දශක ගණනාවක් පුරා චීනය තුළ බොහෝ ස්ථාවරව නිෂ්පාදන කටයුතු කරමින් සිටි සුවිශාල විදේශීය සමාගම් රැසක් චීනයෙන් ඉවත්ව යෑමට පටන්ගෙන ඇත. දැනට වසරක පමණ කාලයක සිට උද්ගතව ඇති මෙම අර්බුදය දැන් දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතියි. මෙසේ චීනයෙන් විදේශීය සමාගම් ඉවත්ව යෑම වැඩිවීම හේතුවෙන් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර, එවැනි සමාගම් පිහිටි ප්‍රදේශවල ප්‍රාදේශීය නායකයන්ට රජය බලකර ඇත්තේ මෙම තත්ත්වය විසඳා ගැනීම සඳහා වහාම ක්‍රමෝපායක් සකස් කරන ලෙසය. එවැනි සමාගම්වල කැමැත්ත දිනාගැනීම සඳහා වහාම නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට පළාත් නායකයන්ට රජය නියෝග කර ඇත. එහෙත් එම අර්බුදයේ අඩුවක් මෙතෙක් දක්නට නොහැකිය.
පසුගිය 2019 ඔක්තෝබර් මාසයේදී චීනයේ ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ හුයිෂු කර්මාන්ත නගරයේ පිහිටි විශාලතම කොරියානු කර්මාන්ත ශාලාවක් වූ ‘සැම්සුන්ග්’ ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනාගාරය මුළුමනින්ම වසා දැම්මේය. මේ හෙයින් එම කර්මාන්ත ශාලාවට අනුබද්ධිත සේවා සපයන උප සහායක කර්මාන්ත ශාලා කිහිපයක්ද වසා දැමුණු අතර, සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි විය. මෙම සේවක පිරිස් සඳහා නවාතැන් සැපයූ ස්ථාන මෙන්ම භෝජනාගාර පවා මේ නිසා වසා දැමීමට සිදුවිය. ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට හඳුන්වා දීමටත් ප්‍රථමව 1992 වසරේ සිටම මෙම ‘සැම්සුන්ග්’ කර්මාන්ත ශාලාව චීනය තුළ පැවතීම විශේෂත්වයක් විය. මෙම විශාල කර්මාන්ත ශාලාව වසාදමා දැනට අවුරුද්දක් ගතවී ඇති අතර, පසුගිය සමයේදී කොවිඞ් 19 වසංගතය හේතුවෙන්ද එම හුයිෂු නගරය කබලෙන් ළිපට වැටිණි.
හුයිෂු කර්මාන්ත නගරය තුළ දකුණු කොරියානු සමාගම් වන ‘සැම්සුන්ග්’ සහ ‘එල්.ජී’ ප්‍රධානව තවත් විවිධ කොරියානු සමාගම් සහ කර්මාන්ත ශාලා 280ක් පිහිටා ඇත. එහෙත් මෙම වසරේ ජූලි මාසය වන විටදී මෙයින් සමාගම් 96ක් සම්පූර්ණයෙන්ම චීනයෙන් ඉවත් කරගෙන ගොස් ඇත. මෙය චීනයට බලවත් පහරක් වන අතර, ඒ අනුව සමස්ත කොරියානු සමාගම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම චීනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන ඇත.
මේ අතර අනෙක් විශාලතම අර්බුදය වී ඇත්තේ කොරියානු සමාගම් පමණක් නොව ජපානයේද විවිධ සමාගම් රැසක්ද මේ වන විට චීනයෙන් ඉවත් වෙමින් සිටියි. ජපානයේ අති සුවිශාල ප්‍රකට සමාගම් වන සෝනි, රිකෝ, ශාර්ප් සහ තවත් ප්‍රකට ජපාන සමාගම් කිහිපයක්ම මේ වන විට තමන්ගේ විශාල කර්මාන්ත ශාලා සහ අනෙකුත් ව්‍යාපාරික ආයතන චීනයෙන් ඉවත් කරගෙන ඇත. මෙම සමාගම්ද දැනට දශක ගණනාවක සිට චීනය තුළ තම නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටියේය. පසුගිය 2019 වසරේදී සිට මෙම අර්බුදය ඇතිවන්නට පටන් ගත්තේ ඇමෙරිකානු – චීන වෙළෙඳ යුද්ධයේ ආදීනව හේතුවෙනි. මේ නිසා ඇමෙරිකාවේ සහ චීනයේ බදු ක්‍රමවේදයන් අධික වූ අතර විදෙස් සමාගම් රැසක් වෙනත් රටවල් කරා යන්නට විය. චීනයේ මෙතෙක් තිබුණු කර්මාන්ත ශාලා ඔවුන් එම රටවල් තුළදී පිහිටුවා ගැනීමට කටයුතු කර ඇත. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ මෙම ඇමෙරිකානු – චීන වෙළෙඳ යුද්ධය උග්‍ර විය.
මේ වන විට චීන බලධාරීන් මෙම තත්ත්වයෙන් ගැලවීමට උපරිම උත්සාහයක යෙදී සිටිති. මෙම තත්ත්වය තව තවත් උග්‍ර වුවහොත් දැනට චීනය මුහුණදී ඇති ආර්ථික අර්බුදය උත්සන්න වනු ඇතැයි බලධාරීන් අවධාරණය කර ඇත. දැනටද චීනයේ රැකියා විරහිතභාවය ඉතාමත්ම උත්සන්න වී ඇති අතර, මෙවැනි අර්බුදයක් යටතේ රටෙ දේශීය ඉල්ලුමද පහත වැටෙනු ඇතිය. මේ අතර ග්වැන්ග් ඩොන්ග් ප්‍රාදේශීය පක්ෂ කමිටුව විසින් හුයිෂු නගරයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ මෙසේ ගිලිහී යන ජපාන සහ කොරියානු ආයෝජන රැක ගැනීම සඳහාත් එම ආයෝජන නැවැත ඇතිකර ගැනීම සඳහාත් වහාම සුදුසු වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසය. ජපාන සහ කොරියානු සමාගම්වල නියෝජිතයන් නිරන්තරයෙන් චීනය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද බලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත. දකුණු කොරියාවේ සහ ජපානයේ ආයෝජන කාර්යාල හුයිෂු කර්මාන්ත නගරය තුළ විවෘත කිරීමටත්, එමගින් ඍජුවම දේශීය කණ්ඩායම් සමඟ කටයුතු කිරීමටත් අවස්ථාව සලසන ලෙසට උපදෙස් ලැබී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය පාලනය මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ප්‍රශ්නයකට මැදිව සිටියි. කෙසේ හෝ මෙම තත්ත්වයෙන් මිදීමට ඔවුන් හැකි සෑම දෙයක්ම සිදුකරති.
මේ හෙයින් චීනය මේ වන විට තමන්ගේ යාබද දියුණු වෙළෙඳ ආර්ථිකයක් ඇති රටවල් සමඟ හිතවත්කම් වර්ධනය කර ගැනීමට මහත් වෙහෙසක් ගනියි. ජපානය, දකුණු කොරියාව මෙන්ම සිංගප්පූරුවද ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා රටවල් වෙයි. මේ වන විට චීන බලධාරීන් එම රටවල් තුළ පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක්ද මෙහෙයවමින් සිටියි.
පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