• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නකල්ස් කැලෑව මැදින් සුදු හාමුදුරුවෝ මතුවෙයි (2 කොටස)

September 21, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
නකල්ස් කැලෑව මැදින් සුදු හාමුදුරුවෝ මතුවෙයි (2 කොටස)
Share on WhatsAppShare on Facebook

සීතල බඹරැල්ලේ අපිව තනි කෙරුව සී. ටී. බී. බස් එක ආපහු යන්න ගියා. බඹරැල්ලේ තියෙන එකම එක කඩෙන් එළකිරි වීදුරුවක් බොන ගමන් අපි ඉදිරි ගමන සැලසුම් කරන්න පටන් ගත්තා. මහා යෝධයෙක් වගේ නකල්ස් කඳු පන්තිය අපිට වම්පසින් අපි දිහා බලාගෙන ඉන්නවා. මේ කඳු පන්තිය හින්දම බඹරැල්ලට අව්ව වැටෙන්නෙත් ටිකක් පරක්කු වෙලා. අපිට පහළින් ගලා ගෙන යන්නේ සුන්දර දිය පාරක්. ඒ දිය පාර අපි ඉන්න තැනට පොඞ්ඩක් එහායින් ජෝඩු ඇල්ල විදියට ගල් කුලකින් පහළට ඇද හැලෙනවා. දිය ඇලි දෙකක් විදියට එකට ඇද හැලෙන හින්දා තමයි ඒකට ජෝඩු ඇල්ල කියන නම වැටිලා තියෙන්නේ. බඹරැල්ල වගේ ගම්මානයකට යන ඕනෑම කෙනකුට හැඟෙන්නේ අපේ ජීවිතයෙන් දශක කිහිපයක් ආපස්සට ගියා වගේ හැඟීමක්. මොකද තවමත් නාගරික බවෙන් නොකෙළසුණු සුන්දර ගම්මානයක තියෙන්න ඕනෑ හැම ලක්ෂණයක්ම තවමත් බඹරැල්ලේ දකින්න පුළුවන්.
මේ සුන්දර බඹරැල්ලෙදි සුදු හාමුදුරුවොත් එක්ක කතා කරන්න අපිට අවස්ථාව නොලැබුණු හින්දා උන්වහන්සේලා හොයා ගෙන නකල්ස් කැලයට ඇතුළු වෙන එක තමයි අපේ තීරණය වුණේ. ඒ වුණත් අවේලාවේ ගිහින් උන්වහන්සේලාට කරදර කරන්න අපේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මොකද යුරෝපීය රටක ඉපදිලා සියලු සැප සම්පත් අත්හැරලා උන්වහන්සේලා මේ සුන්දර නකල්ස් වනයට වැඩම කරලා තියෙන්නේ පත්තරවලට විස්තර දෙන්න නෙවෙයි කියන එක අපේ ඔළුවේ තදින්ම තිබුණා. ඒ හින්දා උන්වහන්සේලාට කරදරයක් නොවන විදියට මේ වැඬේ කරන්න ඕනෑ කියන එකත් අපි හැම දෙනාගෙම තීරණය වෙලත් තිබුණා.
කඬේ නැන්දා කිව්ව විදියට සුදු හාමුදුරුවෝ ඊළඟ දවසේ පිණ්ඩපාතය වඩින්නේ මොන ඉසව්වටද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. ඒ තමයි උන්වහන්සේලාගේ දෛනික ජීවිතය. සමාජ ආශ්‍රයෙන් ඈත් වෙලා ඉන්න ඕනෑ හින්දා ඒක උන්වහන්සේලා හිතාමතාම කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඊළඟ දවසේ උන්වහන්සේලා කොයි පැත්තට පිණ්ඩපාතයට වැඩියත් මුණගැහෙන්න පුළුවන් විදියේ තැනක් අපි හොයා ගන්නත් ඕනෑ. ඒ වගේම හවස් කාලයට උන් වහන්සේලා මහ කැලේ ඇවිදින බවත් අපිට දැන ගන්න ලැබුණා. ඒ වගේ වෙලාවක උන්වහන්සේලා මුණගැහුණොත් ඒක අපේ වාසනාව. හැබැයි මේ හැම දේම කරන්නත් අපි උන්වහන්සේලාගේ කුටි පිහිටලා තියෙන ඉසව්ව දැන ගන්න ඕනෑ.
