කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහි වූ තවත් එක් ජාතික වනෝද්‍යානයක් වන මාදුරුඔය ගැන තමයි අද කැලෑ කොලම හරහා අපි කතා කරන්නේ. එක් පැත්තකින් නැඟෙනහිර පළාතටත්, අනෙක් පසින් ඌව පළාතටත් මැදිව පිහිටා ඇති මාදුරුඔය ජාතික වනෝද්‍යානයට කොළඹ සිට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 270ක් පමණ වෙනවා.
කොළඹ සිට හබරණ, පොළොන්නරුව, අරලගංවිල හරහා ගමන් කිරීම තමයි මාදුරුඔය වෙත ළඟා වෙන්න ඇති පහසුම මාර්ගය වෙන්නේ. ඊට අමතරව මහිංයගණය හරහාත් මේ වෙත ළඟා වෙන්න පුළුවන්.
1983 නොවැම්බර් 09 වැනිදා නිල වශයෙන් ආරම්භ කළ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර් 58,850ක් පමණ වෙන බව සඳහන්. මෙහි පරිපාලනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මහවැලි ව්‍යාපාරය යටතේ අවතැන් වූ සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් තමයි මේ උද්‍යානයත් ඉදි වෙලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්ෂණයේ සුවිශේෂී සලකුණක් විදියට සැලකෙන විශාල වේල්ලකින් යුතු මාදුරුඔය ජලාශය පිහිටා ඇත්තේ මේ ජාතික වනෝද්‍යානය තුළයි. මාදුරුඔය ජලාශයත් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිවූ තවත් එක් ජලාශයක්.
මේ ජලාශය ඉදිකිරීමේදී මතු වූ සාධක හරහා අපේ රටේ පුරාණ ඉංජිනේරුවන්ගේ වික්‍රමය ලෝකයට පෙන්නුම් කිරීමේ අවස්ථාවත් උදා වූ බව මතක් කළ යුතුයි. මහවැලි ව්‍යාපාරය යටතේ මේ ජලාශය ඉදි කිරීමේදී නූතන විද්‍යාව යටතේ වේල්ල සැලසුම් කළ ස්ථානයේම පැරැණි වේල්ලත් ඉදි කර තිබූ බව සොයා ගැනීමට හැකියාව ලැබුණේ ලොවම පුදුම කරවමින්. එය අපේ අතීත වාරි ශිල්පයේ දියුණුව හෙළි කළ ප්‍රබල සාක්ෂියක් බවට පත් වුණා.

ප්‍රධාන වශයෙන් මෙහිදී දැක ගත හැකි සත්ව කොට්ඨාසය වෙන්නේ අලි ඇතුන්. වියළි කලාපීය දැවැන්තයන්ගේ ක්ෂේම භූමියක් විදියට මාදුරුඔය සැලකෙනවා. මාදුරුඔයදී දැක ගත හැකි පිරිමි අලි ඇතුන් ශරීරයෙන් ඉතා විශාල වීමත් සුවිශේෂී කාරණයක්. නමුත් වෙනත් වනෝද්‍යානවලදී මෙන් විශාල වශයෙන් එකතු වුණු අලි රංචු මෙහිදී දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වනෝද්‍යානය පුරා බොහෝ තැන්වල ඉලුක්, මාන යාය පැතිරී තිබීම එලෙස රංචු වශයෙන් අලි ඇතුන් ගැවසීම අවම වීමට හේතුවක්. නමුත් 10- 15කින් සමන්විත අලි රංචු මෙහිදී දැක ගන්න පුළුවන්.
අලි ඇතුන්ට අමතරව දුර්ලභ සතෙකු විදියට සැලකෙන කබල්ලෑවා දැක ගත හැකි තවත් එක් ස්ථානයක් විදියට මාදුරුඔය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දියබල්ලා, ගෝනමුව කොටියා, තාරකා ඉබ්බා වැනි දුර්ලභ ජීවී විශේෂද මෙහිදී දැක ගන්න හැකියාව තියෙනවා.
ඒක දේශික පක්ෂි විශේෂ ගණනාවකුත් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වෙලා තියෙනවා. වත් රතු මල් කොහා, තිත් හොට පස්තුඩුවා, රජ අළු මසුකුස්සා, පෙරළි කොණ්ඩකුස්සා, ආසියානු විවර තුඩුවා, හැඳි මානාවා, සිළු සර්පකුස්සා වැනි පක්ෂි විශේෂ ඒ අතරේ ඉන්නවා. ඒ වගේම දුර්ලභ මත්ස්‍ය විශේෂ වන යෝධ ගුරාමි, තිලාපියා, කැට් ෆිෂ් ඇතුළු වර්ග කිහිපයකුත් මෙහි ජීවත් වෙනවා.
