එක සීරුවට පොළොවට බහින කාෂ්ටක අව්වත් එක්ක ඔට්ටු වෙන ගහකොළවල තිබුණේ බොහෝම වෙහෙසකර පෙනුමක්. සමහර ගස් ඉපල් වුණු අත් අහස පැත්තට උස්සගෙන ඉන්නෙ වැහි බිඳක් ඉල්ලන්න වගේ. සමහර තැනෙක මහ ගස් මියැදිලා. කනවේ මැස්සගෙ ඉඳල අලිය, කොටිය, වළහා පවා උන්නෙ දිය පිපාසාව අමාරුවෙන් දරාගෙන. යාල කැලයට මේ ගිම්හානය බොහෝම කරදර කරලා, රිදවලා. අව්ව වැස්ස දෙකම එක වගේ ඉවසලා දරාගෙන උන්න මයිල ගස් විතරයි කොළ පාටට තිබුණෙ. ඒක වනාන්තරයට බොහෝම අමාරු කාලයක්. ගස් බදාගත් වැල් කොහොම හරි මේ දුක ඉවසමු කියන්නා වගේ තැන් තැන්වල තුරුල් වෙලා ඉන්නවා. බඹර වදයකට පැණි හොයන්න යන බඹරු වේළුණු ඉපල් උඩ හති අරිනවා. අපිත් මේ සියලු දුක් ගැහැට අතරින් හේබාලා ගිය මහ වනාන්තරයට රිංගුවා. ඒ කයි කතන්දර උවමනා එපාකම් ගොඩක් එක්ක. හැබැයි ඔය ඕනෑ එපාකම්වලට කැලේට රිංගුවාය කියපු ගමන්ම වැරැදියට හිතනවා නෙමෙයි. මොකද එහෙම එකක් කරගන්න පුළුවන් ඉසව්වක් මේ වනාන්තරේ නෑ. දිය කදරු ඔක්කොම වේළිලා. කළුදිය ඇල්ල පේන්නෙ යන්න එන්න කපාගත්ත පාරක්ක වගේ. වැව් දැක්කම හිතෙන්නෙ හිතුවක්කාරයෙක් ගස් කපලා ඉතිරි වුණු පිට්ටනියක්ය කියලා. හැබැයි මේ ලියන්න යන්නෙ ඒ ගමන ගැන නෙවෙයි. මේ ගමන ගැන නම් අපි බොහෝමයක් කයි කතන්දර ලියන්න ලෑස්තියි. ඒත් මේ නතර වුණු තැන ගැන කවදාවත් කවුරුවත් කොහේවත් ලියලා නෑ කියලයි මගෙ පෞද්ගලික විශ්වාසය.

මේ වනාන්තරේ කුඹුක්කන්ඔය පෙනෙන නොපෙනෙන මානයේ තියෙන අපූරු ගහක්. ඇත්තටම මගෙ විශ්වාසය හරි නම් කොහොම්බානෙන් කැලේට රිංගන අපිට කිලෝමීටර් හතළිහක් විතර යනකල්ම මේ විදියෙ ගහක් මුණගැහෙන්නෙ නෑ. ඇත්තටම කියනවා නම් මේ අතුපතර විහිදුණු රූස්ස බෝ ගහක්. බෝගහේ කඳ සාමාන්‍ය මනුස්සයෙක්ට කිසිසේත්ම දෑත විහිදවලා බදාගන්න බෑ. මිනිස්සු තුන්දෙනෙක්ට ඒක අපහසුයි. උස ගැන කියන්න තේරුමක් නැති වුණාට තුරු මුදුන් සියල්ල අතරින් මේ බෝ ගහ බොහෝම ඉහළට එසවිලා විශේෂයෙන් පේනවා. බෝ ගහේ ඉතිහාසය කොච්චර දුරද කියන්න දන්න කෙනෙක් නෑ. ඒත් යාල කැලේට දඩයමේ ආපු උදවිය මේ බෝ ගහ දැකලා තියෙනවා. හැබැයි මීට අවුරුදු විස්සකට විසිපහකට කලිනුත් මේ කියන බෝ ගහ මේ විදියටම තිබිලා තියෙනවා. ඒ විදියට ගත්තම මේ බෝ ගහේ ඉතිහාසය බොහෝම දුරයි. කවුරුවත්ම තවම ඒ ගැන නිශ්චිත මට්ටමක පර්යේෂණයක් කරලා නැති නිසා කොච්චර පරණද දන්නෙ නෑ. හැබැයි මිනිස්සු කවදාහරි කොතැනකදි හරි මේ බෝ ගහට වඳින්න පටන් අරගෙන තියෙනවා. එහෙම වැඳලා මේ බෝ ගහ පාමුල කරන නවග්‍රහ පූජාව ඉතාම බලගතුයි කියලයි කියන්නෙ. හැබැයි කොහොම වෙතත් මේ වනාන්තරවල සියලුම පුද පූජා පටන්ගන්නෙ දඩයක්කාරයො. ඒ නිසා මේ ගහ අබියස කරපු වන්දනාමානවල ඉතිහාසයත් දඩයක්කාරයොම වෙන්න පුළුවන්.
