ලෝකය බිහිවුණේ කොහොමද? දවසක මේ ලෝකය විනාශ වෙලා යන්නේ කොහොමද? මේ කාරණය ගැන අද වෙනකොටත් මතභේදාත්මක කරුණු රාශියක් පර්යේෂකයන්, විද්‍යාඥයන් ඇතුළු කණ්ඩායම් දවසින් දවස ලෝකයට ඉදිරිපත් කරනවා. නමුත් ඔබ අහලා ඇති විද්‍යාව දියුණු වෙන්න වසර දහස් ගණනකට කලින් ලෝකය බිහිවුණේ කොහොමද, ලෝකය විනාශ වෙලා යන්නේ කොහොමද කියන එක හරියටම කියන්න පුළුවන් සිත දියුණු කරපු කෙනෙක් බිහිවුණා.(Sri Lanka Latest News)
ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු විදියට ලෝකය විනාශය වෙමින් පවතින බව වර්තමාන විද්‍යාව තුළින් පවා ක්‍රමක්‍රමයෙන් ඔප්පු වෙමින් පවතිනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට ලෝකය ආරම්භ වුණේ කොහොමද, ලෝකය විනාශ වෙලා යන්නේ කොහොමද, ඒ ගැන නවීන විද්‍යාවෙන් මොනවද කියන්නේ, බුදුන්ගේ දේශනාවන් ඔප්පු වුණේ කොහොමද කියන ගැන මේ ලිපියෙන් අපි ඔබට කියන්න සූදානම්.
ඔබ දන්නවා බුදු දහමත් නූතන විද්‍යාවත් හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පරිසරයන් දෙකක හැදීවැඩුණු බව. බුදු දහමේ සම්පූර්ණ හරය බවට පත්වෙන්නේ ත්රිලක්ෂණය සහ හේතුඵල දහම. ඒ වගේම බුදු දහමේ පර්යේෂණාගාරය වෙන්නේ සිත සහ චින්තනය. ඒ වගේම තමයි බුදු දහම භාවිත කරන උපකරණය වෙන්නේ බුද්ධිය, යථාවබෝධය සහ ප්‍රඥාව. නමුත් නවීන විද්‍යාව ජීවයේ හටගැනීම, විනාශ වී යෑම සහ යහපැවැත්ම අවබෝධ කරගැනීම සඳහා විවිධාකාරයේ උපකරණ සහ නවීන පර්යේෂණාගාර භාවිත කරනවා. ඒ වගේම තමයි බුදුදහම සහ මේ නවීන විද්‍යාව තුළ සමානතා වගේම පරස්පරතාත් හටගැනීම සාමාන්‍ය කරුණක් බවට පත්වෙලා.
මූලාශ්රවල සඳහන් වෙන විදියට විශ්වය සහ සත්වයා පිළිබඳ අපරිමිත දැනුමක් තිබුණු බුදුරජාණන්වහන්සේට කොපමණ දැනුමක් තිබුණත් උන්වහන්සේ නිතරම දේශනා කළේ බුදුවරයකු ලොව පහළ වන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්තර අපරිමිත සංසාර භවයන්වල ඉපදී මැරී මැරී දුක් විඳින සත්වයාව ඒ සසර දුකෙන් මුදාගැනීම සඳහා බව. නමුත් බුද්ධ ශ්‍රාවකයන් ඒ ගැන උනන්දුවන අවස්ථාවලදී අග්ගඤ්ඤ සූත්‍රය, සීහනාද සූත්‍රය සහ සූර්යෝද්ගමන සූත්‍රය තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නත්, ඒ තුළින් විශ්වය පිළිබඳ කියලා දෙන්නත් උන්වහන්සේ කටයුතු කළා.
බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය අධ්‍යයනය කරන්න පහසු වෙන්න සූත්‍ර, විනය, අභිධර්මය කියන කොටස් තුනට බෙදලා බුදු දහම සංරක්ෂණය කරන්න පසුකාලීන භික්ෂුන්වහන්සේලා කටයුතු කළා. මේ විදියට බුදු දහමේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ පාඨික වග්ගයේ එන අග්ගඤ්ඤ සූත්‍රය සමස්ත විශ්ව ක්රියාවලියේම සාරාංශයක් විදියට හඳුන්වනවා. විශ්වවිද්‍යාව, ජෛව රසායනික විද්‍යාව, උද්භිද විද්‍යා, භූ ගර්භ විද්‍යා, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ සංස්කෘතික සම්භවය වැනි වැදගත් විෂය ක්ෂේත්රවල මූලාරම්භය මේ සූත්‍රයෙන් විග්රහ කෙරෙනවා.
අග්ගඤ්ඤ සූත්‍රය අධ්‍යයනය කළ මහාචාර්ය රීස් ඩේවිස් මහතා ප්‍රකාශ කළේ අනිත්‍යතාවාදය, විපරිණාම ධර්මය සහ හේතුඵල ධර්මයෙන් ලෝකයේ පැවැත්ම විග්රහ කෙරෙන අතිශය සංකීර්ණ උපදේශාත්මක විචාරයක් බව. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ අපි ජීවීන් වන පෘථිවිය ඇතුළු ග්‍රහලෝකය අනන්ත චක්‍රාවාටවලින් සහ වෙනත් ජීව ලෝකවලින් ගහන එකක් විදියට. වර්තමාන විද්‍යාව තහවුරු කරන ආකාරයට අපි ජීවත් වෙන සෞරග්‍රහ මණ්ඩලය හැරුණු විට මැනිය නොහැකි තරම් සෞරග්‍රහ මණ්ඩල ප්‍රමාණයක් මේ විශ්වයේ ඇති බවත්, ජෛව රසායන විද්‍යාවේ සඳහන් වන ආදි පෘථිවියේ ස්වරූපය බුදුරජාණන්වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයේ රස පඨවි කියන සංකල්පයේම එකක් බව මේ වන විටත් තහවුරු වෙලා තියෙනවා.
