වසර 2500ක් පුරාවට පැවැතෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ට සම්පන්න ඉතිහාසය ගැන ශ්‍රී ලාංකික අපි නිරන්තරයෙන් ආඩම්බර වෙනවා. ඒ ගැන බොහෝ දේ කතා කරනවා. ඒ ශිෂ්ටත්වය නිසාම ලෝක ඉතිහාසයේත් අපේ පුංචි ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ලැබිලා තියෙනවා.
ලංකා ඉතිහාසයේ පළමු රාජධානිය වූ අනුරාධපුරයේ ඉංජිනේරු වික්‍රමයන් මුළු ලෝකයම අදටත් පුදුම කරවන්න සමත්. වසර දහස් ගණනාවකට පසුවත් ඒ බොහොමයක් තවමත් සක්‍රිය තත්ත්වයේ පවතිනවා.
මේ හැමදේම අපට ලැබුණේ උතුම් බුදුදහම හේතුවෙන් කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. බුදු දහමත් එක්ක අපිට ලැබුණේ දැහැමි සමාජයක් විතරක් නෙවෙයි, කෘෂිකර්මය, වාරිමාර්ග වගේ උසස් තාක්ෂණයන් රැසකුත් ඒ එක්කම අපිට දායාද වුණා.
මේ හැමදේම එක්ක බුදු දහමත් අරගෙන අපේ රටට මුලින්ම වැඩම කළේ මිහිඳු මහ රහතන් වහන්සේ කියන එකත් හැමෝම දන්න දෙයක්. ඒ හින්දා අදටත් උන්වහන්සේට හැම දෙනාම ගෞරව කරනවා. උන්වහන්සේ මෙරටට වැඩම කළ පොසොන් පෝ දිනයේදී විවිධාකාරයේ පින්කම් කරනවා.
අපේ රටේ ඉතිහාසයේ සැඟවුණු අපූරු තොරතුරු සොයා ගෙන මව්රට යන ගමනේ තවත් පියවරක් විදියට මිහිඳු මහරතන් වහන්සේ පිළිබඳව සැඟවුණු තොරතුරු සොයා යන්න අපි තීරණය කළා. ඇත්තටම මේක අපේ පාඨකයන්ගෙන් ආව ඉල්ලීමක් කිව්වත් හරි. මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහමත් අරගෙන පොසොන් පුන් පොහෝ දිනයේදී ශ්‍රී ලංකාවට වැඩම කළ බව හැම දෙනාම දන්නවා. එතැනින් පස්සේ දේවානම්පියතිස්ස රජු සමඟ සිදු වූ කතාබහ ගැනත්, රජු බුද්ධාගම වැලඳ ගැනීමෙන් පස්සේ අපේ රටේ සිදු වූ අතිවිශාල වෙනස ගැනත් අපි බොහෝ දේ කතා කරලා තියෙනවා. ඒත් එතැනින් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේට මොකද වුණේ කියන එක ගැන අපි වැඩිය කතා කරන්නේ නැහැ. ඒ ගැන අපිට වැඩිය ඇහිලත් නැහැ.
අපි මීට පෙර රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ සැඟවුණු අතීතය සොයා ගෙන යද්දී අපට මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කොට ඉදි කළ දාගැබක් දැක ගන්න ලැබුණා. එතැනදිත් අපි උන්වහන්සේ ගැන මතකය අවදි කළා. හැමෝම දන්න විදියට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිවර වැඩම කළේ මිහින්තලේට. හැබැයි උන්වහන්සේගේ ධාතු තැන්පත් කළ දාගැබක් සහිත රජගල පිහිටලා තියෙන්නේ අම්පාරේ. මේ වගේ කරුණු හින්දා උන්වහන්සේ ගැන තොරතුරු හොයා ගෙන යන්න අපිටත් හිතුණා. ඒ වගේම අපි නොදන්න එතරම් ප්‍රචලිත නොවූ බොහෝ කරුණු කාරණා මේ ගමනෙදි හොයා ගන්න පුළුවන් කියන විශ්වාසයත් අපිට තිබුණා.

මිහින්තලය ගැන අමතක කරලා අපිට මිහිඳු හිමියන් ගැන කතා කරන්න බැහැ. ඒ හින්දා උන්වහන්සේ ගැන තොරතුරු හොයා ගෙන යන ගමනේ පළමු පියවර මිහින්තලයෙන් තියන්න අපිත් තීරණය කළා.
මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති සහ භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් මුණගැහිලා මේ ගැන තොරතුරු විමසන්න තමයි අපි අදහස් කළේ. ඒ විස්තර කතා කරන්න අපි වෙනුවෙන් උන්වහන්සේ කැප කරපු වටිනා කාලය පිළිබඳව මව්රට පාඨක හැමදෙනාගේම ගෞරවය හිමි විය යුතු බවත් කියන්න ඕනෑ.