ඒක තමයි අපි ඊළඟට මුහුණ දුන්නු ලොකුම අභියෝගය වුණේ. පිණ්ඩපාතයට බඹරැල්ලට වැඩියා වුණත්, උන්වහන්සේලාගේ කුටි පිහිටලා තියෙන දිහාව ගැන බඹරැල්ලේ කාටවත් හරි අවබෝධයක් තිබුණේ නැහැ. සමහරවිට දැනගෙන නොකිව්වා වෙන්නත් පුළුවන්. ඒක එහෙම වුණත් ඒ ගැන අපි ඒ අයට දොසක් කියන්නේ නැහැ. සුදු හාමුදුරුවරු ඉන්න පැත්ත ගැන ඇහුවම අපිට බඹරැල්ලෙන් ලැබුණේ එක එක විදියේ උත්තර. කඬේ නැන්දා කිව්වේ එක පැත්තක්. ඊට පස්සේ හම්බවුණු පොඩි මල්ලි කෙනෙක් පෙන්නුවේ වෙන පැත්තක්. ඔය වගේ හම්බවුණු තවත් කිහිප දෙනෙක් කන්දේ කිහිප පැත්තක්ම පෙන්නුව හින්දා, නකල්ස් කැලේ හැම තැනම සුදු හාමුදුරුවරු වැඩ ඉන්නවා වගේ අදහසක් තමයි අපිට ඇති වුණේ. එහෙම එක එක අය විවිධ පැති පෙන්වන්නත් හේතුවක් තියෙනවා. ඒ ගැන තව ඉස්සරහදි විස්තර කියන්නම්.
කවුරු බොරු කිව්වත් පොඩි ළමයි බොරු කියන්නේ නැහැ කියනවනේ. ඒ හින්දා අපිට හම්බ වුණු පොඩි මල්ලි කිව්ව විස්තර අනුව සුදු හාමුදුරුවෝ හොයා ගෙන යන්න අපි තීරණය කළා. මොකද ඒ මල්ලි නකල්ස් ගැන හොඳට විස්තර දන්න බව කතා කරද්දී අපිට තේරුණා. ඒ විතරක් නෙවෙයි ගමේ මිනිස්සු කන්දට යන කෙටි පාරවල් කිහිපයකුත් එයා අපිට පෙන්නුවා. ගෙනාපු බඩු මුට්ටුත් කර ගහගෙන කකුල් දෙකේ පිහිටෙන් ඔන්න අපි නකල්ස් නගින්න පටන් ගත්තා.
ඒක හරිම ලස්සන ගමනක්. ඒ වගේම ජීවිතේට ගිය දුෂ්කරම ගමනක්. බඹරැල්ලට වැටිලා තියෙන කට්ට ගැලවුණු තාර පාර ටික ටික අපෙන් ඈතට යද්දී අපි ටික ටික කන්ද උඩට නගිනවා. ඒ එක්කම පහළ වටපිටාව බොහොම ලස්සනට අපිට පේනවා. නකල්ස් රක්ෂිතය මායිමේ පිහිටි අන්තිම දෙමළ ගම්මානයටත් අපි කිට්ටු කරා. ගම්මානයක් කිව්වට තේරෙන විදියට කිව්වොත් ඒක ලැයිමක්. යම්තම් අටවාගත්ත ගෙවල්වල ඒ ජනතාව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ ටික දුර ඇවිල්ලත් ඒ වෙද්දී අපිට හොඳ ගණන්. ඒත් ඒ මිනිස්සු හැමදාම දවසට වරක් දෙවරක් ඒ ගමන යනවා. ඒ දුෂ්කර මඟ දිගේ පොඩි එවුන් ස්කෝලේ යනවා.
එතැනින් එහාට මිනිස් වාසයක් නැති හින්දා සුදු හාමුදුරුවෝ ගැන ඒ දෙමළ මිනිසුන්ගෙනුත් පුළුවන් විදියට විස්තර අහගන්න අපි අමතක කළේ නැහැ. ඒත් ලැබුණේ නම් කලින් උත්තරේමයි. එක එක අය එක එක උත්තර. හැබැයි එතැනිනුත් අපිට හරිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි එතැනින් එහාට තිබුණු අඩි පාරත් ගමේ අය වහලා දාලා. කොහොම හරි යන්තම් පාර හොයාගෙන අපි ආයෙත් කන්ද නගින්න පටන් ගත්තා. ඒත් හරියට අඩි පාර නැති හින්දා එක තැනකදි අපි අතරමං වුණා. අපේ වෙලාවට ඒ හරියේ තිබුණේ මානා කැලයක්. ඒ හින්දා පහළ ඉන්න මිනිසුන්ට අපිව පේනවා. හැබැයි කියන ඒවා ඇහෙන්නේ නැහැ. ඒ අය අතින් පෙන්වලා කියන්නේ කන්ද උඩට නඟින්න කියන එක අපිට තේරුණා. අන්තිමට අඩි පාරක් නැති මාන කැලයක් තළාගෙන, ගල් පර නැගගෙන තනි කෙළින් අතට කන්දක් නගින්න අපට සිද්ධ වුණා. ඒ මදිවට මුළු ඇගේම කූඩැල්ලෝ. ජීවිතේ මෙච්චර කාලයකට වින්ද අමාරුම අත්දැකීමක් තමයි ඒක. කොහොම හරි අන්තිමේ අපි හරි පාර හොයා ගනිද්දී පැය තුන හතරක් ගිහින්.