පිටසක්වළ ජීවීන්, එහෙමත් නැත්නම් හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් රැගත් ලෝක මේ විශ්වයේ පවතින බව බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තිබුණේ මීට වසර 2,500කට පෙරදියි. පිටසක්වළ ජීවීන් ගැන බුදු දහමේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අට්ඨංගුපෝසථ කියන සූත්‍රයේ. මේ සූත්‍රයේ සඳහන් වෙන විදියට මිනිසාට වඩා අතිශයින් ශක්තිමත් දියුණු ජීව ලෝක මේ විශ්වයේ පවතින බවත්, ජීවීන්ගේ හැඩරුව, ප්‍රමාණය, බුද්ධිමත් බව සහ අනෙකුත් සියලු ලක්ෂණ මිනිසාට වඩා වෙනස් බවත් සඳහන් වෙනවා. ඒ වගේම සහශ්‍රී කියන ලෝක ධාතුවේ හිරු සහසක් සහ චන්ද්‍රයන් දහස් ගණනක් තිබෙන බව සඳහන් වුණත් ඒ පිළිබඳ තවමත් නවීන විද්‍යාවෙන් නම් සොයාගෙන නැහැ.
ලෝකයේ ආරම්භය ආදි සූපයක් තුළින් ඇතිවී ඉන් පසුව රසායනික පෘථිවියක් ඇතිවූ බවත්, ඉන් පස්සේ ජලජ පරිසරයක මුල්ම ජීවය ඇතිවුණු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇතැම් විට ඔබ දන්නවත් ඇති නවීන පර්යේෂණවලට අනුව ජීවයේ උපත ගැන මේ ප්‍රකාශය සත්‍යයක් බව හෙළිවුණා. ඒ වගේම තමයි ජීවයේ උපතින් පස්සේ පරිණාමවාදය පිළිබඳ බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තිබුණේ මීට වසර දහස් ගණනකට පෙරදියි.
ලෝකයේ බිහිවූ මුල්ම ජීවියා අතිශයින් සරල ජීවියෙක් බවත්, මුල්ම ශාක විදියට පුස් වර්ග සහ හතු වර්ග පහළ වුණු බවත්, ඉන් පසුව විල්පලා, දියසෙවෙල හටගත් බවත්, මල් සහ ධාන්‍ය වර්ග පසුකාලීනව හටගත් බවත් බුදු දහම තුළ දේශනා වෙනවා. නවීන විද්‍යාව ඒ සියල්ලම සත්‍ය බව පර්යේෂණවලින් පසුකාලීනව හෙළිකරගත්තා. එතැනින් නොනැවතී මිනිසාගේ බිහිවීමට පෙර වෙනත් සත්ව කොට්ඨාස බිහිවූ බවත්, සත්වයා බිහිවී බොහෝ කාලයකට පසු ලිංග භේදය ආරම්භ වූ බවත් මේ ජීව පරිණාම ක්‍රියාවලියේ අවසානයට මිනිසා බිහිවූ බවත් බුදුරජාණන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. මේ සියල්ල විද්‍යාවෙන් මේ වන විට තහවුරු කරගෙන අවසන්.
ලෝකයේ බිහිවීම සහ ලෝකයේ ආරම්භය පිළිබඳ බුදුරජාණන්වහන්සේ දේශනා කළ කරුණු ක්‍රමක්‍රමයෙන් සත්‍ය වෙමින් පවතින පසුබිමක උන්වහන්සේ ලෝකයේ අවසානය පිළිබඳවත් දේශනා කරලා තිබෙනවා කියන කාරණයත් මතක් කළ යුතුමයි. ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශාසනය අවුරුදු 5,000ක් දක්වා පවතින බවත්, ඉන් පසුව අධර්මිෂ්ඨ කාලයේදී මිනිසුන්ගේ අයු කාලය වසර 10කට අඩු වෙලා ලෝක විනාශය ළං වන බවත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා.
කෙසේ වෙතත් බුදු දහමේ ඉගැන්වෙන බොහෝ කරුණු ක්‍රමක්‍රමයෙන් සත්‍ය වෙමින් පවතිද්දී ලෝකයේ ආරම්භය සහ අවසානය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. නුදුරු අනාගතයේදීම විද්‍යාවෙන් සොයාගන්නා බොහෝ දේවල් බුදුරජාණන්වහන්සේ දේශනා කරපු දහම සත්‍යාපනය කරන බවට නම් සැකයක් නැහැ. අවසානයේ ඔබට කියන්න තියෙන්නේ සියල්ලම තම තම නැණ පමණින්, ඇත්ත ඇතිසැටියෙන් තේරුම් අරගෙන බුදු දහම මෙන්ම අනෙකුත් ආගම් සියල්ලටම ගරු කරමින් විද්‍යාව ආගම් දර්ශනයන් පටලවා නොගෙන බුද්ධිමත්ව ජීවත් වීම පමණයි අපට කළ හැක්කේ.
Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්තකි