කොහොම නමුත් අද වෙනකොට මෙතැනට ලංකාවෙ ඉන්න ප්‍රධාන පෙළේ දේශපාලකයො ඇතුළු කීප දෙනෙක්ම එනවා යනවා, වඳිනවා, පුදනවා කියලා කියනවා. එහෙම ආපු ගියපු අය අතර මේ අවුරුද්දෙ ජනපති පුටුවට සටනට එන අයත් දෙන්නෙක් විතර ඉන්නවා කියලා දැනගන්න තියෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති කෙනෙක් සහ එතුමගෙ ආර්යාවත් ඉන්නවා. මේ අය වතාවක් මෙතැන වැඳලා පුදලා යන ගමන් අකරතැබ්බවලට මුහුණදීලත් තියෙනවා. ඒ වගේම ලංකාවෙ බොහෝ කතාබහට ලක්වුණු, ජාතික රූපවාහිනියටත් ගිහිල්ලා ආපු ආචාර්යවරයකුත් මේ හරහා යන ගමන් අනිවාර්යයෙන්ම මේ බෝධියට වැඳලා තියෙනවා. ඒක ඔහු පුරුද්දක් විදියට කරපු දෙයක්. මෙතැන බැඳලා තියෙන ගල් බැම්මත් ඒ විදියට බැඳුණා කියලා කියැවෙනවා.

දැන් මෙහෙම ගිහිල්ලා කරන පූජාවට මල්, තෙල්, හඳුන්කූරුවලට අමතරව ගෙනියන දෙයක් තියෙනවා. ඒ තමයි බුලත් කොළ නවයක්, පොල් මලක් සහ පහන් නවයක්. මේ බුලත් කොළ නවය ලස්සනට රවුමකට තියනවා. එකකට එකක් සම්බන්ධ වෙන විදියට. එහෙම තියලා ඒ මැදින් පොල් මල තියනවා. විහිදුවලා ඒ විදියට පොල් මල තියන්න පාවිච්චි කරන්නෙ වැලි පුරවාපු මුට්ටියක්. එහෙම පොල් මල විහිදුවලා අර වටේ තියෙන බුලත් කොළ උඩ පහන් පත්තු කරනවා. එහෙම කරලා පූජාව පටන් ගන්නවා. මේ පූජාව කරන්නෙ නවග්‍රහයන්ට කරන පූජාවක් විදියට කියලයි මේ ගැන කාරණා කරණා දන්න කියන උදවිය කියන්නෙ.
ඒ කොයික වෙතත් මේ තැන නිතරම අලි ගැවසෙන තැනක්. ඒ විතරක් නෙවෙයි සරු දළ තියෙන ලොකු වල් ඌරොත් නිතරම මේ අවට ඉන්නවා. එක වතාවක් අපි එතැනට යනකොට වලස්සු දෙන්නයි. අපි කරන්න දෙයක් නැති නිසාම බෝ ගහ පැත්තට හැරිලා වැඳගෙන හිටියා. වලස්සු දෙන්න බලාගෙන ඉඳලා යන්න ගියා. ඒ වගේම තවත් අයෙක් කිව්වා,
“දවසක් එනකොට අලි රංචුවයි. එයාලා මේ ගහ වටේට හිටියා. අපි සද්ද නැතුව බලාගෙන උන්නා ටික වෙලාවක්. එහෙට මෙහෙට කැරකිලා යන්න ගියා. කොළයක් දල්ලක්වත් කැඩුවෙ නෑ.”
මේ විදියෙ තවත් කයි කතන්දර ඕනෑ හැටියෙ ඇති. ඒත් ඒ ගැන දන්න කියන අය හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි කොහොම වෙතත් මිනිස්සු මෙතැනට ඇවිල්ලා කළු බණ්ඩාර දෙවියන්ට බාරහාර දෙනවා. සමහර ඉල්ලීම් කරනවා. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. මේ බලාපොරොත්තු අතර, රටේ ජනපති වෙන්න, අගමැති වෙන්න, ආණ්ඩු බලය ලැබෙන්න, විපක්ෂ නායකකම ලැබෙන්න, පුතාට ලොකු පුටුවකට යන්න ලැබෙන්න, අපේක්ෂකත්වය ලැබෙන්න, ඇමැතිකමක් ලැබෙන්න, කැබිනට් ඇමැතිකමක් ලැබෙන්න වගේ සාමාන්‍ය අපිට හිතාගන්නවත් බැරි පන්නයේ බලාපොරොත්තුත් තිබිලා තියෙනවා. ඒ ගැන වැඩි විස්තර කරන්න යන එක නිකන් ඕනෑ නෑ වගේ කියලා හිතෙනවා. ඒ නිසා ඒ ගැන අපි කතා නොකර ඉමු.
මේ බෝධිය ගැන හෝ ඒක සම්බන්ධ වෙනත් විස්තර මම ලියන්නෙ නෑ සහ ඒ තැනට යන පාරවත් හරියට කියන්නෙ නෑ. සමහර විට ඔබ ඒ පාර දන්නවා ඇති. ඔබට ඒක හොයාගන්න එක අපහසුවක් නැතුව ඇති. නමුත් මිනිස්සු මේ කැලෑවට ගිහිල්ලා ඒ තැන්වලට කරලා තියෙන අපරාධ දැන් දැකලා ඇතිවෙලා තියෙන්නෙ. ඒ නිසා මේ බෝධියෙ අනුහස් තිබුණත් නැතත් ඔබ පුළුවන් නම් ඒ බිමට පය නොගහා ඉන්න. ඔබට පින්.
ජීවන පහන් තිලිණ





