෝටල් ව්‍යාපාර ක්ෂේත්‍රයට අඩිතාලම දැම්මෙ මේකෙන්.
ඒත් එදා එහෙම චෝදනා කරපු කවුරුවත් දැන් මට ඒ චෝදනාව කරන්නෙ නෑ. මොකද මම මේ හෝටල් පරිශ්‍රය අවට විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙන විදියට විශේෂ පරිසර කලාපයක් බිහි කරල තියනවා. වන සතුන්ට වගේම ජල පෝෂක ප්‍රදේශ රැකගන්න විශාල මහන්සියක් යොදවල තියනවා. ඊළඟට ප්‍රදේශයේ ගොවි සංවිධාන එක්ක එකතු වෙලා පරාක්‍රම සමූද්‍රයේ ජල මට්ටම අඩි දෙකක් ඉහළට ඔසවන්න මගේ පෞද්ගලික මූල්‍ය දායකත්වය ලබා දෙන්න පවා මම යෝජනා ඉදිරිපත් කළා.
විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන ස්වභාව සෞන්දර්ය රැකගන්න ලොකු වැඩ කොටසක් මම මේ ව්‍යාපෘතියට සමගාමීව ඉටු කරල තියනවා. අදටත් මුළු පොළොන්නරුවෙම මේ හෝටල් පරිශ්‍රයට වඩා අලංකාර එකක් නැහැ. මම ඇත්තටම ඒ ගැන ආඩම්බරයි.
ඒ නිසා දේශීය ව්‍යවසායකයෙක් විදියට බිංදුවේ ඉඳන් පටන්ගත්ත මට ඇතිවෙනකල් මඩ ගහන්න. ඒ මඩවලින් මම ගඩොල් කපලා, ඇති වෙනකල් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදන්නම්. මොකද මගේ මේ පරිසර හිතකාමී එක ව්‍යාපෘතියකින් පවුල් දහස් ගණනක් ජීවිකාව සපයගන්න නිසා.
ඩඩ්ලි සිරිසේනගේ ෆේස්බුක් පිටුවෙනි