• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි සමඟ සටන් කළ සේක! මිනිසුන්ට ආදරය කළ සේක! පොළොන්නරුව බේරාගත් සේක! ගම් නියම්ගම් ගොඩනැගූ සේක! ජාතික සමගිය ගොඩනැගූ සේක! අන්තිමේදී ආණ්ඩුවෙන් දිඹුලාගල ලයිට් කැපූ සේක! කාටද ආඩම්බර…

December 6, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කොටි සමඟ සටන් කළ සේක! මිනිසුන්ට ආදරය කළ සේක! පොළොන්නරුව බේරාගත් සේක! ගම් නියම්ගම් ගොඩනැගූ සේක! ජාතික සමගිය ගොඩනැගූ සේක! අන්තිමේදී ආණ්ඩුවෙන් දිඹුලාගල ලයිට් කැපූ සේක! කාටද ආඩම්බර…
Share on WhatsAppShare on Facebook

වර්ෂ 1924 දී මාතර කිතලගම උපත ලද හේවාදූලිගේ චාර්ලිස් පාසල් ගියේ හතරේ කැලෑසියට පමණි. පාසල මඟහැර කැලෑ පැනිල්ලට හුරුවූ චාර්ලිස්ගේ අනාගතය ගැන බිය වූ ඔහුගේ පියා තම පුත්‍රයා ශාසනයට පූජා කරන්නට හිත හදාගත්තේය. එහෙත් එය හිතූ තරම් ලේසි වැඩක් වූයේ නැත. පන්සලකින් දෙකකින් ප්‍රතික්ෂේප වූ මේ දඟකාර කොලු පැංචා බුද්ධ පුත්‍රයකු කිරීමේ වගකීම අවසානයේ භාරගත්තේ විල්පිට ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ උඩුපිහිල්ලේගොඩ පඤ්ඤාලංකාර හිමියෝය. ඒ අනුව චාර්ලිස් දරුවා කිතලගම සීලාලංකාර නමින් පැවිදි වූයේය. තරුණ වියට එළැඹෙත්ම සීලාලංකාර හිමියෝ නාගරික පරිසරයෙන් මිදී බණ භාවනා කරමින් කල් ගෙවන්නට වැඩි කැමැත්තක් දක්ක්වන්නට වූහ. එහෙයින් මාතර අවට නාගරික පරිසරයෙන් මිදී නව නවාතැනක් සොයාගනු රිසින් උන්වහන්සේ එවක මහ වනයෙන් වැසී ගිය පොළොන්නරුව ප්‍රදේශයට පැමිණියෝය. ඒ ගමන සීලාලංකාර හිමිට කෙසේ වෙතත් සමස්ත පොළොන්නරු දිස්ත්‍රික්කයේම ජනයාගේ විමුක්තිය පිණිස වූ බව අද වන විට සක් සුදක් සේ පැහැදිලිව ඇත්තේය.

කදුරුවෙල, පළුගස්දමන, සොරිවිල ආදී වනගත ගම්මාන කිහිපයක දුෂ්කර ජීවිතයක් ගෙවමින් ගැමියනට හැකි විලසින් උපකාර කළ උන්වහන්සේ අවසානයේ පාත්‍රය පමණක් ගෙන නවාතැන් ගැනීමට සුදුසු ගල් ලෙනක් සොයා දිඹුලාගල මහ වනයට පිළිපන්නෝය. අතීතයේ ධූම රක්ඛ පබ්බත නමින් හැඳින්වූ දිඹුලාගල අවට ගල් ලෙන් බොහෝ විය. එහෙත් ඒ සෑම ලෙනකම පාහේ වැදි ජනයා පදිංචිව සිටි නිසා සීලාලංකාර හිමියන්ට නවතින්නට තැනක් සොයාගත නොහැකි විය. අවසන උන්වහන්සේ දිඹුලාගල අවට වැදිපත්තුවේ නායකයා වූ මිල්ලා වැද්දා නොහොත් මිල්ලාන යාපා සොයා ගියහ. තමන්ට නවතින්නට තැනක් සොයා දෙන්නේනම් වැදි රැහේ ඇත්තන්ට මනුස්සයන් වන්නට උදව් කරන්නට හැකි බව උන්වහන්සේ පැවසූහ. සීලාලංකාර හිමියන් ගැන පැහැදුණු වැදි නායකයා ‘කහ හූරාට’ සිය ගල්ලෙන පූජා කර දරු පවුල සමග වෙනත් තැනක් සොයාගනු රිසින් පාරට බැස්සේය. රටක් නොව ලෝකයම දන්නා දිඹුලාගල වන සෙනසුන බිහිවන්නේ වැදි නායකයෙක් පූජා කළ ගල්ලෙන කේන්ද්‍ර කරගෙනය. අදටත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුදුගෙය වනුයේ මේ ගල් ලෙනයි. මිල්ලානාගේ වරිගේ ඇත්තන් දඩමස් පැලහූ තැන අදටත් එහි දැකගත හැකි බව මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මේ ලියුම්කරු සමග පැවැසීය.