මාදුරුඔයදී දැක ගත හැකි සර්ප විශේෂත් බොහෝයි. ඒ අතරින් කළු නැට්ටක් සහිත පිඹුරු විශේෂය කැපී පෙනෙනවා. ඊට අමතරව නයි සහ පොළොඟුන් අඩුවක් නැතිව මෙහි සැරිසරනවා.
ශාක විශේෂ ගැන කතා කිරීමේදී වියළි කලාපයට ආවේණික දැවමය අතින් වටිනා ශාක වර්ග සියල්ලම මෙහිදී දැක ගන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් අවම වීම හේතුවෙන් අදටත් නොඉඳුල් සුන්දර වනෝද්‍යානයක් විදියට මාදුරුඔය පවතිනවා.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය ආසන්නයේ හෙන්නානිගල ඇතුළු ආදිවාසී ජනතාව ජීවත් වන ගම්මාන කිහිපයක්ම පිහිටා තියෙනවා. අතීතයේ පටන්ම එම ජනතාවගේ ජීවිතවලට මාදුරුඔය හරහා විශාල රැකවරණයක් සැලසිලා ඇති බවත් සඳහන් කළ යුතුයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට එන සංචාරකයන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන එක් බංගලාවක් පවත්වා ගෙන යනවා. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මඟින් ඒ සඳහා පහසුකම් සලසා ගන්න පුළුවන්. ඒ වගේම මාදුරුඔයට යන සංචාරකයෙකුට වෙනත් ජාතික වනෝද්‍යානයකදී අත් විඳින්න හැකියාව නොලැබෙන සුවිශේෂී අත්දැකීමකුත් විඳ ගන්න පුළුවන්. ඒ තමයි බෝට්ටු සවාරිය. නමුත් මේ සඳහා කල් තියාම ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතු වන බවත් මතකයේ තබා ගත යුතුයි. මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය මෙහි සංචාරයට සුදුසුම කාලය ලෙසත් සඳහන් කළ හැකියි.
දැව ජාවාරම සහ දඩයක්කරුවන්ගේ ප්‍රශ්නය තමයි මාදුරුඔයටත් එල්ල වී ඇති ප්‍රධානම තර්ජන වෙලා තියෙන්නේ. ඒ තර්ජන හමුවේ මාදුරුඔය රැක ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැඩි කැපවීමකින් ක්‍රියා කරනවා. එයට අපේ ගෞරවය හිමි විය යුතුයි.
ඒ වගේම අපි මීට පෙර කතා කළ නිල්ගල වනාන්තරය සහ මාදුරුඔය එකතු කොට වනගත කොරිඩෝවක් නිර්මාණය කිරීමේ යෝජනාව දැන් බොහෝ කාලයක සිට කතාබහට ලක් වෙලා තියෙනවා. එවැනි කොරිඩෝවක් ඇති කිරීම අලි ඇතුන් ඇතුළු සියලු සත්ව වර්ගයන්ගේ සංරක්ෂණයට ඉතාම වැදගත් වන බවට වනජීවී විශේෂඥයෝ පවසනවා. ඒත් හමස් පෙට්ටියේ බහා තිබෙන එම යෝජනා ක්‍රියාත්මක වීම දිනෙන් දින පමා වනවා. වනාන්තර එළි පෙහෙලි කිරීම සඳහා ඇති උනන්දුව මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නොමැති වීම කනගාටුවට කරුණක්.
මාදුරුඔය කියන්නේ එතරම් පහසුකම් සහිත ජාතික වනෝද්‍යානයක් නෙවෙයි. එහි සංචාරය සඳහා අවශ්‍ය ජීප් රථ පවා සොයා ගැනීම කල් තියා කළ යුතු දෙයක්. නමුත් ජීවිතයේ එක්වරක් හෝ සංචාරය කළ යුතු, ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එකතු කර ගත හැකි සුවිශේෂී ස්ථානයක් ලෙස අවිවාදයෙන් මාදුරුඔය හඳුන්වන්න පුළුවන්.
සමන් හල්ලොලුව











