දහඅට වංගුව මෙරට පමණක් නොව බොහොමයක් විදෙස් රටවල පවා ප්‍රසිද්ධය. අපේ රටට එන බොහෝ සංචාරකයන් තමන් යායුතු ස්ථාන අතර දහඅට වංගුවත් සටහන්ව තිබෙන්නේ එනිසයි. ලංකාවට ඇවිල්ලත් දහඅට වංගුවෙන් නොගියොත් එය අඩුවක් කියලත් බොහෝ දෙනෙක් හිතනවා. ඇත්තටම මහනුවර ලේවැල්ල හන්දියෙන් ආරම්භ වී මහියංගනය දක්වා දිවෙන ඒ-26 කියන මාර්ගයේ පිහිටා තිබෙන දහඅට වංගුව අද වෙනකොට අතිශය දියුණු මට්ටමකට සංවර්ධනය කළ මාවතක්.
අද ඕනෑම වාහනයකට බයක් සැකක් නැතිව ආරක්ෂා සහිතව මේ වංගු දහඅට ගෙවා දමන්නට ඕනෑවටත් වඩා පහසුකම් තිබෙනවා. හැබැයි එහෙම සුව පහසුවට මේ දුර කතර ගෙවාදමා පරිසර සුන්දරත්වය විඳගෙන දහඅට වංගුවේ යනකොට මතකයේ තබාගෙන සිහිපත් කළ යුතු පිරිසකුත් ඉන්නවා. ඒ තමයි සුන්දගෙ කාලයේ මේ මාර්ගය හදන කොට තමන්ගෙ ලෙයින් දහඩියෙන් ශ්‍රමයෙන් සහ ජීවිතවලින් දායකත්වය සපයපු සිංහලයන්. ඔවුන්ගේ ජීවිත සිය ගණනක් මේ අද ලස්සනට තිබෙන වංගු දහඅට යට සැඟවිලා තිබෙනවාට කිසිදු සැකයක් නෑ.
ඒ මොනවා වුණත් එදා ලෝකයේ විවිධ රටවල සිය ආධිපත්‍යය පතුරුවමින් රටින් රට අල්ලා ගනිමින් යම් ආකාරයක අභිමානයකින් කටයුතු කළ සුදු ජාතිකයා ලංකාවේ වැද්දකුට රැවැටුණු හැරි අපූරු කතාවක් මේ දහඅට වංගුවේම සැඟවිලා තියෙනවා. ඒ කතාව සිද්ධ වෙලා තිබෙන්නෙ මෙහෙමයි.
එදා යුරෝපීයයන් අපේ රට අල්ලා ගත්තාම ඔවුන්ට හොඳටම තේරුම් ගියා ලංකාව කියන්නේ වගාවට ඉතා සුදුසු සරුසාර භූමියක් කියන එක. ඒ වගේම විවිධ භෝග සඳහා විවිධ පළාත්වල ඇති දේශගුණය ගැනත් යුරෝපීයයන් මනාව තේරුම් ගත්තා. මේ නිසාම ලංකාවේ වතුකරයෙන් ඇරැඹි වතු වගාව සීග්‍රයෙන් දියුණු වෙමින් කඳුකරයම වතු වගාවෙන් ඉහළ පලදාවක් ලබන්න පටන් ගත්තාම සුද්දාට ඕනෙ වුණේ එම නිෂ්පාදන කොළඹට ගේන්න පහසු වෙන විදියට මාර්ග පද්ධතියක් හදන්නයි. එහිදී මහනුවර සිට කොළඹ දුම්රිය මග තිබුණත් මහනුවර අවට ප්‍රවාහනය තරමක් දුෂ්කර වුණා. මේ අතරේ උඩරට කැරැල්ලත් පටන්ගත්තාම සුද්දට අවශ්‍ය වුණා මහනුවර ඉඳලා වැදි ගම්මාන දක්වා එනම් මහියංගනය දක්වා මාර්ගයක් හදන්න. මේ කාලයේ සුද්දා මිනිපේ කොට්ඨාසයට අයත් හුන්නස්ගිරිය අවට එනසාල් සහ කුළුබඩු වගාව පටන් අරගෙන තිබුණෙ. හැබැයි එතැනින් එහාට යන්න මාර්ග පහසුකම් තිබුණෙ නැහැ. මේ නිසා සුද්දා එම මාර්ගය හදන්න මෙරට කෝරලේලා හතර දෙනෙක් ගෙන්වලා උපදෙස් පැතුවා. එහෙම ආව කෝරලේලා සිවුදෙනා තමයි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගම්දෙක කෝරලේ, කන්දපහළ කෝරලේ.
සුද්දා තමන්ගෙ අදහස් කෝරලේලා හතර දෙනාට යොමු කළේ කවදත් තමන්ට හිතෛෂීව කටයුතු කරපු ඔවුන් ගැන විශ්වාසයෙන් වුණත් හැමදාම සුද්දගෙ පැත්ත ගත්තු කෝරලේලා එවර සුද්දව මට්ටු කරන්න තීන්දුවක් ගත්තා. ඇත්තටම මේ වැඩේට කෝරලේලා තෝරාගත්තේ වැදි රැහේ නායකයෙක්. ඔහුට තමන්ගෙ අරමුණ කිව්වාම මේ වැදි නායකයා සුද්දට ලේසියෙන් ඔළුව උස්සන්න බැරි වෙන්න හරි අපූරු මාර්ග සැලැසුමක් දුන්නා. මේ විදියට ගම්මාන මගහැරලා කිසිවකු නැති කඳුගැට හරහා මාර්ග සැකසුම හදවන්න කෝරලේලාට අවශ්‍ය වුණේ සුද්දාගෙන් තමන්ගෙ ගම්මල ගැහැනු ළමයි බේරාගන්න කියලත් ජනප්‍රවදයේ සඳහන් වෙනවා.
කෙසේ හෝ සුද්දා නුවර ඉඳලා අමාරුවෙන් මාර්ගය හදාගෙන හුන්නස්ගිරිය නැගලා මහියංගනය පැත්ත බැලුවාම හතර වටෙන්ම පෙනිලා තියෙන්නේ තද බෑවුම් සහිත කඳුකර හෙළ. අන්තිමට මේ දහඅට වංගුව නිර්මාණය කරමින් දැන් හසලක නව නගරය ඇති ප්‍රදේශයට ළං වෙන්නට සුද්දා සමත් වෙලා තියෙනවා. ඒත් මේ මාර්ගය හදලා අවසන් වෙන තුරුම සුද්දට තමන් රැවැටුණු බව නොතේරුණා කියලයි ජනප්‍රවාදයෙ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් තමන් ලංකාවේ වැද්දකුට රැවැටුණාය කියන එක පිළිගන්න අකැමැති නිසා ඒ බව නොදන්නා ලෙසම සිටියාද කියලත් හිතන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ පාර හදන්න උපදෙස් දුන්නු වැදි නායකයා ඉන් පස්සේ කවදාවත් සුද්දා හමු නොවූ බව තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
කුමාර රත්නායක