මානා කැලය ඉවර වුණාට පස්සේ අපි ඇතුල් වුණේ මහා ගන වනයකට. ඒ වෙද්දී අපි ගම්මානේ ඉඳලත් සෑහෙන්න දුරක් ඇවිත්. “මේ හරියේ නම් හාමුදුරු කෙනෙක් ඉන්න විදියක් නැහැ.” ඒ වෙද්දී අපේ නඩයේ උදවියගෙන් ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. අපි යන්නේ වැරැදි පාරකද කියන සැකය ඒ වෙද්දි අපි හැමෝගෙම හිතට ඇතුළු වෙලා. ඒත් අපිට ආපහු හැරිලා යන්නත් බැහැ. හරියට විස්තරයක් අහගන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ඒ ඔක්කොටම වඩා ඒ වෙද්දි අපි හොඳට හෙම්බත් වෙලා. හැබැයි ඒ වෙද්දිත් අපේ හිතට එකම එක සහනයක් තිබුණා. ඒ තමයි අපි කලින් කිව්ව සුදු හාමුදුරුවෝ අන්තර්ජාලයට මුදාහැරිය ඡායාරූප එකතුව. ඒ ඡායාරූපවල තිබුණු සමහර දර්ශන අපි ඒ වෙද්දී හිටිය ඉසව්වට බොහොම සමානයි. ඒ හින්දා කොයි මොහොතේ හෝ සුදු හාමුදුරුවෝ අපේ ඉදිරියෙන් දර්ශනය වේවි කියන බලාපොරොත්තුවත් ඒ වෙද්දිත් අපි කාගෙවත් හිතින් ගිලිහිලා තිබුණෙත් නැහැ.
එතකොට වෙලාව හවස හතරට විතර ඇති. තවත් ඇවිදින්නේ නැතිව මහ කැලේ ඇතුළේ ඉඩක් තිබුණු හරියකින් කූඩාරම අටවගෙන නවතිමු කියන එක තමයි හැමෝගෙම තීරණය වෙලා තිබුණේ. මොකද ඒ වෙද්දිත් නකල්ස් කඳු පංතියම මීදුමෙන් වැහිලා ගිහින්. අපිට එකිනෙකා පේන්නේ නැති තරමටම. ඒත් ඒකට සුදුසු තැනක් හොයා ගනිද්දිත් තවත් පැයක් විතර ගත වුණා. අන්තිමට පුංචි වතුර පාරකට පොඞ්ඩක් එහාට වෙන්න ඉඩ තිබුණු තැනක අපි කූඩාරම අටවා ගත්තා. අමතක නොවන දුෂ්කර අත්දැකීම් ගොඩක් එකතු වුණු එදා දවස කාත් කවුරුවත් නැති මහ කැලයක් මැද කූඩාරමක් ඇතුළේ ඒ විදියට ගතවෙලා ගියා. ඇත්තටම ඒක ජීවිතේ ගෙවුණු සුන්දරම රාත්‍රියක්. ඒත් ඒ මුළු රාත්‍රියේම අපේ හිත්වලට සැනසීමක් ලැබුණේ නැහැ. මොකද ඊළඟ දවසෙ උදෑසනත් අපිට සුදු හාමුදුරුවෝ හම්බ වෙන්නේ නැහැ. ඒක ඒ වෙද්දිත් අපේ හිතට දැනිලා ඉවරයි. “අපිට සුදු හාමුදුරුවෝ හොයා ගන්න බැරි වෙයිඳ” කියන එක රෑ පුරාම අපේ හිත් ඇතුළේ හොල්මන් කළා කිව්වොත් හරි.
මීට කලින් ඇහිලා නැති අමුතු විදියේ කුරුලු නාද එක්ක ඊළඟ දවසටත් නකල්ස් මහ කැලේට ඉර උදා වුණා. ඒ අපේ ගමනේ දෙවැනි දවස. ඒ වගේම තව දෙයක්. එදා දවසෙත් අපිට ගෙදර යන්න වෙන්නේ නැහැ කියන එකත් ඒ වෙද්දි අපිට තේරිලා ඉවරයි. මොකද සුදු හාමුදරුවෝ මුණගැහෙන්න නම් අපිට ඊළඟ දවසේ උදේ වෙනතුරු ඉන්න වෙනවා. ඒත් උන්වහන්සේලා වැඩ ඉන්නේ කොහේද? අපි ඒ ගැන අහන්නේ කාගෙන්ද? නූඞ්ල්ස් එකක් හදා ගෙන උදේට කාලා ඉවර වෙද්දිත් ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් අපි කාටවත් තිබුණේ නැහැ.