තම සංසාර විමුක්තිය සොයායන ගමන අත්හළ සීලාලංකාර හිමියෝ දිඹුලාගල අවට මහ වනයේ තැනින් තැන විසිරී සිටි වැදි ජනයා නඟාසිටුවීමට තීරණය කළහ. වැදි ජනයාද දිඹුලාගල හිමි තම නායකත්වයේ ලා සලකන්නට විය. දරුණු ආහාර හිඟයකට මුහුණදී සිටි මෙම ප්‍රජාව එවක ආණ්ඩුවට පවා මඟහැරී තිබිණි. හැකි විලස දානපතියන්ගෙන් ආධාර ගෙන ගැමියන්ට බෙදාදුන් උන්වහන්සේ දිඹුලාගල දරුවන් වෙනුවෙන් කුඩාවට පාසලක්ද ආරම්භ කරන්නට කටයුතු කළහ. 1957 දී ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ පහත් බිම් යටවීම නිසා විශාල පිරිසක් දඩි ආහාර හිඟයකට මුහුණ දුන්හ. අවසන දිඹුලාගල හිමියෝ සිය ජීවිත අවදානම පවා නොතකා ගංවතුරේ පිහිනා ගොස් පොළොන්නරුවේ දිසාපතිට තම දුක්ගැනවිල්ල කියා ජනතාවට සහන ලබා දුන්හ.

තමාට ගල් ලෙන පූජා කළ මිල්ලානාගේ වැඩිමහල් පුත්‍රයා මිල්ලානේ සිරියාලංකාර නමින් පැවිදි කරගන්නට උන්වහන්සේ කටයුතු කළහ. වාර්තමානයේ දිඹුලාගල නායක හාමුදුරුවන් ලෙස කටයුතු කරන්නේ උන්වහන්සේය. සීලාලංකාර හිමියෝ ජාති කුල භේද ඉවතලා සිංහල, දෙමළ මුස්ලිම් සහ ආදිවාසී දරුවන්ද පැවිදි කරගත්තෝය. (උන්වහන්සේ විසින් පැවිදි කරගත් පිරිස 800කට ආසන්න බව කියැවේ.) ගම්මාන 40ක් බිහිකළ උන්වහන්සේ මනම්පිටිය සිංහල මහ විදුහල, අරලගංවිලයාය මධ්‍ය මහා විදුහල, දිඹුලාගල මහ කස්‌සප මහ විදුහල, සේරුවිල රෝහණ විදුහල ඇතුළු පාසල් 26ක් පිහිටුවීමට මුල් වූහ. ඉන් නොනැවතුණු මෙහිමියෝ මනම්පිටිය රෝහල සහ දිඹුලාගල ආයුර්වේද රෝහලත් ආරම්භ කරන්නට නායකත්වය දෙන ලදී. දිඹුලාගල අවට කලාපයට වාරි ජලය සැපයීම පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ උන්වහන්සේ මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමේ දේශපාලන නායකත්වයට දිරි දුන්නේය. උතුරු නැගෙනහිර දෙපළාතේ නව ජනාවාස බිහිකරන්නට මුල් වූ උන්වහන්සේ පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 45,000කට අධික බව පැවැසේ. එහෙත් උන්වහන්සේගේ මේ වැඩපිළිවෙළ ජේ.ආර්. ජයවර්ධන ජනධිපතිගේ හිතට අල්ලලා ගියේ නැත. වර්ගයා බෝවීම ස්වභාවිකව සිදුවිය යුතු බවත් එය බලහත්කාරයෙන් සිදුකිරීම අනවශ්‍ය බවත් ජේ.ආර්.ගේ මතය විය.

