ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාව නව මගකට යොමුකළ තරුණ ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූටියුබ් චැනලය වන Chooty Malli Podi Malli වෙත නවතම වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ‘සිරිමාමගේ ඉසකුඩිච්චිය’ ලෙස නම්කර ඇති එම වීඩියෝ ඇති විනෝදාත්මක බව නිසාම, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එය මෙලෙස ඉදිරිපත් කරමු.
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සිරිමාමාගේ ඉසකුඩිච්චිය’. ඔන්න පිටිසර ගමක එක ගෙදරක පුංචි කුකුළු කොටුවක් තියෙනවා. හොරෙක් පැනලා ඒ කුකුළු කොටුවෙන් කුකුළෝ හතර දෙනෙක් හොරකම් කරගෙන ගිහින්. ඒ වෙලාවේ මේ සිදුවීම ගැන අසල්වැසියන් කතාකරමින් සිටින විට සිරිමාමා එතැනට එනවා. සිරිමාමා සහ අසල්වැසියෙක් අතර මේ විදියේ දෙබසක් ඇතිවෙනවා.
සිරිමාමා
මොකෝ ළමයිනේ වෙලා තියෙන්නේ?
අසල්වැසියා
හොරෙක් පැනලනේ කුකුළු කොටුවට. කුකුල්ලු හතර දෙනෙක් අරං ගිහින්.
සිරිමාමා
මෙතනින්නේ යන්න ඇත්තේ නේද?
අසල්වැසියා
ඔව්, ඔය තියෙන්නේ දැල ගලවගෙන ගිහින්.
සිරිමාමා
ඔක්කොම ටික අරගෙන ගිහින්ද?
අසල්වැසියා
හතරදෙනයි.
සිරිමාමා
අනිත් එවුන් ටික පැනලා දුවන්න ඇති නේද?
අසල්වැසියා
ඔව් සමහර එවුන් පැනලා දුවලා. කවුද මේක කළේ කියලා හොයාගන්න එපායැ. මේ මිනිස්සු අහිංසක දුප්පත් මිනිස්සුනේ. කුකුල්ලු හොරකම් කළාම ඒ මිනිස්සු කොහොමද බිත්තරයක් හරි විකුණ ගන්නේ.
සිරිමාමා
මෙහෙමයි. උඹලට දැනගන්න ඕනේ නම් කුකුළු කොටුවට පැනලා හොරකම කළේ කවුද කියලා මම දන්නවා.
අසල්වැසියා
ඉතිං කියපන්කෝ කවුද කියලා?
සිරිමාමා
එහෙම කියන්න බෑ බං උඹලට. මම ග්‍රාමසේවක මහත්තයට ගිහින් කියන්නම් හොරකම කළේ කවුද කියලා. හැබැයි ග්‍රාමසේවක මහත්තයා ඒ රහස්‍ය බව රකින්න ඕනේ.
අසල්වැසියා
උඹත් ඉතිං හිටපු ග්‍රාමසේවක කෙනෙක්නේ බං. උඹ කෙළින්ම කියපන්කෝ පොලිසියට. නැත්නම් අපිට කියපංකෝ?
සිරිමාමා
එහෙම උඹලට කියන්න බෑනේ. උඹලට ඕනෙ නම් කියන්නත් පුළුවන් මට.
අසල්වැසියා
කියපංකෝ. අපි කාටවත් කියන්නේ නෑ.
සිරිමාමා
මම කියන්නද මේක කළේ කවුද කියලා හරියටම. මේක කළේ බං අනුන්ගේ දේවල් හොරකම් කරන, මස් කන, ලැජ්ජාවක් නැති, කාලකණ්ණි හොරෙක්. පවුකාරයෙක්.
අසල්වැසියා
උගේ නම මොකක්ද?
සිරිමාමා
නම ඉතිං ඒක තමයි. හොරෙක්. උඹලා දන්නවා ඇතිනේ. බලාගනිං. හොයලා බලපං.
අසල්වැසියා
ඕක කියන්නද ඔච්චර නැටුවේ?
සිරිමාමා
ඔව්…
– – – –
ඔන්න ගමේ පන්සල ගාව පොඩි කලබලයක් කියලා සිරිමාමාට ආරංචි වුණා. ගමේ මිනිස්සු එතැන කතා කරකර ඉන්නවා.
ගම්වැසියෝ
හෙණ ගහන අපරාධයක් නේද බං මුං කරලා තියෙන්නේ. අම්මා මුත්තා කාලෙවත් හිටියද මේ වගේ මිනිස්සු. පපුව හිල් කරලා වගේනේ මුං හිල් කරලා නිධානේ අරගෙන තියෙන්නේ. කියලා වැඩක් නෑ.
සිරිමාමා
ඇයි බං ළමයෝ මොකක්ද වෙලා තියෙන්නේ?
ගම්වැසියෙක්
මේ චෛත්‍යය හොරු හාරලනේ. තියෙන දේවල් මොනවා හරි අරගෙන ගිහින් මම හිතන්නේ.
සිරිමාමා
ඕක අපේ සීයලගෙ කාලේ හැදුවයි කියන්නේ. අපේ ආච්චිගෙ කර මාලෙත් නිධන් කළාලු. හයියෝ හයියෝ මොන අපරාධකාරයොද මුං.
ගම්වැසියෙක්
කවුද දන්නෑ නේද බං මේක කළේ?
සිරිමාමා
මෙහෙමයි. සිරිමාමා මේක දන්නව හොඳේ.