ගෞතම බුදු රදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 204කට පසු එනම් බුද්ධ වර්ෂ 204දි උපත ලැබූ මිහිඳු මා හිමියන් බුද්ධ වර්ෂ 236දි තමයි ලංකාවට වැඩම කරලා තියෙන්නේ. ඒ වෙද්දි උන්වහන්සේගේ වයස අවුරුදු 32ක්. එතැන් පටන් වසර 48ක කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කළ උන්වහන්සේ බු. ව. 284දී තමයි පිරිණිවන්පාලා තියෙන්නේ. එහෙම බැලුවම උන්වහන්සේගේ ආයු කාලය අවුරුදු 80ක්. ඒ ජීවිත කාලයෙන් අඩකටත් වැඩිය උන්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ අපේ රටේ.
අශෝක අධිරාජයා බුදු දහම වැලඳ ගැනීමෙන් පස්සේ සිදු කළ තෙවැනි ධර්ම සංගායනාව තමයි ලංකාවට බුදු දහම ලැබෙන්න මුල් වෙන්නේ. එහිදී තම නොදුටු මිතුරා වූ දේවානම්පියතිස්ස රජුගේ පාලනය යටතේ පවතින ලංකාවට තමන්ගේ ලෙයින් උපන් පුතණුවන්වම එවන්න අශෝක අධිරාජයා තීරණය කරනවා. සක්විති රජකමට උරුමකම් කියූ මහින්ද කුමාරයා මිහිඳු මහරහතන් වහන්සේ විදියට ඒ උතුම් බුදු දහමත් අරගෙන ලංකාවට වැඩම කරනවා.
මිහිඳු මහ රහතන් වහන්සේ මුලින්ම වැඩම කළේ කොහෙටද ඇහුවොත් ඒකට අපි බොහෝ දෙනා ළඟ තියෙන්නේ එකම උත්තරයක්. මිහින්තලාවේ මිස්සක පව්වට කියන එක තමයි ඒ උත්තරේ. මොකද අපි පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙන්නේ ඒ විදියට. පොසොන් උත්සව කාලෙට අපි මිස්සක පව්වේ ආකෘතියක් හදන්නේ ඒ හින්දයි. ලංකාවේ බොහෝ වෙහෙර විහාරස්ථානවල මිස්සක පව්වේ ආකෘති සහ සිතුවම් දැක ගන්න ලැබෙන්නෙත් ඒ හින්දයි.
ඒත් අපි මෙච්චර කල් හිතා ගෙන හිටපු විදිය වැරැදියි කියලා අපිට මේ ගමනෙදි ඔප්පු වුණා. ඒ මිහින්තලාවේ නායක හාමුදුරුවෝ පැහැදිලි කෙරුව කරුණු කාරණා හරහා. උන්වහන්සේ වදාළ විදියට ඒ කතාව මෙන්න මෙහෙමයි.
“සේල මහා චෛත්‍යය අසල පිහිටි චන්ද්‍රකාන්ති පාෂාණයට තමයි මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම වැඩම කරලා තියෙන්නේ. ඒ බව පානදුරාවාදයේදී තහවුරු කර ගෙන තියෙනවා. මේ පාෂාණයේ ඉපැරැණි බව සහ එයට ඉන්දියාව සමඟ ඇති සම්බන්ධය එහිදී විද්‍යාත්මකව ඔප්පු කර ගෙනත් තියෙනවා.” ඒ මිහින්තලේ නායක හිමියන්ගේ අදහස්.
ඒත් මිහින්තලා මිස්සක පව්ව හෙවත් ආරාධනාගලට උන්වහන්සේ වැඩම කළා කියලා තමයි අපි බොහෝ දෙනා දන්නේ. එහෙම වෙන්න හේතුව සහ ආරාධනා ගල සහ මිහිඳු ආගමනය අතර ඇති සම්බන්ධය ගැනත් ධම්මරතන නාහිමියන් කරුණු පැහැදිලි කරලා දුන්නා.
“සිතුවම්කරණයේ පහසුවට තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් සේල චෛත්‍යය අසලට තමයි උන්වහන්සේ වැඩම කරලා තියෙන්නේ. හැබැයි එදා රාත්‍රියේම මේ ආරාධනා ගලත් සුවිශේෂී ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ වැඩම කරන අවස්ථාව වෙද්දි දේවානම්පියතිස්ස රජතුමා 40,000ක පිරිසක් එක්ක දඩයමේ යමින් හිටියේ. ඒ පිරිසට පේන්න මිහිඳු මහ රහතන් වහන්සේ භද්දිය උපාසකව මහණ උපසම්පදා කරනවා. ඊළඟට සුමන සාමණේරයන්ට කතා කරලා කියනවා දෙවියන්ට ආරාධනා කරන්න කියලා. එම්බා සුමනයනි අර මස්තකයට ගොස් දෙවියන්ට බණ ඇසීමට ආරාධනා කරව කියලා මිහිඳු හිමියන් වදාළ බව ඉතිහාසයේ ලස්සනට සඳහන් වෙනවා.