දිඹුලාගල හිමියෝ ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ජනාධිපතිතුමා දැන් ඉතින් වළ පයයි, ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකැමැති නම් දෙන්න නායකත්වය ප්‍රේමදාස මහත්තයට…’ යනුවෙනි. උතුරුමැද සහ නැගෙනහිර දෙපළාතේ කිරුළු නොපලන් රජු ලෙස දිඹුලාගල නාහිමියෝ අදටත් ඒ පළාත්වල ජනයා හඳුන්වති. 1979 දී උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත්වූ උන්වහන්සේට පසු කලෙක එල්.ටී.ටී.ඊ. තර්ජන එල්ල විය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් උන්වහන්සේගේ ආරක්ෂාවට හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන්නට යෙදුණි. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එම කඳවුර 1995 වසරේ පෙබරවාරි මස 04 වැනිදා ඉවත් කරන ලදී. ඉන් උපරිම වාසිය ගත් කොටි සංවිධානය ඉන් තුන් මසකට පසු එනම් 1995 වසරේ මැයි මස 26 වැනිදා උන්වහන්සේ වෙඩිතබා ඝාතනය කළහ.

දිඹුලාගල යනු ආරණ්‍යයක් ලෙස අප හැඳින්වුවද එය සැබැවින්ම වෙනමම සංස්කෘතියකි. දේශපාලනඥයන්, සමාජ පර්යේෂකයන් හෝ වෙන කිසිදු බලවේගයක් විසින් නොව බෞද්ධ භික්ෂුවක් විසින් ගොඩනැංවූ වෙනමම සංස්කෘතියක් එහි විය. කොටි සංවිධානයේ තර්ජනයන්ට අභීතව මුහුණ දෙමින්, වනගත ගම්මාන සහ ජනාවාස ආරක්ෂා කරගනිමින් උදාරතර මෙහෙයක් ඉටුකළ ‘දිඹුලාගල මහ වැද්දා’ යැයි විටෙක හැඳුන්වූ මාතර කිතලගම සීලාලංකාර හිමියෝ දූමරක්ඛ පබ්බතය කේන්ද්‍රකොට ගම්මාන පිහිටුවමින් මහා විප්ලවයක් කළහ. උන්වහන්සේ කළ ඒ මහා මෙහෙවර නොවන්නට ප්‍රභාකරන් සිය මනෝරාජික ඊළාම් දේශයේ සීමාමායිම් පොළොන්නරුව නගර මධ්‍යටම ගෙන එන බව අදටත් දිඹුලාගල අවට ගැමියෝ පවසති. ආගම මිනිසුන් බෙදන්නට නොව එකට බැඳෙන්නට යොදාගත හැකි බව දිඹුලාගල ආරණ්‍යය ලෝකයට ලබාදුන් උතුම්ම පණිවුඩය විය. සිංහල දෙමළ මුස්ලිම් පවුල් දහස් ගණනක මහා මිනිස් පොදියකට රැකවරණ සැදුවේ දිඹුලාගල ආරණ්‍යයයි. ඒ මහා ජන සමූහය හා බැඳුණු මහා සංස්කෘතියකට දලුලා වැඩෙන්නට සරු බිම වූයේ දිඹුලාගලයි. රටේ නායකයා කවුරුන් වුවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් තම ජීවිත හා බැඳුණු ගැටලු ලිහාගන්නට දිඹුලාගල ආරණ්‍යයට පැමිණි බව රහසක් නොවේ. රටක ජන සමාජයකට ඒසා මහා මෙහෙයක් කළ දිඹුලාගල ආරණ්‍යයේ ලයිට් කපන්නට තරම් ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා සාහසික වූයේය.