“අපි ආපහු පල්ලම් බහිමු” ඒක තමයි අන්තිමට අපේ ඒකමතික තීරණය වුණේ. “පල්ලෙහාට ගිහින් හාමුදුරුවෝ ඉන්නවා කියපු වෙන පැත්තකට ගිහින් බලමු”. කොච්චර මහන්සි වුණත්, ආව කාරණාව අත්ඇරලා දාලා ආපහු එන්නත් අපි කාටවත් හිතක් තිබුණෙත් නැහැ. එදා මුළු ලංකාවටම එක වගේ වැහැපු දවසක්. නිතරම වහින නකල්ස් වනාන්තරයටත් ඒ වැස්සෙන් බේරුමක් තිබුණේ නැහැ. අපිට පිහිටට තිබුණු එකම දේ අපි අරන් ගිය රේන්කෝට් විතරයි. ඒ වගේම අපිට කරන්න පුළුවන් වුණු එකම දේත් සීතල වැස්සට තෙමි තෙමී, පුළුවන් තරමින් කූඩැල්ලෝ ගලවා ගලවා පල්ලම් බහින එක විතරයි. මේ ගමන අමාරු එකක් කියලා අපි හැමෝම එන්න කලින් දැනගෙන හිටියා. ඒක ඇත්ත. ඒත් ඒක ඒ තරම්ම අමාරු අත්දැකීමක් වේවි කියලා අපිට ඊට කලින් හිතිලා තිබුණේ නැහැ. ඒක විඳලම බලන්න ඕනෑ අත්දැකීමක්.
ඇඳන් ගිය කලිසම් පවා ලේවලින් තෙත් කර ගෙන, කූඩැල්ලෝ බුරුතු පිටින් කකුල්වල පුරව ගෙන අපි පල්ලමට බැස්සා කියමුකෝ. ඒත් අපේ ගමන එතැනින් ඉවර නැහැනේ. සුදු හාමුදුරුවෝ හොයාගෙන අපි ආපහු කන්දේ වෙන පැත්තකට නගින්න ඕනෑ. ඒත් ආයෙ මඟ වරද්දගන්න කෙහොමත් බැහැ. ඊළඟ දවසේ අපි කොහොම හරි උන්වහන්සේලා හොයා ගන්නම ඕනෑ. ආපහු පල්ලමට ඇවිත් අරමුණක් නැතිව ඔහේ ඇවිදිද්දී තමයි අපිට විජේසිංහ අයියා හම්බ වුණේ. විජේසිංහ අයියා තමයි අපිට සුදු හාමුදුරුවරු ඉන්න හරිම පැත්ත ගැන හරිම ආරංචිය දුන්නේ. ඒ වෙද්දී අපේ ගමනේ දෙවැනි දවසත් නිමා වෙන්න ඔන්න මෙන්න තිබුණේ. “පුළුවන් තරම් ඒ පැත්තට ගිහින් අතර මඟ නවතිමු” දෙවැනි දවසටත් මහ කැලයක් මැද කූඩාරමක රාත්‍රිය ගත කරන්නයි අපේ සූදානම.
ඇත්තටම අපේ උත්සාහය අසාර්ථක වුණේ නැහැ. පිට පිට දුෂ්කර රැය දෙකක් ගෙවුණත්, ඊළඟ දවසට ඉර උදා වුණේ බොහොම සුන්දර දර්ශනයක් එක්ක. ඔව් දවස් දෙකක් පුරා අපි පෙරුම් පුරාගෙන මඟ බලා සිටිය සුදු හාමුදුරුවෝ පිණ්ඩපාතයට වඩින ඒ සුන්දර දර්ශනය එක්ක. ඒක අපේ ජීවිතවලට උදා වුණු වාසනාවන්ත දවසක්. උන්වහන්සේ අපි එක්ක කිව්ව දේවල් වලින් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම අපි ලබන සතියේ ඔබට කියනවා. නකල්ස් මහ වනයේ භාවනා කරන සුදු හාමුදුරුවරු ගැන කවුරුත් දැන ගෙන නොහිටිය බොහෝ තොරතුරු ඒ අතරේ තියෙන බව විතරක් අපි දැනට කියන්නම්.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගෝඨා හදිසි කැබිනට් රැස්වීමක් අද කැඳවයි

Next Post

දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.