සුමන සාමණේරයන් ඒ අවස්ථාවේ හරි අපූරු ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී, දස දහසක් සක්වළට ඇසෙන්නට මම ආරාධනා කරන්නද කියලා හත් හැවිරිදි සුමන සාමණේර හිමියන් අහනවා. කෝටි සංඛ්‍යාත සක්වළ, චක්‍රාවාට මේ ලෝකයේ තියෙන බව බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. නමුත් ඒවා ගැන සෙවීමෙන් පලක් නොවන බවත් උන්වහන්සේ වදාරල තියෙනවා. ඒ හින්දා මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන්ට පිළිතුරු දෙන්නෙත් ඒ බුදු බණ අනුසාරයෙන්.
‘එපා මේ පෘථුවි ධාතුවට, මේ සක්වළට පමණක් ඇසෙන සේ ආරාධනා කරන්න කියලා මිහිඳු හිමියෝ සාමණේරයන්ට උපදෙස් දෙනවා. ඒ අනුව සුමන සාමණේර හිමියන් ආරාධනා ගල මතට ගිහින් දෙවියන්ට ආරාධනා කරලා තියෙනවා. ඒ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ පොසොන් පෝය දවසේ.” මිහින්තලේ නායක හිමිපාණන් අදහස් දැක්වූයේ එහෙමයි.
මිහිඳු මහරහතන් වහන්සේ පළමුව වැඩම කළ චන්ද්‍රකාන්ති පාෂාණය මිහින්තලේ සේල චෛත්‍යය අසලදී දැක ගන්න පුළුවන්. වර්තමානයේදී එය රන් වැටකින් ආවරණය කර ආරක්ෂා කර තියෙනවා. ඒත් මිහින්තලේ යන බැතිමතුන්ගෙන් කී දෙනෙක් මේ සුවිශේෂී ස්ථානය වන්දනාමාන කරනවාද කියන එක ප්‍රශ්නයක්. ආරාධනා ගලට නඟින ජන ගඟෙන් භාගයක්වත් චන්ද්‍රකාන්ති පාෂාණය අසලට එන්නේ නැහැ. ඒ හින්දා ඊළඟ මිහින්තලා සංචාරය නිසි අවබෝධයකින් යුතුව සිදු කරන්න මේ සටහන කියවන ඔබත් කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා.
මිහින්තලාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ එතැන් පටන් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම වැඩම කරලා තියෙනවා. ඒ වන විට ගස් ගල් වන්දනා කරමින් සිටි මෙරට ජනතාවට නිර්මල බුදු දහම දේශනා කරමින් ජීවිතාවබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කරල තියෙනවා. ඒ කාලය පුරා උන්වහන්සේ මිහින්තලේ මිහිඳු ගුහාවේ වැඩ වාසය කළ බවත් මිහින්තලේ නායක හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ බව සෙල්ලිපි සාධක හරහා තහවුරු වෙලා තියෙනවා.
දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම වැලඳ ගැනීමෙන් පසුව සිදු කළ පළමු ආරාම පූජාව විදයට මිහින්තලේ අවට ලෙන් 68ක් සංඝයා උදෙසා සකස් කර දී තිබෙනවා. මිහිඳු ලෙනත් ඒ අතරින් එකක් විදියටයි සැලකෙන්නේ. මිහිඳු ලෙන වගේම ඉතිරි ලෙන් විහාර සංකීර්ණයත් අදටත් දැක ගන්න පුළුවන්.
ඉන්දියාවේ මහා අධිරාජයෙකුට දාව උපන් මිහිඳු මහරහතන් වහන්සේ ඒ සියලු සැප සම්පත් හැරදමා විත් අපේ රටේ ජනතාව වෙනුවෙන් කැපවූ ආකාරය විස්මයජනකයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ කළ කී දෑ අතිවිශාලයි. මේ ගමන පුරාවට අපට එවැනි සැඟවුණු තොරතුරු රාශියක් සොයා ගන්න හැකි වුණා. ඒ විස්තර සියල්ල ටිකෙන් ටික ඔබට කියන්න අපි සූදානම්.
චන්දන පොන්නම්පෙරුම