දිඹුලාගලට විදුලිය දුන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේය. ඒ, එය ජාතික අවශ්‍යතාවක් බව දැන හඳුනාගෙනය. දිඹුලාගල යනු දුප්පත් ගැමියන්හට ධනය බෙදූ යතිවරුන් වැඩවිසූ පින් බිමක් මිස කෝටි ගණන් මුට්ටි කාසි ස්ථාවර තැන්පත්වල දමා ඒ පොලියෙන් ජොලිකරන නූතන කාසාව කණ්ඨකයන්ගේ ‘ෆුල් ඔප්ෂන් අසපුවක්’ නොවන නිසා මෙහි විදුලි බිල හැමදාමත් ගෙවා ඇත්තේ ආණ්ඩුව විසිනි. වෙනකක් තබා හමුදා අනුඛණ්ඩය ඉවත්කර සීලාලංකාර හිමි කොටින්ට පාවාදෙන තරමට සහාසික කමක් කළ චන්ද්‍රිකාගේ රජය පවා දිඹුලාගල ලයිට් කපන තැනට පිරිහුණේ නැත. එහෙත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් ඒ තක්කඩිකම කර අවසානය. මහ දවලුත් වන අලි ගැවසෙන වනගත ආරණ්‍යයක් වූ දිඹුලාගල විදුලිය විසන්ධි කිරීමෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සෙලා මතු නොව එහි එන දහස් ගණනක්වන් වන්දනාකරුවෝද පත්වන අපහසුතාව අමුතුවෙන් කිව යුතු නොවේ.

අහස උසට විහිදෙන දූෂණ, වංචා, නාස්තිය, අකාර්යක්ෂම බව නිසා විදුලි බල මණ්ඩලය කලක සිට පාඩු ලබමින් සිටී. එකී පාඩුව මකා ගන්නට විදුලි බිල වැඩිකිරීම හැර වෙන ක්‍රමයක් නොදන්නා ආණ්ඩුවේ තියරිය බිල් නොගෙවන අයගේ ලයිට් කැපීම බවට පත්ව ඇත. ඇත්තටම විදුලි බිල නොගෙවන අයගේ ලයිට් කැපීම සාධාරණ නොවේදැයි කෙනකුට සිතෙන්නටද පුළුවන. එහෙත් ප්‍රශ්නය වනුයේ ලක්ෂ හත අට විදුලි බිල් නොගෙවූ පාරිභෝගිකයන්ද, මිලියන ගණන් බිල් නොගෙවූ ආගමික ආයතනද අත්හැර දිඹුලාගල වැනි දුෂ්කර වන සෙනසුනක ලයිට් කපන්නට තරම් මණ්ඩලය රැඩිකල් වීමය.

වාර්තාවන පරිදි දිඹුලාගල ආරණ්‍යය ගෙවිය යුතු විදුලි බිල ලක්ෂ පහකි. ‘බුදු අම්මෝ ලක්ෂ පහක්’ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ශ්‍රී දළදා මාලිගයේ පසුගිය මාසයේ විදුලි බිල රුපියල් විසිහත් ලක්ෂ අනූහත්දහස් නවසිය පනස්හයයි ශත අනූදෙකකි (27,97,956.92). එම මුදල ගෙවීම සඳහා දියවඩන නිලමේ නිලංග දෑල මහජන උපයෝගිතා කොමිසමෙන් සහනාධාර ඉල්ලා ලිපියක් යවා තිබේ. මේ වන විට දළදා මාලිගය විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුළු මුදල රුපියල් පනස්පන් ලක්ෂ පනස් නවදහස් හයසිය එකොළහයි ශත හැත්තෑවකි (55,59,611.70). එය දිඹුලාගල හිඟ විදුලි බිලට වඩා දසගුණයකටත් එහා ගිය මුදලකි. (දළදා මාලිගයේ විදුලිය විසන්ධි නොකිරීම ගැන කාලකණ්ණි ඊර්ෂ්‍යාවක් ලියුම්කරු තුළ නැති අතර හුදු සංසන්දනාත්මක කරුණු දැක්වීමක් සඳහා පමණක් මේ තොරතුරු දක්වන ලදී.)