ගම්වැසියෙක්
උඹ දන්නවා?
සිරිමාමා
ඔව්.
ගම්වැසියෙක්
ඒ කොහොමද?
සිරිමාමා
ඒක මේ තැන තැන කියන්න බෑ උඹලට. මම මේක පොලිසියේ එච්.කිව්.අයි. මහත්තයට කියනවා. එච්.කිව්.අයි. මහත්තයා මේකෙ රහස්‍යභාවය රකින බවට පොරොන්දු වුණොත් තමයි මම කියන්නේ.
ගම්වැසියෙක්
ඉතිං අපිට කියපංකෝ?
සිරිමාමා
හැබැයි රහස්‍යභාවය රකින්න ඕනේ හොඳේ.
ගම්වැසියෙක්
හරි. මට විතරක් කියපංකෝ. අනිත් උන්ට ඕනේ නෑ.
සිරිමාමා
උඹ දන්නවද මේක කළේ කවුද කියලා? මේක කළේ බං තෙරුවන් ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැති, පරලොවක් ගැන කිසි දෙයක් දන්නේ නැති, නමට ඕනෙ නම් බෞද්ධ කියලා ඇති. අම්මා තාත්තා හරි මරලා සල්ලි හම්බකරන්න බලාගෙන ඉන්න, කාලකණ්ණි අපතයෙක්.
ගම්වැසියෙක්
කවුද ඌ?
සිරිමාමා
අපතයෙක්.
ගම්වැසියෙක්
හරි හරි. අපතයෙක් තමයි. කවුද ඒ අපතයා?සිරිමාමාඅපතයෙක් බං අපතයෙක්. හැබැයි මම කිව්වා කියලා උඹ කාටවත්ම කියන්න එහෙම එපා හොඳේ…
– – –
නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘සිරිමාමාගේ ඉසකුඩිච්චිය’. ඔන්න ගමේ ගෙයක් පිටිපස්සේ කට්ටිය එකතු වෙලා කතා කර කර ඉන්නවා. සිරිමාමත් ඒ පැත්තට එනවා.
ගම්වැසියා
මෙතනින්ද බං බලලා තියෙන්නේ?
නිවෙස් හිමියා
ඔව් ඔව්. මෙතනින් බලලා. මම එළියට ආවා.
ගම්වැසියා
එතකොට නෝනා නනා හිටියේ කොතැනද?
නිවෙස් හිමියා
බාත් රූම් එකේ. මෙයා කෑගැහුවාම මම එළියෙන් දිව්වා.
ගම්වැසියා
කෑගහගෙන නෝනා එළියට දුවගෙන ආවද?
නිවෙස් හිමියා
නෑ එළියට ආවේ නෑ. මම එළියෙන් දිව්වා. ආ.. ඔන්න සිරිමාමා එනවා.
සිරිමාමා
මොකක්ද ළමයෝ වෙලා තියෙන්නේ?
නිවෙස් හිමියා
කවුද මිනිහෙක් මේ කවුළුවෙන් එබිලනේ.
සිරිමාමා
අපේ ගම්වල වෙච්ච දේවල්ද බං මේවා? මට මේ ආරංචි වුණා.
නිවෙස් හිමියා
මම දැක්කා දුවනවා. ඒත් අඳුනගන්න බැරි වුණා.
සිරිමාමා
ගෑනියෙකුට තමන්ගේ ගෙදර බාත්රූම් එකේ නාන්න බැරි වුණානේ. ඉස්සර නම් ළිං ගාවනේ බං එක එකා හැංගිලා හිටියේ. දැන් ගෙදර බාත්රූම් එකේ දොර වහගෙන නාන්න බැරි තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නේ.
නිවෙස් හිමියා
කවුද දන්නෑ බං මේ ජරා වැඩේ කළේ? ඕකාව හොයා ගත්තොත් මම දෙනවා.
සිරිමාමා
මෙහාට පොඩ්ඩක් වරෙංකෝ.
නිවෙස් හිමියා
ඇයි ඇයි?
සිරිමාමා
මේ, මම දන්නවා ඕක කරපු පුද්ගලයා. උඹ ගිහිල්ලා ඌ එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. දැනගන්නයි ඕනේ.
නිවෙස් හිමියා
හරි හරි. මට කියපංකෝ.
සිරිමාමා
හැබැයි උඹ මේකේ රහස්‍යභාවය රකින්න ඕනේ. මම කිව්වා කියලා කියන්න එපා.
නිවෙස් හිමියා
හරි හරි.
සිරිමාමා
මේ වැඩේ කළේ ඔළුව විකාර වෙච්ච, මනස විකෘති වෙච්ච, කාලකණ්ණි, වනචර, සල්ලාලයෙක්.
නිවෙස් හිමියා
කවුද?
සිරිමාමා
වනචරයෙක්.
නිවෙස් හිමියා
කවුද ඉතිං?
සිරිමාමා
කවුද කියන්නේ බං සල්ලාලයෙක්. උඹට තේරුණාද? සල්ලාලයෙක්ට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්.
නිවෙස් හිමියා
කවුද ඌ? උගෙ නම කියපංකෝ?
සිරිමාමා
මම කිව්වා කියලා කියන්න එපා…
නිවෙස් හිමියා
උගෙ නම මොකක්ද?
සිරිමාමා
වනචරයා.
නිවෙස් හිමියා
ඉතිං ඒ වනචරයා කවුද?
සිරිමාමා
සල්ලාලයා…