විදුලි බිල් නොගෙවා සිටින්නේ පුණ්‍ය ආයතන පමණක් නොවේ. දේශපාලනඥයෝද විදුලි බිල් නොගෙවූ අවස්ථා එමටය. මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත ලිපියක් යවන ලංකා විදුලිබල මණ්ඩලය ඔහු පදිංචි නිල නිවෙසේ විදුලි බිලේ හිඟ මුදල රුපියල් 637,448.38ක් බවත්, විදුලි බිල්පත් ගෙවීමේදී 2016 සිට මේ දක්වා සමුච්චිත පොලිය හැර, ගෙවිය යුතු මුළු මුදල රු. මිලියන 1ක් බවත් දන්වා සිටී. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාට පෙර එම නිල නිවෙස භාවිත කළ ඇමැතිවරයාගේ විදුලි බිල්ද මෙම මුදල තුළ ඇති බවය. ඊට අමතරව පසුගියදා අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවැසූවේ මැති ඇමැතිවරුන් අසූදෙදෙනෙක් විදුලි බිල් ගෙවීම පැහැරහැර ඇති බවයි. මේ සියල්ලෙන් ගම්‍ය වනුයේ ලක්ෂ හත අට ඉක්මවා ගියද දේශපාලනඥයන්ගේ විදුලිය සිඳලන්නට මණ්ඩලය බය බවය. දිඹුලාගල ලයිට් කැපීම කතා කරන්නට මාතෘකාවක වනුයේ මෙවන් වටා පිටාවක් තුළය.

වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා තවමත් නියෝජනය කරනුයේ ලිබරල් කඳවුර බවට මතයක් සමාජයේ ඇත. එහෙත් ගෙඩිය පිටින් ආණ්ඩුවම සිංහල බෞද්ධය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන දොරට වැඩියේද, ආණ්ඩුව දිවුරුම් දුන්නේද බෞද්ධ ආගමික ස්ථාන පසුබිම් කරගෙනය. බලයෙන් පහකළ පොහොට්ටුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, තමා බලයට පත්වූයේ සිංහල බෞද්ධ ඡන්දවලින් බව එළිපිටම කීවෙය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මළගෙයක ගුණකථනයක් කළද කතාව අරඹන්නේ ‘අපේ හාමුදුරුවනේ’ යැයි කියමිනි. 2015 තමාගේම ලේකම්ට පරාජය වූ මහින්ද යළි බලයට ගෙන ඒමට මහින්ද සුළඟ ගෙන ආ විමල් වීරවංශ, උදය ගම්මන්පිල දෙබෑයන් නියෝජනය කරනුයේද, ගෙවිඳු කුමාරතුංග වැනි සිල්ලර දේශපාලන නායකයන් නියෝජනය කරනුයේද සිංහල බෞද්ධ කඳවුරය. වෛද්‍ය සාෆී ප්‍රමුඛ මුසල්මානුවන්ට එරෙහි වෛරය වපු‍රවාලූ ගලගොඩ අත්තේ ඤාණසාර, අතුරලියේ රතන වැනි භික්ෂුන් මෙන්ම බුදුන් වැඩි පින් බිම අපකීර්තියට පත් කරමින් නයි ධාතුවලට උප්පැන්න ලියූ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත වැනි භික්ෂුන්ද තවමත් සිටින්නේ මේ සිංහල බෞද්ධ ආණ්ඩුව සමගය. හතේ අපේ පොතේ සිට ගුරුවරියන්ගේ සාරිය සහ යටසාය තෙක් සමාජ කරුණු තියුණු විවේචනයකට ලක් කරන මාගල්කන්දේ සුදත්ත, මැදගොඩ අභයතිස්ස වැනි වොයිස්කට් නිකායේ හිමිවරුද සිටිනුයේ මෙකී සිංහල බෞද්ධ ආණ්ඩුව සමගය. ලයිට් කපා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කළුවරේ තියන්නට ආණ්ඩුව තීරණය කරන විට පෙර කී සිංහල බෞද්ධ බලවේග ලිප් බොක්කේ සැඟව සිටීම කෙතරම් අවාසනාවක්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දවස් 100කට පස්සේ එළියට ආපු සිරිධම්ම හිමියෝ මුලින්ම කියපු වචන කීපය මෙන්න! ‘අර්බූදය එහෙමමයි! අරගලය ඉදිරියට අරන් යනවා!’ (VIDEO)

Next Post

දේශපාලනඥයොත් එකතුවෙලා කඩේ යන මාධ්‍යත් එකතුවෙලා මුළු රටම අන්දවලා ගහපු සුපිරි අතේ රෝල… ඔන්න පත්තු වුණා… අතේම පිපිරුණා…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.